සමිති නායකයිනි රාජපක්ෂ නැවත ගෙන ඒමට උදව් නොවන්න- මහින්ද රත්නායක

දෙසැම්බර්

9

10:52 ප.ව.

admin

නව ආණ්ඩුවේ අය වැය යෝජනා පිළිබඳව වැඩකරණ ජනතාව අතර නො සන්සුන්තාවයක් හටගෙන ඇත. තම ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කම් නො දෙන්නේ නම් එළඹෙන 15 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජණයකට යන බව වෘත්තිය සමිති මේ වන විටත් නිවේදනය කර තිබේ. තීරු බදු රහිත වාහන බලපත්‍රය අවලංගු කිරීමට අය වැයෙන් කරන ලද යෝජනාව මෙයට මූලික විය. මෙයට අමතරව අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සම්බන්ධ අයවැය යෝජනාවට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විරෝධයක් ද තිබුණි. රුපියල් 10000 දීමනාව මූලික වැටුපට එක්කරන ලෙස කරන ලද ඉල්ලීමක් ද ඇත. අර්ථ සාධක අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් දෙන ලෙසට ලංකා බැංකු සේවක සංගමය කරන ලද ඉල්ලීමක් ද තිබේ. රාජ්‍ය සේවයට බැදෙන නව සේවකයින් සඳහා යෝජිත අලුත් විශ්‍රාම වැටුප් ක්‍රමය නවත්වන ලෙසට ද ඉල්ලීමක් ඇත.
රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයට ඇහුම්කන් දුන් ආණ්ඩුව වසර දහයකට වරක් වාහන බලපත්‍රයක් දීමට මේ වනවිටත් එකග වී තිබේ. අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක් නොකරන බව මෙන්ම එය මහ බැංකුවෙන් ඉවත් නොකරන බවට ද අගමැතිවරයා ප්‍රතිඥා දී ඇත. රුපියල් 10000 මූලික වැටුපට එක්කළ යුතු බව පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ එය කළ නොහැකි බව ආණ්ඩුව පවසා තිබේ. ඉදිරියේ දී එය පියවරෙන් පියවර කළහැකි බව ද අගමැතිවරයා පාර්ලිමේන්තවේ දී පැවසී ය. බැංකු සේවක සංගමයෙන් කරන ලද ඉල්ලීම ඉටුකළ නොහැකි බව අගමැතිවරයා මේවන විටත් ප්‍රකාශකර ඇත. නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමෙන් තොරව පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යෑමට නොහැකි බව ද ප්‍රකාශ කර තිබේ. සේවක වැටුපෙන් අයකර ගන්නා මුදලක් හා රජයෙන් එයට එක්කරන මුදලක් මගින් නව විශ්‍රාම වැටුප් අරමුදලක් ගොඩනගා, නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඇන්. ඇම් ද වරෙක උත්සාහ දැරූ බව අමතක නොකළ යුතු ය. ඔහු ද එවැනි උත්සහායක් දැරුවේ පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය රජයකට දරා ගැනීමට නොහැකි හෙයිනි.
කෙසේ නමුත් මේවා පිළිබඳව තව දුරටත් වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට අගමැතිවරයා සූදානම් බව පවසා ඇත. රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය පියවීම ඇතුලු නව ආණ්ඩුව මුහුණ දී ඇති මූල්‍ය අර්ධයෙන් ගොඩ ඒමට උත්සාහ දරන මොහොතක කලහැකි දේ හා නොකළහැකි දේ අගමැතතිවරයා පවසා තිබේ. එය පිළිනොගෙන නියම කරගත් පරිදි ලබන 15 වෙනිදා වැඩ වර්ජනයක නිරතවීමට වෘත්තිය සමිති සුදානම් බවක් පෙනේ.
නිදහස් වාහන බල පත්‍රය මුල්කරගෙන මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මුලපිරුවේ රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමය යි. ජන ජීවිතයට දැඩි බලපෑමක් කළ හැකි වෘත්තියක් ලෙස වෛද්‍යවරුන්ට වැඩ වර්ජනයකින් කළහැකි බලපෑම විශාලය. ඇතැම් ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව එකග වී තිබියදීත් කළදුටු තැන වල ඉහගන් යන න්‍යායට අනුව අනිකුත් වෘත්තිය සමිති යෝජිත වැඩ වර්ජනයට ආකර්ශනය වී තිබේ. ආයතන තුළ පවතින වෘත්තිය සමිති තරගය හේතුකොටගෙන ආණ්ඩුවට හිතවත් වෘත්තිය සමිතිවලට ද මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධවීමට සිදුවී ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හෙද සේවා සංගමය වර්ජණයට එක්වීම තුළ සමන් රත්නප්‍රියට වර්ජණයෙන් ඉවත්වීමට හැකියාවක් නැත. වෙනත් ගුරු සංගම් වර්ජණයට එක්වීම තුළ ජෝසප් ස්ටාලින් නායකත්වය දෙන ලංකා ගුරු සංගමයට වර්ජණයෙන් ඉවත් වී සිටිමට හැකියාවක් නැත. මේ ආකාරයට බොහෝ සමිති මේ වර්ජනයට එක්වීමට සූදානමක් ඇති බව පෙනේ.
වෙනත් අංශවල කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයට කිසිදාක සහාය දක්වා නැති වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අගමැතිවරයා කියන ලෙසම රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසිදිනක දැඩි ක්‍රියා මාර්ගයක් ගෙන නැත. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් ගේ වෘත්තිය ක්‍රියාමාර්ග ද මෙයට වෙනස් නොවේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාමාර්ග දියත් වන්නේ ද ආනන්ද හාමුදුරුවන්ගේ අභයාරාමයේ සිට ය. ලංකා බැංකු සේවක සංගමය මහින්ද රාජපක්ෂ ගේ අනු දැණුම ඇතිව කෑලි කිහිපයකට කඩාදැමු සමිතිය කි. ලංකා බැංකු සේවක සංගමයේ සිටි රාජපක්ෂගේ හෙංචයියන් ඒ වැඩයට හවුල් වූ බව කවුරුත් දනිති. ලංකා බැංකු වෘත්තිය ක්‍රියාමාර්ගයට ඔවුන්ගේ බලපෑම නොමදව ඇත.
ඉතාමත් දුබල වාමාංශික වෘත්තිය සමිති ගනනාවක් ද මේ සටනට එක්වීමට නියමිතය. ඒ සමිති නායකයින්ගේ එජාප විරෝධය එයට බලපා ඇති ප්‍රධාන සාධකය ලෙස සැළකිය හැක. මෙයින් ඇතැම් අය කල්පනා කරන්නේ මේ වැඩ වර්ජණය තුළින් බොල්ෂෙවික් විප්ලවය කිරීමට ය. ඉතාමත් සැළසුම් සහගත ලෙස රාජපක්ෂට හිතවත් ප්‍රතිගාමී බලවේග විසින් සැළසුම් කෙරෙන මේ ක්‍රියා මාර්ග පරාජය කර කම්කරු පංතියට බලය ලබාගන්නට හැකි යැයි සිහින මවන මොවුන් පිළිබඳව අපිට ඇත්තේ කණගාටුවකි.
ධනපති ආණ්ඩු වලින් කම්කරු පංතියේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලැබෙන්නේ නැත. එහෙයින් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කම්කරු පංතියට ප්‍රශ්න තිබෙන බව සත්‍යයකි. පවතින ලෝක සන්දර්භය තුළ යථාර්තවාදි ආර්ථික වැඩපිළිවෙලක් වාමාංශිකයන්ට ද මේ මොහොතේ නැත. චාවේස්ගේ අනුප්‍රප්තිකයා නායකත්වය දුන් වෙනිසියුලාවේ වාමාංශික ආණ්ඩුව ද දරුණු පරාජයකට මුහුන දී ඇත. ආර්ජන්ටිනා වේ වාමාංශික ආණ්ඩුවේ ඉරණම ද එසේම ය. ඊ ළග මැතිවරණයෙන් බ්‍රසීලයේ ඩෙල්මාගේ ආණ්ඩුව ද පරාජයවීමට නියමිත ය. මෙයින් පෙන්වන්නේ ඉතිහාසය තවමත් වාමාංශිකයින්ට කාරුණිකව සැළකිමට සුදානම් නැති බව ය. එහෙයින් ප්‍රතිගාමීන් නායක්වය ගන්නා වැඩවර්ජන සම්බන්ධයෙන් සැබෑ වංමාංශිකයින් කල්පනාකාරී වියයුතු බව නොකියාම බැරි ය.
ආණ්ඩුව සම්බන්ධයෙන් ද වචනයක් කිවයුතුව ඇත. ජනවාරි 8 වෙනි දා මහින්ද රාජපක්ෂගේ වර්ගවාදී දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට උර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන් ය. වැඩ කරන ජනතාව රාජපක්ෂගේ පාලනය ඉවත් කිරීම සඳහා ඉමහත් වැඩ කොටසක් කළ බව අමතක නොකළ යුතු ය. හෙයින් එවැනි සමාජ බලවේගයන් සතුරන් බවට පත්වෙන තීරණ නොගැනීමට ආණ්ඩුව වගබලාගත යුතු ය. අර්ථ සාධක අරමුදල සම්බන්ධ කාරණය දැන් නිරාකරණය වී ඇති නමුත් මෙවැනි යෝජනාවක් නොගෙනාවා නම් එය වඩාත් හොඳය. රාජපක්ෂගේ ප්‍රතිවිප්ලවීය කුමන්ත්‍රණය පරාජය කරන්නට වෙනත් බලවේගයන් ඉදිරිපත් වන්නේ නැත. එහෙයින් රාජපක්ෂ එළවා දැමිමට උරදුන් බලවේග අමනාප වන තීන්දු නොගැනීමට ආණ්ඩුව වගබලාගත යුතු ය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *