වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව – අජිත් පැරකුම් ජයසිංහ

දෙසැම්බර්

30

8:10 පෙ.ව.

admin

රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය.

ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද?

ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති මුක්තිය සහිත බලතල පවරා දෙන්නට ගියේ රට සංවර්ධනය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ද? නැතිනම් වෙන මොකක් හරි එකක් නිසා ද?

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන සුමිත් චාමින්ද ඉතා ගැඹුරු භාෂාවකින් විශ්ලේෂණයක් ලියා ඇත. එහි සඳහන් නො වන තහනම් වචන දෙකක් ඇත. ඒ වනාහි මධ්‍යම පංතිය හා රාජ්‍ය සේවයයි. ඇත්ත ම කියනවා නම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත විශ්ලේෂණය කරන්නට අත්‍යවශ්‍ය වචන දෙක ඒවා ය. මෙවැනි විශ්ලේෂණ ප්‍රබන්ධ වන්නේ එහෙයිනි. ප්‍රබන්ධ බොරු නො වේ. එහෙත්, ඒවා අමු යථාර්ථය නො ව, යථාර්ථයේ අර්ථකථනයි.

රනිල්ගේ උත්සාහයේ ඇති සරළ යථාර්ථය මෙයයි. රනිල් වනාහි ජාතියේ පියාගේ පියා වන සිංහයා වැනි පොරකි. ධනවාදය ගැන නිබන්ධන ලියන මාක්ස්වාදී මධ්‍යම පංතිකයන් ද ඇතුළත් වන තමන්ගේ පංතියට කන්නට දෙන්නට වික්‍රම සිංහයා මං පහරන්නට යයි. මිනී මස් කන සිංහයා සිය පවුලට ඇපල්, දොඩම් ගෙනැවිත් දෙයි. ඔරිජිනල් කතාවේ සුප්පාදේවිත්, සිංහබාහුත්, සිංහ සීවලීත් ගල්ලෙන තුළ සිර කර සිටිති. වර්තමාන කතාවේ ගල්ලෙනේ දොර වසා ගන්නේ සිංහබාහුලා ම ය.

ලංකාවේ අර්බුදය වනාහි අමුතු මගුලක් නො වේ. ග්‍රීසිය වැනි රටවල දැන් කලක සිට මේ සිංහබාහු නාටකය රඟ දැක්වෙමින් තිබේ. ලංකාවේ අනුර කුමාර දිසානායකගේ සිට පහළට වාමාංශිකයන් රඟපාන භූමිකා ග්‍රීසියේ කවටයන් රඟ පා හප කළ ජවනිකාවල අමු කොපි කිරීම් ය.

ලංකාවේ මූලික ප්‍රශ්නය ධනවාදයේ පිළිකාවකි. එය සමස්ත රාජ්‍ය දේහය පුරා ම පැතිරෙමින් තිබේ. කීමෝතෙරපි කර සුව කරන්නට නම් මුලින් පිළිකාව තිබෙන තැන හඳුනා ගත යුතු ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ ලංකාවේ ප්‍රශ්නයට උත්තර සොයන අය ද පිළිකා සෛල ම වීමයි. පිළිකාව අනෙකක් නො ව, රජයයි. රාජ්‍ය අංශයයි. එයින් යැපෙන මධ්‍යම පංතියයි. දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීහු හා රාජ්‍ය සේවකයෝයි. වෙනත් ආකාරවලින් රජයෙන් යැපෙන්නෝයි.

මිලියන 20 ඉක්මවා ඇති රටේ ජනගහණයෙන් මිලියන 1.5ක් ගැහැනු හා මිනිස්සු මේ ආකාරයෙන් කෙළින් ම රජයෙන් යැපෙන්නෝ ය. මේ අතරින් ඉහළ තලය වන දේශපාලකයන් හා රජයේ නිලධාරීන් රාජ්‍ය කළමනාකරණය මුවාවෙන් දැවැන්ත පරිමාණයෙන් මහජන මුදල් ගසා කති. තීරු බදු රහිතව වාහන ආනයනය කරගෙන විකුණා බදු වංචා කළ දේශපාලක චෞරයෝ දැන් කුලියටත් වාහන ඉල්ලති. ඔවුන්ට මුවා වී සද්ද බද්ද නැතුව ම රජයේ උසස් නිලධාරීහු ද මේ වංචාව කරති. පහළ මට්ටමේ රජයේ සේවකයන් අතර සොරකමේ සංකේතය ලෙස සැලකිය හැකි පිරිසක් වන්නේ වෛද්‍යවරු ය. (මේ හොරකම නො කරන, ඇත්තට ම වැඩ කරන වෛද්‍යවරු කලබල විය යුතු නැත. අනෙක් අයට සුපුරුදු කුණුහරුප කීමේ අයිතිය තිබේ.) ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රු. 30,000කට වැඩි මහජන මුදලක් සෑම මසක ම සොරකම් කරති.

අප වෛද්‍යවරුන් උදාහරණයට ගන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නො ව, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ සිහින වෘත්තිය එය නිසා ය. එය සිහිනයක් වන්නේ මේ වරප්‍රසාද හා අසීමිත ලෙස ධනය ඉපැයීමට හා බදු වංචා කරමින් සැප විඳීමට තිබෙන නිදහස නිසා ය. එහෙම නැතිනම්, හරියට වැඩ නො කර ටියුෂන්, පොසිටිව් තින්කිං දේශන ආදිය කරන විශ්වවිද්‍යාල ඇදුරන් ද, තවත් බොහෝ රජයේ සේවකයන් ද අයත් වන්නේ එම වර්ගයට ම ය.

රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ දේශපාලකයන්ගේ සිට පහළ දක්වා ම අරමුණ වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර උපරිම වැටුප් හා වරප්‍රසාද ගැනීමයි. මේ පහත් මහජන මුදල් වංචාව සාධාරණීකරණය කර ගන්නේ සුබසාධනයේ මුවාවෙනි. ඇත්ත කතාව නම් රාජ්‍ය අංශය පවතින්නේ මහජන සුබසාධනය වෙනුවෙන් නොව, එහි සේවකයන්ගේ සුඛ විහරණය වෙනුවෙනි.

ලංකාවේ ඵලදායී වැඩ කරන ජනතාවගේ හිස මත කඩා වැටී තිබෙන ලොකු ම බර මෙම දැවැන්ත, අකාර්යක්ෂම රජයයි. මහජනතාවගෙන් සූරාකන බදු මෙන් ම, අනාගත පරම්පරා උගස් තබා ලබා ගන්නා ණය ද වැය කරන්නේ මේ සූර චෞරයන් පිරිස නඩත්තු කරන්නට ය.

ලංකාවේ කිසිවෙක් මේ ඇත්ත කතා කරන්නේ නැත. හේතුව, කයිවාරු ගහන පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් කවුරුත් පදනම් වන්නේ මේ සූරා කන මධ්‍යම පංතිය මත නිසා ය.

ජනතා විමුක්ති පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂය දක්වා කිසිවෙක් මේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්නේ නැත. විසඳුම අන් කිසිවක් නො ව, රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමයි. එසේම, රාජ්‍ය අංශයට ලබා දී තිබෙන අසාධාරණ වරප්‍රසාද ඉවත් කිරීමයි. රාජ්‍ය සේවය වෙනුවට ඵලදායී වැඩ කරන කම්කරු පංතියට ප්‍රමුඛත්වය දීමයි.

රනිල් වික්‍රමසිංහ කරන්නේ එය ද? නැත. රනිල් වනාහි ඇත්තෙන් ම මේ චෞර මධ්‍යම පංතියට මේ මොහොතේ ලබා ගත හැකිව තිබෙන හොඳ ම නියෝජිතයා ය. ඔහු කරන්නට උත්සාහ කරන්නේ කොහෙන් හෝ හොර ආයෝජකයන් ටිකක් ගෙනැවිත් මේ මධ්‍යම පංතියට හා මධ්‍යම පංතික ජීවන පරමාදර්ශ මත කටයුතු කරන ලාංකික කම්මැලියන්ට කන්නට දීමට ක්‍රමයක් සෙවීමයි.

ඇත්ත ය. හම්බන්තොට පිහිටුවනු ලබන කර්මාන්ත ශාලාවල අවසානයේදී වැඩ කරන්නට එන්නේත් චීන්නු ම තමා ය. ලංකාවේ කම්මැලියන් ඒවායේ රස්සාවට යන්නේ නැත. ගියත් වැඩි කල් ඉන්නේ නැත. උන් කරනු ඇත්තේ චීන කම්කරුවන්ට ත්‍රිරෝද රථ එළවීම, ඔවුන්ට කාමර කුලියට දීම, බඩු පොට්වල ගනිකාවන් වීම, පාර අයිනේ තබාගෙන තැඹිලි විකිණීම වැනි දේ ය. ලොකු ධනපතියන් චීන කම්කරුවන්ට කැසිනෝ ක්ලබ් දමනු ඇත. හැබැයි ඉතින් ඒකෙනුත් ලංකාවේ ආර්ථිකය තල්ලු වනු ඇත. ලංකාවේ මධ්‍යම පංතික ජීවන ප්‍රමිති අනුව, මිනිසුන්ට අවශ්‍ය දවසේ වැඩි කාලයක් සමාජවාදය හා වෙනත් ඕපාදූප කතා කරමින්, ඈනුම් අරිමින් සිටීම මිස වැඩ කිරීම නො වේ. ඒ වැඩේට ඔය කියන සිරම් බිරම් රස්සා හොඳ ය. ආයෝජකයන් ගෙන්වා ගන්නවා නම්, එක්ටා වැනි ගිවිසුම් හරහා වැඩ කරන්නට ශ්‍රමිකයන් ද පිටරටින් ගෙන්වා ගන්නට අනිවාර්යයෙන් ම සිදු වනු ඇත.

ඒ අතරවාරයේ ලාංකික වීරයන් නිකම් ඉන්නේ ද නැත. සිංහලුන්ට හා දෙමළුන්ට එදිරිව මුස්ලිම්හු ද, මුස්ලිමුන්ට එදිරිව සිංහලු හා දෙමළු ද පැටව් ගසති. ලංකාවේ ජනගහණ වර්ධනය සිදු වන ආකාරය අනුව තව ලක්ෂ පනහක් ජනතාව මේ ජනගහණයට එකතු වන්නට නියමිත ය. (මේ පිළිබඳ ලංකාවේ ප්‍රමුඛ ජනවිකාස විද්‍යාඥයකුගේ අදහස් මෙතැනින් කියවන්න) (Read in English) මේ ඉන්න ටිකත් එක්කත් බෙදා ගන්නට මදි සම්පත් තව කටවල් ලක්ෂ පනහක් සමග කන්නට ගිය කල සිදු වන දේ තේරුම් ගන්නා එක තම තමන්ට ම භාර ය.

ඇත්ත ම කියනවා නම්, මේ ප්‍රශ්න ගැන දුර දිග සිතා බලා කටයුතු කරන පාලකයා රනිල් ය. පරමාදර්ශ, ප්‍රතිපත්ති ආදිය සමග ජීවත් වෙමින් පෙම්වතුන් නඩත්තු කරන වීරයකු ලෙස ඉතිහාසගත වෙනවා ද, ඕන එකක් කියා වර්තමාන මොහොතේ කළ යුතු දේ කරනවා ද යන තෝරා ගැනීම හමුවේ රනිල් ඇත්තට ම මේ රටේ ජනතාව වෙනුවෙන් බෙල්ල දෙමින් තිබේ. එහෙත්, ඔහු තමන්ගේ එක ම ගැලවුම්කාරයා බව තේරුම් ගන්නට තරම් ලංකාවේ කුහක මධ්‍යම පංතියට උවමනාවක් නැත.

ලංකාව වැනි බහුබූත රටකට එන්නට තරම් පිස්සුවක් ලොව ප්‍රධාන පෙළේ ආයෝජකයන්ට නැත. ගෙන්වා ගන්නට සිදු වන්නේ චීන මාක්ස්වාදී අධිරාජ්‍යවාදීන් හා වෙනත් චෞරයන් ය. රනිල්ගේ ඔය සංවර්ධන විශේෂ විධිවිධාන පනත යනු එවැනි යකුන් බැඳගෙන වැඩ කිරීම සඳහා යක්කුන්ට වඩා කපටි කට්ටඩින් පිරිසකට අවස්ථාව දීම සඳහා යෝජනා කළ එකකි. යකුන් සමග ඩීල්වලින් ලංකාව දිනනවා ද පරදිනවා ද යන්නට ද මේ නීති අදාළ ය. මේවා පිරිසිදු ගනුදෙනු නො වේ. ලංකාව තිබෙන්නේ පාරිශුද්ධ ලිබරල් ප්‍රතිපත්ති ඔස්සේ ඉදිරියට යා හැකි මංසන්ධියක නො වේ.

රනිල්ට වීරයකු වන්නට බැරි ය. එහෙත්, රනිල් කරමින් සිටින්නේ මේ මොහොතේ ලංකාව වැනි ගුබ්බෑයමක පාලකයකුට මේ ගුබ්බෑයම පවත්වාගෙන යන්නට කළ හැකිව තිබෙන දේ ය. රනිල්ට තිබෙන ප්‍රශ්නය ඔහුට සහායක පදනමක් නැතිකමයි. එහෙමත් නැතිනම් සහායක පදනමක් හදාගන්නට බැරිකමයි. එසේම, ඔහුගේ ලිබරල් පසුබිම ද ඔහුට බාධාවකි. විරුද්ධව කතා කරන එවුන්ගේ කටට පිස්තෝල කටක් ඔබන විදියේ පාලකයකු මේවා කරනවා නම් ඉවසා සිටින්නට සූදානම් වීරයන්ගෙන් පිරුණු රටක ඔහු අසාර්ථක වීමට ඇති ඉඩ වැඩි ය.

මධ්‍යම පංතික වීරයන්ට රනිල් විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය.

අප යෝජනා කරන ප්‍රතිපත්තිය මෙයයි. ලංකාවේ ධනවාදයට කේනීසියානු බාධක පුපුරුවා හරින්නට ඉඩ දිය යුතු ය. වෙනත් ආකාරයකින් කියනවා නම්, මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන අමු නිරුවත් ධනවාදයට සහාය දිය යුතු ය. ඒ එකකට වඩා අනෙක හොඳ නිසා නො ව, මුල් එක අසාර්ථක වී හමාර නිසා ය. එසේම දෙවෙනි එක සාර්ථක වන නිසා ද නො වේ. අඩු තරමේ එය විසින් අරගල බිම වඩා පැහැදිලි බෙදීම් සහිත එකක් බවට පත් කරනු ඇත.

මූලිකව ම ඵලදායී වැඩ කරන ජනතාව මධ්‍යම පංතික දේශපාලනික හා දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයෙන් ගලවා ගත යුතු ය. අප වැඩ කළ යුත්තේ ඵලදායී වැඩ කරන කම්කරු පංතියේ බලය වෙනුවෙනි.

(අප ලියන්නේ වීරයන් ලෙස ඉතිහාසගත වන්නට නො ව, ඉතිහාසයේ නිශ්චිත මොහොත වෙනුවෙන් මැදිහත් වීමක් ලෙස පමණක් බව ද කරුණාවෙන් සලකන්න.)

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *