වෙස්සන්තර පිය රජාණන් හට- ජාලිය කුමරුගෙන් – නිශාන්ත කමලදාස

නොවැම්බර්

12

9:29 පෙ.ව.

admin

පිය රජුනි

ඔබ ඔබේ මනදොල පුරවා ගත්තෙහි ය. ඔබ සමග අමනාප වීමට හේතු බොහෝ ඇතත් මා එසේ කීවේ අමනාපයෙන් ම නොවේ. ඔබේ මනදොල ආත්මාර්ථය ඉක්මවන්නක් ද ලෙස දැකිය හැකි නිසා මට එක එල්ලේ ඔබ සමග අමනාප විය නොහැකි ය.

බුද්ධත්වය ලැබ එයින් නොනැවතී සෙසු මිනිසුන් ද දුකින් මුදවීමට ද ඔබ ක්‍රියා කළේ ය. ඇලීම හා ගැටීම දුරු කර ගෙන සැනසුම ලැබීමට ඔබ දෙසු දහම නිසා ඇතැම් මිනිසුනට හැකි විය.

එහෙත් ඒ සඳහා ඔබ ගත් මගේ සියල්ල නිවැරදි ද යන්න නැවත විමසිය යුතු ය. කාලාම සූත්‍රයේදී ඔබ දෙසූ අයුරින්ම විමසිය යුතු ය.

එදා ජූජක බමුණා මිය නොයන්නට මටත් ක්‍රිෂ්ණජිනාටත් සිදු වන්නේ වහ කන්න ය. අප ඔබගේ දරුවන් වූ බව ඇත්ත ය. ඔබ අප අත්හැරිය විට ජූජක බමුණු හා යෑම හැරෙන්නට අපට කරන්නට අන් දෙයක් නොවූ බව ඊටත් වඩා ඇත්ත ය. කිසිත් කර ගත නොහැකි කුඩා දරු දෙදෙනෙකුගේ අනාගතය බිල්ලට තබා බුද්ධත්වය ලබන්නට ඔබ කළ උත්සහය ඒ නිසා ම සාපරාධී ය. බුද්ධත්වය ලබන්නට ඊට වඩා සෞම්‍ය වූත් සාමකාමි වූත් මගක් තනන්නට ලෝකයට හෝ එය පාලනය කරන දෙවියන්ට හෝ නොහැක්කේ මන් ද යන්න සිතන විට මට එදා ඇති වූ කම්පනය ඔබ කළ ක්‍රියාව නිසා ඇති වූ කම්පනයට ද වඩා බලවත් විය.

ඔබ ගත් මග විමසන්නට මුල්ම අවස්ථාව ඒ භවයේදී ඔබ ලදුයේ සුදු ඇතා පවරා දීම සම්බන්ධයෙන් ඔබේම රටවැසියන්ගේ මැදිහත් වීම වූ වෙලාවේ ය.

රජ කෙනෙකුට රාජධානියක් පැවරෙන්නේ එහි ඇති සම්පත් භුක්තියට සවි කර ගන්නට හෝ ඒවා තමන් කැමති ඕනෑම අයුරකින් පරිහරණය කිරීමට හෝ නොවේ. වත්මන් යුගයේ රාජ්‍යත්වයට පත් වෙන සාමාන්‍ය මිනිසුන් මෙන්ම ඔබ ද හිතුවේ රාජ්‍ය සතු සම්පත් තමන්ට රිසි සේ භාවිතා කළ හැකි බව ය. ඔබ එහි තාවකාලික භාරකාරයා බව ඔබට අමතක විය. බුද්ධත්වය පිළිබඳ ඔබේ සිහිනය විසින් එය ඔබට අමතක කරන්නට සැලැස්වූවා යැයි කෙනෙකුට සාධාරණ චෝදනාවක් කළ හැකි ය.

දරුවන් සම්බන්ධයෙන් ද ඔබ ක්‍රියා කළේ ඊට සමාන අන්දමට ය. ඔබ විසින් ජාතක කළේ වුව ද ඔවුන් ද ලෙයින් මසින් සැදුනු මිනිසුන් බව ඔබ නොසළකා හැරියේ ය. ඔබ ඔවුන්ගේ තාවකාලික භාරකාරයා බව අමතක කර දැමුවේ ය. දරුවන් සම්බන්ධයෙන් ඔබට යම් අයිතියක් ඇත්නම් ඊට නොදෙවෙනි හෝ ඊට වඩා අයිතියක් ඔවුන්ගේ මවට ඇති බව මුලින් පිළිගෙන මන්ත්‍රී දේවිය එනතුරු තීරණය කල් දැමු ඔබ අවසානයේ එය බුද්ධත්වයට හිලව් කර අමතක කර දැම්මේ ය.

ඔබ බුද්ධත්වය ලබන දිනයේ මාරයාට චක්‍රායුධයක් සමග ඔබ වෙත පැමිණීමට හා ඔබව මෙල්ල කරනු වස් සෙල්ලම් කිරීමට ඉඩ ලැබී තිබුනේ මන්ත්‍රී දේවියගේ අනුමැතිය ලබා ගැනීමට ඔබේ දරු දානය පමා කළ පාපය හේතුවෙන් යැයි ඊයේ බණට කියනු මම අසා සිටියෙමි. මේ ලෝකයේ සාධාරණත්වය යන අංශු මාත්‍රයක් වත් නැතැයි ද පින් හා පව් වලට අර්ථකථන සපයන කරුමය නම් යාන්ත්‍රණය පවා සිනහ උපදවන විහිළුවක් යැයි ද මට සිතුනේ ඉන් පසුව ය.

මිනිසුන් 999 ක් මැරූ අංගුලිමාල නිවන් දකින විට කිසි දෙයක් කර ගැනීමට නොහැකි වූ මාරයාට ඔබ බුද්ධත්වය පත්වන විට දරු දානය පමා කිරීමේ වරදට චක්‍රායුධයක් ගෙන නටන්නට වරම් ලැබුනේ ඒ අපූරු කරුමයේ යාන්ත්‍රණය නිසා විය යුතු ය.

පුංචි දරුවන් මෙහෙකරුවන් ලෙස ද ලිංගික වහලුන් ලෙස ද නාකි මහල්ලන්ට දන් දීමේ චාරිත්‍රය ඔබ ගෙන් ආරම්භ වී යැයි කෙනෙකු යෝජනා කළොත් එය එසේ නොවේ යැයි කීමට මට නොහැකි ය. එය අද සමාජය තුළත් දරුවන් මිහිපිට අපායකට තල්ලු කරන සමාජ චාරිත්‍රයන් ලෙස වෙන වෙනත් ආකාර වලින් සමාජගත වී තිබිම සම්බන්ධයෙන් මට පුදුම විය නොහැක්කේ ඔබ වැන්නෙකු විසින් දී ඇති අතිශයින් නරක පූර්වාදර්ශය නිසා ය.

දරුවන් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක පූර්වාදර්ශයක් සපයන බෝධිසත්වයෙකු වෙන්නට මම ඉටා ගෙන ඇත්තෙමි. එකම ප්‍රශ්නයකට ඇත්තේ එසේ කොට බුදු විය හැකි ද යන්න ය. මා ඔබගෙන් අසන්නේ අන්න ඒ පැනයට උත්තරයක් ය. මේ ලියුම ලීවේ හැම දෙයක්ම ගැන දන්නා ඔබගෙන් ම ඒ බව අසා දැනගන්නට ය.

නිශාන්ත කමලදාස

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *