රාජපක්ෂවාදය පරාජය කළ හැක්කේ තර්කයෙන් නොවේ – මහින්ද රත්නායක

නොවැම්බර්

2

7:32 පෙ.ව.

admin

පසුගිය සතියේ  ප‍්‍රධාන සංසිද්ධින් තුනක් කෙරෙහි ජනමාධ්‍යයේ අවධානය යොමු විය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට පත්වීම එයින් එකකි. දෙවැන්න  හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගෙන්, මහාපරිමාණ වංචා හා ¥ෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම  දිර්ඝ කටඋත්තරයක් ලබා ගැනීමය. ජනාධිපති මන්දිරයෙන් භූගත මාළිගාවක් හමුවීම තුන් වැන්න ය.

වීරවංශ ගේ තර්ක

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පසුගිය දා අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන් තොටුපලේ දී ය. මේ අත්අඩංගුවට ගැනීම ඔවුන් අර්ථ දක්වන්නේ ”සුද්දන්ගේ උසාවිය හා ජාතියේ අවනඩුව” යන මැයෙන් මැදපෙරදිග හා යුරෝපයේ පැවැත්වීමට නියමිත දේශන මාලාව නැවැත්වීමට ගත් පියවරක් ලෙසට ය. සැබවින්ම විමල් වීරවංශ මහතා අත්අඩංගුවට පත්වෙන්නේ ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ බලපත‍්‍රයක් ලබා ගැනීම සහ තත්කාලයේ වලංගුව පවත්නා විදේශ ගමන්බලපත‍්‍ර කිහිපයක් ළග තබාගැනීම හේතු කොටගෙන ය. නීති විරෝධි ගමන් බලපත‍්‍රයක් ලග තබාගැනීමට අදාලව වීරවංශ මහතාගේ බිරිඳට ද විරුද්ධව නඩුවක් විභාග වෙමින් පවති. රටේ පවතින නීතියට අනුව උක්ත චෝදනාවට ලක්වන  ඕනෑම පුරවැසියෙකු අත්අඩංගුවට පත්වන අතර විමල් වීරවංශ මහතාව අත්අඩංගුවට පත්නොවීමට ඒ අනුව කිසිම හේතුවක් නැත. එහෙත් වීරවංශ මහතා පවසන්නේ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් තිබීම අත්අඩංගුවට ගැනීමට තරම් දෙයක් නොව බව ය.

මහාපරිමාණ වංචා හා දුෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දීර්ඝ වශයෙන් කටඋත්තරයක් ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී පලකරන ලද  ප‍්‍රචාරක දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට ගෙවිය යුතු කෝටි ගණනක මුදල නොගෙවීමට අදාළව ය. ස්වාධින රූපවාහිනිය යනු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී ස්වාධීනත්වයක් නොතිබුණු ආයතනයක් බව කවුරුත් දනිති. මහජනයාගේ බදු මුදල්වලින් එය නඩත්තු වූවත් එහි සියලූම වැඩ සටහන් සකස් කෙරුණේ රාජපක්ෂගේ පාලනයේ උවමනා එපා කම් වලට අනුව බව නොරහසකි. ජයග‍්‍රහණය පිළිබඳ සැකයක් නොතිබූණු මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් සීමාවකින් තොරව පලකරන්නට ඇතිවාට සැකයක් තිබිය නොහැක. ඒ දිනවල රාජ්‍ය සම්පත් රාජපක්ෂ පවුල විසින් භාවිතයට ගැනුනේ කිසිදු වගවිභාගයක් නැතිව ය. ඒ අනුව මේ පිළිබඳ කට උත්තරයක් ලබාගැනීම අභව්‍ය සිදුවීමක් නොවේ. එහෙත් රාජපක්ෂ මහතා කියන්නේ මෙය දේශපාලන පලිගැනීමක් බව ය.

බංකරයක් වූ මාලිගාව

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූයේ භූගත  මාළිගාවක් නොව  බංකරයක් බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට ප‍්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අනුව එය බංකර මාළිගයකි.  අනුර කුමාර දිසානායක මහතා කියන ආකාරයටම එය බංකරයකට වඩා බංකර මාළිගාවක් වැනි එකක් බව බව  හදුණාගත හැක. ජනතා නැගිටීමක් ඇතිවුවහොත් තාවකාලිකව සැගවී සිටින්නට දුෂ්ඨ නායකයෝ සැප පහසු බංකර් හදාගනිති. බැලූ බැල්මට මෙය ද එවැනි බංකර් මාළිගාවක් සේ ය. එය එසේ වූවත්, රාජපක්ෂ මහතාට අනුව එවැනි සුඛොපභෝගි බංකරයක් හදාගැනීම වරදක් නොවේ.

රාජපක්ෂ මහතා ද කල්පනා කරන්නේ යුද්ධය නිමකළේ තමාගේ දේශපාලන නායකත්වය තුළින් වන හෙයින්  තමාට අදාළව නීතිය ක‍්‍රියාත්මක නොවිය යුතු ය යන්න ය. බංකරයක් වෙනුවට මාළිගාවක් හැදීම යුක්ති සහගත ය. ඒවා ප‍්‍රශ්න නොකළයුතු අතර බංකරයක නාමයෙන් මාලිගාවක් හෝ හැදීමට තමන්ට අයිතියක් තිබිය යුතු ය. මොවුන් පමණක් නොව මොවුනට පක්ෂපාති අය ද කල්පනා කරන්නේ ද රටේ නීතිය මොවුන්ට වලංගු වන්නට අවශ්‍ය නැත යන්න ය. ඔවුන් කල්පනා කරන ආකාරයට සුවිශේෂි පුද්ගලයින් වන හෙයින් නීතියකට යටත් නැතිව  ඕනෑම දෙයක් කිරීමට ඔවුන්ට හැකිවිය යුතු ය.

නීතිය කඩන්න අයිතියක් කොයින්ද ?

මේ නීති විරෝධි හා අකටයුතුකම් සම්බන්ධයෙන් ඔවුන් දෙන උත්තර දෙස බැලූවිට, වීරවංශ හා රාජපක්ෂ යන මහත්වරුන් කල්පනා  කරන්නේ  ඕනෑම අකටයුතුකමක් කිරීමට තමන්ට අයිතියක් ඇති බව ය. විමල් වීරවංශට අනුව විදේශ ගමන් බලපත‍්‍ර කිහිපයක් තබා ගැනීමෙන් තමන් වරදක් කර නැත. රටේ නීතිය අනුව වෙනත් පුරවැසියෙක් එවැනි වරදක් කළොත් වෙනම දෙයක් වන අතර තමා දේශපේ‍්‍රමියෙකු වන නිසා තමන්ට  ඕනෑතරම් බලපත‍්‍ර සංඛ්‍යාවක් තබාගත හැක. ඒ නිසා විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් තබා ගැනීම සම්බන්ධයෙන්, තමාට අදාළව නීතිය ක‍්‍රියාත්මක නොවිය යුතු ය. විමල් වීරවංශ මහතා කල්පනා කරන්නේ ඒ ආකාරයට ය. රාජ්‍යයට අයත් දේපොල තමන්ට සහ තම පවුලට අවශ්‍ය ආකාරයට පරිහරණය කළ හැකි බව රාජපක්ෂලා අදහති.

රාජපක්ෂගේ පාලනයට එරෙහි බොහෝ යහපාලනවාදීන් කථා කරන්නේ  රාජපක්ෂවාදය තාර්කිකව පරාජය කළ යුතු බව ය. එහෙත් රාජපක්ෂලාගේ දේශපාලනය  යනු තාර්කික පරාජය කළ හැකි දෙයක් නොවේ. එය තර්කයෙන් පරාජය කළ නොහැකි වන්නේ  රාජපක්ෂවාදය අනුයන සමාජ බලවේගය ක‍්‍රියාත්මක වන්නේ තර්කයක් මත නොව හැගීමක් මත වන හෙයිනි. වැඩවසම්වාදය තුළ නායකයින්ට   ඕනෑම නොහොබිනා දෙයක් කිරීමට අයිතියක් ඇති බව නායකයෝ කල්පනා කරති. අනික් අතට යමක් නොහොබිනා දෙයක් වන්නේ ඒ සමාජ බලවේගය එය නොහොබිනා දෙයක් ලෙස සළකනවා නම් පමණි. එසේ නොවන්නේ නම් ඒක නොහොබිනා දෙයක් වන්නේ නැත. ඒ නිසා  ඕනැතරම් නොහොබිනා දේවල් කරන්නටත්,  කරණ නොහොබිනා දේවල් තමන්ට වාසිවන ආකාරයට අර්ථ නිරූපනය කරගන්නටත් මේ නායකයින්ට අපහසුවක් නැත. මක් නිසාද යත් ඒවා තාර්කික නොවුනත් තමන් කරන සැම දෙයක්ම තම අනුගාමිකයින් පිළිගන්නේ නම් ඔව්නට එය ප‍්‍රමාණවත් ය. වැඩ වසම් නීතියට අනුව නායකයින් නීතියට යටත්විය යුතු නැත. නීතිය අදාල වන්නේ  ප‍්‍රවේනිදාසයන්ට පමණි.

ප‍්‍රවේනිදාස චින්තනය

ප‍්‍රවේනිදාසයෝ නායකයින් නීතියට ඉහලින් සිටිනවා දකින්නට කැමැත්තෝ ය.  එම නිසා රාජපක්ෂවාදයට තර්කය අදාළ නොවන බව වටහාගත යුතු ය. වංචා, ¥ෂණ, මිනීමැරුම් සහ අතුරුදහන් කිරීම්  නොකළ බව රාජපක්ෂලා කියන්නේ් නැත. එවැන්නක් කර තිබේනම් නීතිය අනුව ඔප්පුකරන ලෙසටයි ඔවුන් අභියෝග කරන්නේ. 48 ලක්ෂයක් පමණ ජනතාව මොවුන්ට ඡුන්දය දී ඇත්තේ ඔය සියල්ලම ඔවුන් කළබව දැනගෙන ය. යුධ අපරාධ නොකළ බව නොකියන ඔවුන් පවසන්නේ ඒවා පිළිබඳ පරික්ෂණ පැවැත්වීම පවා අනවශ්‍ය බව ය. මේ අනුව එම ක‍්‍රියාවන් සියල්ලම වැරදි හැටියට ඔවුන් නියෝජනය කරන සමාජ බලවේගය භාරගන්නේ නැති නම් ඒ වැරදි ඔවුන් කළ බවට තර්ක කිරීම නිරර්ථක ය. කළයුතු වන්නේ ඔවුන්ව සමාජ බලවේගයක් ලෙස භෞතිකව දුබල කිරීම මිස අකටයුතුකම් කළ බවට තර්ක කිරීම නොවේ.  තරාතිරම නොබලා නීතිය අකුරටම ක‍්‍රියාත්මක නොකරන්නේ නම් භෞතිකව ද මේ බලවේගය දුබල කළ නොහැක ය.

මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *