ශක්තිමත් සමාජයක් නැති තැන කිසිදෙයක් හරියාකාරව කෙරෙන්නෙ නෑ – මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම

නොවැම්බර්

28

7:23 පෙ.ව.

admin

 

පසුගිය දා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී  මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම විසින් කළ කතාව.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී මා හිසනමා ආචාර කරන්න කැමතියි. මාධ්‍ය නිදහස පතා කරන සටනෙදී ඉතාමත් පූරෝගාමි මෙහෙවරක් කරන සංවිධානයක්. ඔබ විශාල ගෞරවයක් ලබාගත්තු සංවිධානයක්. ඔබට තවත් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. කෙනෙක්ගේ අදහස් නිසා හෝ ප්‍රකාශනය නිසා ඒ පුද්ගලයාගේ ජීවිකතය අහිමිවීම කියන්නේ ඉතාමත් භිහිසුනු අපරාධයක්. එවැනි අපරාධ ඉවසන සමාජයකට කියන්න තියන එකම වචනය තමයි අශීලාචාර සමාජයක් කියලා. වෙනත් විදිහකට ඒක හඳුන්වා දීම අපහසුයි.

මට පැවරීලා තියන කාර්ය වගවීමෙන් මුක්ත වීම කියන එක ගැන යම් විවරණයක් කරන කියන එක. දණ්ඩ මුක්තය කියනවට වැඩිය මම කියන්න කැමතියි වගවීමෙන් මුක්ත වීම කියන එක. එතන දණ්ඩනය ගැනම නෙමෙයි ප්‍රශ්නය තියෙන්නෙ දණ්ඩනය එක කොටසක් නමුත් මෙතන පුළුල් ප්‍රශ්නය වගවීම කියන එක. මොකද සමහර අයට දණ්ඩනය ලැබුණත් වගවීමක් නැහැ. අපි දකිනවා දඬුවම් ලැබිලා හිරගෙවල්වල ගිහිල්ලා ඇවිල්ලා මල්මාලා දාලා පිලිඅරගන්නවා, ඒ ගොල්ල අතින් වරදක් වුනා කියලා සමාජයට වගවීමක් නැහැ. මෙතනදි වැදගත් වෙන්නෙ වගවීම.

වගවීමෙන් මුක්තවීම කියන සංකල්නය අපට දෙයාකාරයකින් විශ්ලේෂණය කරන්න පුළුවන්. එකක් ව්‍යුවාහාත්මකව, අනික අපි සමාජයක් හැටියට අපේ හර පද්දතිය කුමක්ද? අපි බලාපොරොත්තු වන සමාජය කුමක්ද? මේ ප්‍රශ්නය අතිශයෙන්ම වැදගත් වෙනවා මන්ද බොහෝ අවස්ථාවලදි අපි මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නෙ ව්‍යුහාත්මකව. ආයතනවල තියන දුර්වලකම්, නීතිමය ක්‍රියාපටිපාටිවල තියන දුර්වලකම් ආදි වශයෙන් කියලා මම හිතනවා. මේක ඊට වැඩිය පුළුල් විදිහට විග්‍රහ වුණේ නැත්නම් මම හිතන්නෙ නැහැ අපිට සාර්ථක විදිහට ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා, වගවීමෙන් මුක්තවීම හරියාකාරයට මැඩපවත්වන්න.

ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නය දිහා බැලුවොත් තියන ප්‍රශ්නය තමයි ප්‍රජාතන්ත්‍රවාදී අර්බූදය. ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ක්‍රමයක් කියන්නෙ වගවීමක් තියන සමාජ ක්‍රමයක්. ආධිපත්‍යකින් තොරව වගවීමෙන් ක්‍රියාත්මකවන රාජ්‍යක්‍රමයක්. මේ වගවීමට මූලික වෙන්නෙ නීතියේ ආධිපත්‍ය. නීතියේ ආධිපත්‍ය නැති තැනක වගවීමක් සිදුවෙන්නෙත් නැහැ.

ශ්‍රී ලංකාවේ පස්චාත් නිදහස් යුගය දිහා බලපුවම විශාල කාල පරාශයක්. ලබන වසරට අවුරුදු හැත්තෑවක් වෙනවා. මේ කාලපරාශය දිහා බලපුවම අපිට දකින්න තියෙන්නෙ වගවීමෙන් මුක්ත වෙන, ඒ වගේම ක්‍රමක්ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වුනු ආකාරයක් තමයි අපිට දකින්න තියෙන්නෙ.

එකක් මෙය ව්‍යුහාත්මක වශයෙන්ම දුර්වල වුනා. ශ්‍රී ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා බැලුවොත්, විශේෂයෙන් ජනරජ යුගයේ දී 1972 න් පස්සෙ ව්‍යවස්ථාව මගින්ම ආයතන දුර්වල කෙරුවා. අනිත් එක පරිචයෙන්ම ආයතන දුර්වල වුනා.

72 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවෙ බලය ඒකාරිශි වීමක් වුනා, අධිකරණ ක්‍රමය බොහොම දුර්වල වුනා. සොල්බරි කොමිසම අනුව තිබුණ ස්වාධීන කොමිෂන් සභා රාජ්‍ය සේවා කොමිෂන සභා මේවා දේශපාලනීකරණයට හසුවුනා. 1978 ව්‍යවස්ථාව බලය එක්කාසු කෙරුවෙ විධායක ජනාධිපති ධුරයෙ බලය ඒකරාශිවන විදිහට. වගවීමෙන් මුක්ත වීම කියන එක නිර්මාණය වුනේ 78 ව්‍යවස්ථාවෙන්. එවැනි ව්‍යවස්ථාදායකයක් යටතෙ ස්වාධීනව කටයුතු කරන්න අධිකරණය වැනි ආයතන වලට අපහසුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ පෑදුවට වැඩිය බොහෝදුරට පරිචය නිසා වගවීමෙන් මුක්තව කටයුතු කරගෙන යාමට බොහෝ දුරට ඉවහල් වුනා.

මෙවැනි ව්‍යුවහාත්මක වටපිටාවක් තුළ දේශපාලන සදාචාරය ඔඩු දුවලා ගියා. අපිට හොඳටම පේන්න තියන දෙයක් තමයි මේ වගවීමෙන් මුක්ත වීම කියන කාරණා තමයි දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ගැති දේශපාලනය.

යුක්තිය අපිට ලබාගන්න හැකි වෙන්නෙ බොහොම තෝරාබේරා ගෙන. මෙවැනි ක්‍රියාදාමයක් තුළදි සිදුවෙන්නෙ නැත්නම් බලාපොරොත්තු වෙන්නෙ යුක්තිය ඉටු වෙන්නෙ නෑනේද කියන තැනට ඒම. අද දවසේ හොඳ පුරවැසියන්ගෙ පවා පරිකල්පනය  දඬුවමෙන් මුක්ත වෙන එක ප්‍රශනයක් නොවන විදිහටයි දකින්නෙ.

අපි අකමැති අපි පිළිගන්නෙ නැති පුද්ගලයන්ට විර්ද්ධව විතරයි නීතිය ක්‍රියාත්මක විය යුත්තෙ කියන එක ඉතාම ඉතා තදින් සමාජයේ තියෙන මතයක්. මෙවැනි මතයක් බොහොම බරපතල විදිහට මුල්බැසගෙන, අපේ ජන සමාජයේ සිතුම් පැතුම් එයින් චලනය වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ.

වගවීමෙන් මුක්තවීම දිහා බලනකොට මේක අද ඊයෙ සිදුවුන දෙයක් නෙමෙයි, ගෙවී ගිය අවුරුදු හැත්තෑවෙදි බොහෝ විට එවැනි පරිසරයක් තුළ තමයි අපි ජීවත් වෙලා තියෙන්නෙ. 71 කැරැල්ලෙදි තමයි අපි දැක්කෙ බොහොම විශාල විදිහට වගවීමෙන් මුක්ත වෙන අවස්ථා. ඒ වගේම දෙවැනි කැරැල්ලත් ඇති වුනා. ඒ වගේම අවුරුදු 26 ක සිවිල් යුද්ධයක් ඇති වුනා. ඒ වගේම දූෂණ නඩු, බරපතල කාරණය ප්‍රචණ්ඩත්වයට වැනි කාරණයන්ට ඒ ආකාරයට වගවීමෙන් මුක්තවීම වර්ධනය වේගෙන එනවා.

අපිට පෙනෙන්න තියන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල තියන දුර්වලතාවය. මූලික වශයෙන් ගත්තොත් අධිකරණය පිළිබඳ විශාල වශයෙන් මැදිහත්වීමක් අපි දැක්කා පසුගිය වකවානුවල. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවට ඇති වූ මැදිහත් වීම් අපි කවුරුත් දන්නා දෙයක් ඒවා නිසියාකාරව සකසා ගන්න ප්‍රයත්නයක් අවශ්‍යයි. නීතියක් තිබුණ පමණින් ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මිනිස්සුන්ගේ චරියා පද්දතිය වෙනස්කරන්න, මානසිකත්වය වෙනස් කරන්න සෑහෙන කාලයක් යනවා. වගවීමෙන් මුක්තවීමෙන් තොර වීමට නම් අපිට පැහැදිලිවම අවශ්‍ය වෙනවා දේශපාලන කැපකිරීම. ඒ වගේම ව්‍යුහාත්මක වශයෙන් හොඳ නීති රීති තියෙන්න ඕන. ඒ වගේම ශක්ති සම්පන්න ස්වාධීන ආයතන තියෙන්න ඕන. ස්වාධීන කොමිෂන් සභා, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව වගේ බොහොමයක් ආයතන තියෙන් ඕනෙ. ඊට වඩා ගොඩක්ම ඕන වෙන්නෙ ශක්තිමත් පුරවැසියන්. ශක්තිමත් සමාජයක් නැති තැන මේ කිසිදෙයක් හරියාකාරව කෙරෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.

මනෝජ් රූපසිංහ

 

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *