පුංචි ඡන්දයේ ලොකු බල පොරය – සී. ජේ. අමරතුංග

නොවැම්බර්

30

7:00 පෙ.ව.

admin

පළාත් පාලන ඡන්දය කල්යාම දැන් දේශපාලන අර්බුදයක් වන තරමට වර්ධනය වී ඇත. ඡන්දය පැවැත්වීම සඳහා කලින් තිබුණේ සීමා නිර්ණයේ ප්‍රශ්න ගණනාවකි. ඒවා විසඳීමද සිදුවුණේ අවස්ථා ගණනාවකදීය. එක ප්‍රශ්නයක් විසඳනවිට වෙනත් ප්‍රශ්නයක් මතුවන බවත් පෙනෙන්නට තිබිණි. අවසානයේ සියල්ල හරි කියා ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කී‍ෙව් දැන් මැච් එක ගහන්න පිච් එක ලෑස්තිය කියාය. වැඩේ ආපසු හබක් වූයේ එසේ තිබියදීය.

දැන් නැවතත් ගැසට්ටුවකට එරෙහිව අධිකරණ වාරණයක් ක්‍රියාත්මකය. එම ගැසට්ටුව නිකුත් කොට තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේය. එහි වැරදි ඇතැයි කියා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූයේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් මාස නවයකට පසුවය. යළි ඇතිවූයේ මැතිවරණය කල් යන තත්ත්වයකි. සියලු දේශපාලන පක්ෂ කීවේ මැතිවරණය පැවැත්වීම තවත් කල් නොදැමිය යුතු බවයි. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ නව ක්‍රමයට බැරි නම් පැරණි ක්‍රමයට හෝ ඉක්මනින් මැතිවරණය පවත්වන්නටය. ඒ අතර චෝදනා එල්ල වූයේ මැතිවරණය තව කල් දමන්නට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවටය.

මැතිවරණ කොමිසමද තීන්දුවක් ගෙන ඇත. එය නම් වාරණයට අදාළ ගැසට්ටුවේ බලපෑමට ලක්නොවන පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමටයි. එය අනෙක් පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට දේශපාලන නායකත්වයට බලකිරීමක් බඳු ක්‍රියාවකි.

දේශපාලන නායකත්වයද වහා ක්‍රියාත්මක වී ඇත. සීමා නිර්ණ පෙත්සම වහා කැඳවන ලෙස නීතිපතිවරයා අධිකරණයට මෝසමක් ගොනු කිරීම එහි ප්‍රතිඵලයකි.

පළාත් පාලන ඡන්දය මෙලෙස කල්යාම ගැන විපක්ෂයේ ඇඟිල්ල දිගුව තිබෙන්නේ ආණ්ඩුවටය. ඔවුන් කියන්නේ ඡන්දය කල්දැමීම ආණ්ඩුව සැලසුම් සහගතව සිදුකරන බවයි. ආණ්ඩුව කියන්නේ මෙය පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේදී පසුගිය රජය කාලයේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් බවයි. එම සීමා නිර්ණ කටයුතු සිදුකොට තිබුණේ රටේ අවශ්‍යතා සලකා බලා නොවන බවට ‍හා දේශපාලන වාසි බලාගෙන සීමා නිර්ණය කොට තිබූ බවට චෝදනා නැගී ඇත. දේශපාලන පක්ෂ බහුතරයකගේ මතය නම් එහි සත්‍යයක් ඇති බවයි. එයට මුල්වූ රාජපක්ෂලාවත් එය අසත්‍ය බව කියන්නට ඉදිරිපත් වන්නේ නැත. එම වැරදි නිවැරැදි කරන්නට කාලයක් ගතවන බවට සැකයක් නැත. එසේ වුවද එම කාලය වුවමනාවට වඩා දිගු වූ බවත් අලුත් ප්‍රශ්න පටලවාගෙන මැතිවරණ කල්දමන බවටත් චෝදනාවක් ඇත. කිසිවකුට එය නිශ්චිත ලෙස ඔප්පු කළ නොහැකි වුවද එම චෝදනාවට මහජන පිළිගැනීමක් ලැබී ඇති බවද පෙනෙන්නට තිබේ.

ඡන්දය කල්දැමීමේ වාසිය කාටද?

මේ ‍චෝදනාව පිටුපසද වෙනත් ගණන් බැලීමක් ඇත. එනම් ඡන්දය කල් දැමීමේ වාසිය ලබන්නේ ආණ්ඩුව බවයි. ඡන්දය කල් යන තරමට ආණ්ඩුවට වාසි බවයි. විපක්ෂයට අවාසි බවයි. චෝදනා එල්ල කරන උදවිය නොකියා කියන්නේ ආණ්ඩුව ඡන්දය කල් දමන්නේ එබඳු ගණන් හැදීමක් නිසා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම තීරණාත්මක බව මෙහිදී පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම්ව සිට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කොට ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරය භාරගැනීමත් සමඟ ‍ෙම් අලුත් දේශපාලන සමීකරණය ගොඩ නැගිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිටියදී තවත් පිරිසකට ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරන්නට ඉඩදී තිබිණි. 2015 අගෝස්තු මැතිවරණයට දෙපාර්ශවය තරග කළේ එකටය. දෙපාර්ශවයෙන්ම මන්ත්‍රීවරු පත්වූහ. පරාජය වූ මෛත්‍රී පිලේ පිරිසකට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වරම් මෙන්ම ඇමැති වරම්ද ලැබුණි. ඒ සමඟ ජනාධිපති මෛත්‍රී ශ්‍රීලනිපයේ බලය තහවුරු කරගැනීමේ සටන ආරම්භ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමට ක්‍රියා කළේය. ගම් මට්ටම දක්වා තමන්ම පක්ෂ සංවිධායකයන් පත්කරගෙන පක්ෂය ඉදිරියට ගෙනයාමට ක්‍රියා කළේය.

මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ බලය ගැනීමේ ඉලක්කය අතහැර ශ්‍රී ලංකා පොදුජන පක්ෂය ආරම්භ කොට එය තම පක්ෂය කර ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගත් විශාල පිරිසක් එම පක්ෂයට එක්වී සිටින බව රහසක් නොවේ. දැන් තිබෙන්නේ එම බලය උරගා බලන්නටය. ඔවුන්ට පළාත් පාලන ඡන්දය ඉක්මනින් ඕනෑ වී තිබෙන්නේ ඒකටය. කල් යනවිට ඔවුන්ට තිබෙන සහය දියවී යාමට ඉඩ ඇතැයි යන විශ්වාසය එයට එක හේතුවක් විය හැකිය.

සාමාන්‍යයෙන් මේ රටේ ප්‍රධාන මැතිවරණවලදී සටන පවතින්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරය. එම තත්ත්වය මේ මොහොතේ දකින්නට නැත. මේ වනවිට තිබෙන්නේ තුන්කොන් සටනක තත්ත්වයකි. එසේ පවතින්නේ එජාපය, ශ්‍රීලනිපය හා මහින්ද පිල හෙවත් පොහොට්ටු පක්ෂය අතරය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සටන් වදින්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද පදනම දිනාගන්නටය. එම ඡන්ද මේ දෙගොඩට බෙදී ගියහොත් එහි වාසිය අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයටය. එයට ඉඩ නොදිය යුතු බවට මෙන්ම දෙපාර්ශවය එක්සත් කළ යුතු බවට හඬක් ශ්‍රීලනිපය තුළින් මතුවී තිබෙන්නේත් ඒ සඳහා උත්සාහයක් තිබෙන්නේත් එම නිසාය. උත්සාහය තිබෙන්නේ තමන්ගේ ඡන්ද සියල්ල එක ‍ෙගාඩට දාගන්නටය.

මෙහිදි සැබෑ අභියෝගයට මුහුණ දී සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අනාගතයේ පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන එන්නට නම් මේ මොහොතේ පක්ෂය පරාජයවීමෙන් වළකා ගත යුතුය. පොදුජන පෙරමුණ තම ඡන්ද පදනමෙන් කොටසක් ඩැහැගනිද්දි එය කිරීම දුෂ්කරය. ඒ බව දන්නා පොදුජන පෙරමුණද කරන්නේ එක්වීමට නොයෙක් කොන්දේසි ඉදිරිපත් කිරීමය. ඒ කොන්දේසි ඉටුකළ හැකිද? යන්න ප්‍රශ්නයකි. එම ඇතැම් කොන්දේසි ඉටුකළහොත් එය ජනාධිපතිතුමාගේ දේශපාලන සිය දිවි නසාගැනීමක් විය හැකියි. ඒ නිසා කොන්දේසිවලට යට නොවී සහය ලබාගැනීම ජනාධිපතිතුමා හමුවේ තිබෙන අභියෝගයයි. අනෙක් අතට මේ දෙපාර්ශ්වය එකතුවීමට අකමැති පිරිසක්ද දෙපැත්තේම සිටිති. ඡන්ද දිනන්නට මහින්දම අවශ්‍ය දැයි ප්‍රශ්න කර සිටියේ දුමින්ද දිසානායක මහතායි. තමන් ඉතා කැතවිදිහට සංවිධායකකමෙන් ඉවත් කළ නිසා සමගියකට විරුද්ධ බව මහින්ද පිලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ ‍කළේය. මෙවැනි තවත් පිරිස් සිටින බවට සැක නැත. එමෙන්ම දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයද අමතක කළ නොහැකිය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පිවිසුණේ දූෂණ, වංචා, තුරන් කරන්නටය. යහපාලනයක් ඇති කරන්නටය. එදා දූෂිතයන් වංචනිකයන් කී අයගේ පැටිකිරියද මේ වනවිට අධිකරණ හමුවේ දිගහැරෙමින් පවතියි. එසේ තිබියදී තම දේශපාලන ස්ථාවරයත් රැකගනිමින් පක්ෂය එක්සත් කිරීම ජනාධිපති සිරිසේන මහතා හමුවේ තිබෙන තවත් අභියෝගයකි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට නම් මේ මොහොතේ විශාල ජයග්‍රහණ අවශ්‍ය නැත. ඔවුන්ගේ වුවමනාව නම් මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමයි. ඉන්පසුව සිරිසේන මහතාගේ නායකත්වය දුර්වල බව කියමින් ඊළඟ මැතිවරණවලදී ඉදිරියට පැමිණීම එම කණ්ඩායමේ සැලසුම විය හැකිය.

සතුරා මිතුරා වීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායමට එරෙහිව මහින්ද පිල මතු කරන ප්‍රධාන චෝදනාව නම් එජාපය හා එක්ව ආණ්ඩු කිරීමයි. එජාපය යනු සම්ප්‍රදායික වශයෙන් ශ්‍රීලනිපයේ ප්‍රතිපක්ෂයයි. විරුද්ධ පිලය. ගමේ ගැටුම තිබෙන්නේ මේ දෙපාර්ශවය අතරය. මහින්ද පිළ සිතන්නේ මෙය මහා පාවාදීමක් බවයි.

අනෙක් අතට මෛත්‍රී පිලට කියන්නට තිබෙන්නේ රටත් පක්ෂයත් ගලවා ගැනීමට මෙබඳු ක්‍රියාමාර්ගයකට එළඹුනු බවයි. යහපාලනයේ ජයග්‍රහණ ගැන ජනාධිපතිගේ කණ්ඩායමට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද කතා කළ හැකිය. ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම, ජනාධිපති බලය සීමා කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ‍ෙතාරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම, අධිකරණයේ, පොලීසියේ ස්වාධීනත්වය තහවුරු කිරීම ආදිය ගැන ආණ්ඩුවට කතා කළ හැකිය.

ආර්ථිකය ‍ෙගාඩනැගීමේ ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක වී තිබීමද ශ්‍රීලනිපයට මෙන්ම එජාපයටද කතා කළ හැකි කරුණුය. යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීම ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීම මගින් ආර්ථිකයට ශක්තියක් ලැබී ඇත. ජූලි අගෝස්තු, සැප්තැම්බර් මාස වල එක දිගට අපගේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යාම වාර්තාගත තත්ත්වයකි. එමෙන්ම කොටස් වෙළඳපලට එක් වසරක් තුළ ලැබුණු ඉහළම විදේශ ආයෝජනය මේ වසරේ ලැබී ඇත්තේ නොවැම්බර් මාසය ගතව යන්නටත් කලිනි. කොටස් වෙළඳපොලේ මේ වන විට ඇත්තේ ස්ථාවර තත්වයකි. මේවා ආර්ථිකයේ ජයග්‍රහණ නොවේ යැයි කිව හැකිද?

මේ රජය පොරොන්දු වූයේ වසර පහකදී රැකියා දශ ලක්ෂයක් බිහිකිරීමටය. මේ වනවිට එයින් හාරලක්ෂයක් බිහිකොට හමාරය. විපක්ෂය එය නැතැයි කියන්නට උත්සාහ කළද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ ජූලි තෙක් වසරක් තුළ බිහිකොට ඇති රැකියා සංඛ්‍යාව දෙලක්ෂ හැටතුන් දහසකි. ඒ එක වසරක කාලයකදීය.

චෝදනාවලට නියම පිළිතුර

කප්පරක් දූෂණ චෝදනා ඇති ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ මෙම පාලනයටත් එබඳුම චෝදනා එල්ල කරන්නටය. එසේ වුවද එබඳු චෝදනා කරුණු ඇතිව ඉදිරිපත් කිරීමට විපක්ෂය තවම සමත්ව නැත. ඔවුන්ගේ ලොකුම තුරුම්පුව වූයේ මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නයයි. ඒ ගැන කොමිසමක් මගින් පරීක්ෂා කරනු ලැබීය. අගමැතිවරයා හා ඇමැතිවරු තිදෙනෙක් කොමිසම හමුවට ගියෝය. එක් ඇමැතිවරයකුට ඉල්ලා අස්වන්නටද සිදුවිය. දැන් කවුරුත් බලා සිටින්නේ කොමිසමේ වාර්තාව එන තෙක්ය. එයින් හෙළිවන වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට යහපාලන රජය ක්‍රියාත්මක වනු ඇත. දූෂණ චෝදනාවලට හොඳම පිළිතුර වන්නේ එයයි. තවත් එබඳු චෝදනා ඇත්නම් ඒවාද විභාග කළ යුතුය. එසේ විය යුත්තේ චෝදනාවලට පදනමක් ඇතිනම්ය.

ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක යෙදෙන කණ්ඩායමක් සිටිති. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ දූෂිත පාලනයට සහය දුන් හා දැනුත් ඔහුට සහය දෙන පිරිසයි. එම පිරිස ආණ්ඩුවට නොයෙක් චෝදනා එල්ල කරමින් බැණ වදිමින් සිටින බව අන්තර්ජාලය නිරීක්ෂණය කළවිට පෙනෙන කරුණකි. තේරුම් ගත යුතු කාරණය නම් මේ ගොඩට අලුතින් කිසිවකු එකතු නොවන බවයි. පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණේ ඒ අතරින් පිරිසක්ද මධ්‍යස්ථ වූ බවයි. ඉතිරි පිරිස හයියෙන් කෑ ගැසුවාට කුණුහරුපෙන් බැන්නාට, අපහාස කළාට කිසිවක් වෙනස් වන්නේ නැත. ඔවුන් කරන්නේ තමන්ගේ පරාජයේ හා පසුබැස්මේ වේදනාව පිටකර ගැනීමයි.

එසේ වුවද ආණ්ඩුව ගැන කළකිරීමට පත්ව සිටින තවත් පිරිසක්ද වන බව අමතක නොකළ යුතුය. ඒ යහපාලනයට සහය දුන් පිරිසයි. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය නම් යහපාලනය හරියට ක්‍රියාත්මක නොවීමයි. දූෂණ, වංචා, අපරාධ පිළිබඳ පරීක්ෂණ ඉබි ගමනේ ක්‍රියාත්මක වීම ගැන මැසිවිලි නගන්නෝ ඔවුහුය. යහපාලනයත් දූෂිතයි කියන්නෝ ඔවුහුය. එම පිරිස තවමත් ක්‍රියාත්මක හා බලපෑම් කළ හැකි කණ්ඩායමකි. මේ රජයේ ඇමැතිවරුන් තිදෙනකුට වරින්වර තනතුරු අහිමි වූයේ මෙම කණ්ඩායම ආණ්ඩුවේ කටයුතු ගැන අවධානයෙන් සිට ක්‍රියාකරන නිසාය. විශාලතම ප්‍රශ්නය තිබෙන්නේ මෙම පිරිස් සහය දිනාගන්නේ කවුරුන්ද යන්නයි. ඒකාබද්ධ විපක්ෂයට මෙම කණ්ඩායමේ සහය දිනාගැනීමේ හැකියාවක් නැත.

මෙම ජනතාවගේ සහය හිමිවනු ඇත්තේ යහපාලනයට ඇත්තටම කැපවී සිටින පක්ෂයකටය. කණ්ඩායමකටය. ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිපයටත්, අගමැතිතුමාගේ එජාපයටත් අභියෝගය තිබෙන්නේ මෙම පිරිස දිනාගැනීමෙහිදීය. ඔවුන්ට මෙම පිරිස දිනාගත නොහැකි වුවහොත් ජවිපෙ ‍වැනි වෙනත් කණ්ඩායමකට යම් වාසියක් හිමිවීමට ඉඩ ඇත. එසේත් නැතහොත් ඉන් පිරිසක් තාවකාලිකව නිහඬවීමටද ඉඩ ඇත.

යහපාලන නායකයන්ගේ අවධානය යොමුවිය යුත්තේ යහපාලනය වෙනුවෙන් ක්‍රියාකාරී මේ බලවේගයේ සහය දිනාගනිමින් මෙම දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටයි. පළාත් පාලන ඡන්දයේදී එම ගමන පිළිබඳ ඉඟියක් අපට ලැබෙනු ඇත.

සී. ජේ. අමරතුංග

අදහස්


එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *