රනිල්ගේ නව ආර්ථි ප‍්‍රතිපත්තිය නව ලිබරල්වාදයෙන් කැඞීයෑමක් – මහින්ද රත්නායක – ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවනතාවය කුමක් ද යන්න අගමැතිවරයා තේරුම් ගත්තා සේය.

නොවැම්බර්

10

10:27 පෙ.ව.

admin

නොවැම්බර් 5වෙනිදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  පැවසූ සමාජ වෙළඳපොල ආර්ථික ප‍්‍රතිපත්තිය මත පිහිටා තම ආර්ථික සැළැස්මේ දළ රාමුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අගමැතිවරයා ගේ ආර්ථික සැළැස්ම පිළිබඳව ප‍්‍රමාණවත් සාකච්ඡුාවක්  මේ දක්වා කෙරී නැති නමුත් ඉදිරියේ දි එවැන්නක් සිදුවේ යැයි බලාපොරොත්තු විය හැක. ඇවන්ට්ගාඞ් සිද්ධිය මගින් අගමැතිවරයාගේ මධ්‍යකාලීන ආර්ථික සැළැස්ම පිළිබඳ කථාව යටපත් කෙරුනා සේයකි. තවත් පැත්තකින් මාදොලූවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමේ සිද්ධිය විසින් ද අගමැතිවරයාගේ කථාව යටපත් කෙරුනා විය හැක.

කවුරු බලයට පැමිණියත්  නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් නොවනවාය යන  අදහසක් සමාජයේ තිබීම ද මෙයට හේතුවක් වන්නට ඇත. සාමාන්‍ය ජනතාවට  ආර්ථික ප‍්‍රතිපත්තියක හොඳ නරක දැනෙන්නේ එය ක‍්‍රියාත්මක වනවිට ය. එසේ නැතිව ආර්ථික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් වූ පමණින් සාමාන්‍ය ජනයාගෙන් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැක. කවුරුත් දන්නා පරිදි ආර්ථික විෂය තරමක් නීරස විෂයකි. ඒ නිසාම රටේ පවතින දේශපාලනය කෙරෙහි උනන්දුව තරම් ක්ෂණික ප‍්‍රතිචාරයක් ආර්ථික ප‍්‍රතිපත්තියක් කෙරෙහි කිසිවෙකු දක්වන්නේ නැත. මෙය ද අගමැතිවරයාගේ කථාවට අවධානය යොමු නොවීමට හේතු වූවා විය හැක.

කෙසේ නමුත් යෝජිත ආර්ථික ප‍්‍රතිසංස්කරණ මගින් දශක තුනහමාරක් පමණ මේ රටේ ක‍්‍රියාත්මක වූ  නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියෙන්  කැඞී යෑමක් පෙන්නුම් කෙරේ. ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවනතාවය කුමක් ද යන්න අගමැතිවරයා තේරුම් ගත්තා සේයකි. 70 දශකයේ චිලියෙන් ආරම්භ වී බ‍්‍රීතාන්‍ය, ඇමෙරිකාව හා ලංකාව හරහා හමාගිය නව ලිබරල්වාදි ?ල්ල මේ වන විට බැස යමින් තිබේ. 2008 ආරම්භ වූ මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒමට අන්ත දක්ෂිණාංශික ආර්ථික ප‍්‍රතිපත්තියට තවමත් හැකිවී නැත. ග‍්‍රිසිය හා ස්පාඤ්ඤය වැනි රටවල පවතින ආර්ථික කඩා වැටීමෙන් පෙන්නුම් කරන්නේ එහි ප‍්‍රතිවිපාකයන් ය. සමාජය බොහෝ දේ අත්කරගෙන ඇති නමුත් ඇති නැති පරතරය  පෙර තිබුණාට වඩා වැඩිවීම මේ නව ලිබරල්වාදි ?ල්ල බැසයෑමට හේතු වී තිබේ. එහෙයින් නැවතත් එක්තරා ආකාරයක කේන්සියානු මාදිළියේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලට පසුබැසීමට ලෝක ධනේශ්වරයට සිදුවී තිබේ.

මේ තත්ත්වය තේරුම්ගෙන ඇති අගමැතිවරයා ඉල්ලූමෙන් ඈඳුණු උද්ධමනයක් රටතුළ ඇතිකිරීමේ අරමුණ ඇතිව මධ්‍ය කාළින ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇති බව පෙනේ. මෙයින් රටේ පරිභෝජනයට ඇති ඉල්ලූම ඉහල යෑමට හේතුවක් වන අතරම එය රටේ නිෂ්පාදනය දිරිගැන්විමට ද හේතුවක් වේ. මේ සඳහා මුල්‍ය හැසිරවීමට අදාල යෝජනා ද ඉදිරිපත්කර ඇති අතර සියල්ල වෙළඳ පොල නැත්නම් මිල ක‍්‍රමය යටතේ  තීරණය වන්නේ යැයි කියන අදහසින් වෙන් වී තිබේ. සමාජ වෙළඳපොල ප‍්‍රතිපත්තිය මගින් යෝජනා කෙරෙන්නේ රජයට ද විශාල කාර්ය භාරයක් පැවරෙන බව ය.

නව ලිබරල් ආර්ථිකයේ එන නිදහසේ තෝරා ගැනීම හා තරගය වෙනුවට රජය විසින් එම පෞද්ගලික නිදහස කිසියම් ප‍්‍රමාණයකට සීමා කෙරෙන බව මෙයින් පැවසේ.  විශේෂයෙන් රජය විසින් සිවිල්, දේශපාලන, ආර්ථික. සමාජ හා සංස්කෘතික යන මානවහිමිකම් පද්ධති පහ ආරක්ෂා කළයුතු බව නව ප‍්‍රතිපත්තියෙන් යෝජනා කෙරේ. සමාජීය වෙළඳපොල ආර්ථිකය, පුරවැසියන්ගේ මූලික අයිතීන්  අනතුරට ලක්වන හෝ උල්ලංඝනය වන්නේ නම් ඔවුන්ට සමාජ ආරක්ෂාවක් රජය විසින් සහතික කරනු ලබයි. මෙයින් පවසන්නේ රජය විසින් එහි පුරවැසියන්ට සමාජ ආරක්ෂණ ජාලයක් සහතික කරනු ලබන බව ය. අද චීනයේ පවතින්නේ ද මෙවැනි ක‍්‍රමයක යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එය වැරදි ය. ඇත්තටම චීනයේ අද තිබෙන්නේ  රාජ්‍ය ධනවාදි ක‍්‍රමය කි.

ඒ අනුව සමාජ වෙළඳ පොල ආර්ථිකය කිසියම් දුරකට මිශ‍්‍ර ආර්ථික පද්ධතිවල ඇති ලක්ෂණයක් පෙන්නුම් කෙරේ. ආර්ථිකයේ බොහෝ අංශවල වෙළඳ පොල යාන්ත‍්‍රණය මගින් මිල හා නිමවුම තීරණය කරනු ලබන අතර  බදු අයකිරීම, වියදම් කිරීම රෙගුලාසි පැනවීම යන කටයුතු ඇසුරින් වෙළඳ පොලේ කටයුතු හැඩගස්වයි. කාර්යක්ෂම හා මානුෂීය සමාජයක් නිර්මානය කිරීමට නම් වෙළඳ පොල හා ආණ්ඩුව යන දෙපාර්ශවයේම දැයකත්වය අවශ්‍ය වේ. ප‍්‍රකට ආර්ථික විද්‍යඥයෙකු වූ පොල් සැමුවෙල්සන් කියන්නේ මේ දෙඅංශයේ සංකලනයකින් තොරව නූතන ආර්ථික පද්ධතියක් මෙහෙයවිය නොහැකි බව ය.

විශේෂයෙන්ම ශ‍්‍රි ලංකාවේ දේශපාලන ආර්ථිකයේ තවමත් තීරණාත්මක සාධකය වන්නේ ග‍්‍රාමීය ක්ෂේත‍්‍රයයි. රටේ භූමියෙන් 80%ක් තවමත් ග‍්‍රාමිය ප‍්‍රදේශ වේ. ග‍්‍රමීය ජනතාවගෙන් 30%ක් තවමත් නිරත වී සිටින්නේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ය. මේ 30%ක නිෂ්පාදකයින් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය 10% පමණ සුළු ප‍්‍රමාණයකි. මූලික වශයෙන් ග‍්‍රාමීය ආර්ථිකයේ  මේ ගැටළුවට ව්‍යුහාත්මක විසඳුමක් ඉදිරිපත් නොකරන්නේ නම් මේ රට කෙසේවත් සංවර්ධනය කළ නොහැකි ය.

දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ වැනි නායකයින්ට තවමත් පදනමක් පවතින්නේ ග‍්‍රාමිය ක්ෂේත‍්‍රයේ ඇති මේ පසුගාමිත්වය නිසාවෙනි. රනිල් වික‍්‍රමසිංහ මහතා මේ පසුගාමිත්වය තුරන් කිරීමට අදිටන් කරගෙන ඇත.  ගැමි ආර්ථිකයේ ශ‍්‍රමිකයින් 30%ක් ජාතික ආර්ථිකයට ලබාදෙන  10% දායකත්වය එසේ තිබිය දී ඒ ශ‍්‍රමිකයින්ගෙන් 20% වෙනත් ක්ෂේත‍්‍රවලට උරා ගැනීමට සැළැස්විම මේ ව්‍යුහාත්මක වෙනසේ ප‍්‍රධාන ලක්ෂණයකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙෂ ග‍්‍රාමීය ඉඩම් අතිරික්තයක් ඇතිවිය හැකි අතර එය මධ්‍යම ප‍්‍රමාණයේ කෘෂි භෝග වගාවන්ට යොමුකළ හැක.

මෙහි දී ආණ්ඩුව බරපතල ඉඩම් ප‍්‍රතිසංස්කරණයකට ද සිය අවධානය යොමුකර ඇති බව පෙනේ. විශේෂයෙන්ම වසර 10 පදිංචිය ඔප්පුකළ හැකි සියළුම දෙනාට සින්නක්කර හිමිකම ලැබීම ඒ අතර ප‍්‍රධානය. ග‍්‍රාමීය සුළු කෘෂිකාර්මික නිෂ්පාදකයින් මහාපරිමාන  කෘෂිකාර්මික සමුපකාර සමාගම් වලට සංයුක්ත කිරීම ඊ ළග වැදගත් යෝජනාව වේ. එයට අවශ්‍ය සියලූම යටිතල පහසුකම් රජය විසින් සම්පාදනය කෙරේ. මේ සියල්ල කෙරෙන්නේ ග‍්‍රාම රාජ්‍ය සංවර්ධන කෙන්ද්‍ර 2500ක් කේන්ද්‍ර කරගෙන ය. මේ නිෂ්පාදන ජාත්‍යාන්තර වෙළඳ පොල ඉලක්ක කර සංවර්ධනය කිරීම අගමැතිවරයාගේ සැළසුම ය.

කාර්මික නිෂ්පාදනය හා සේවා අංශය  වැඩි දියුණු කිරීම රාජපක්ෂ මාදිළියේ සංවර්ධනයෙන් කැඞී වෙන්වේ. රාජපක්ෂ කළේ අධික පොලියට ණය මුදල්ගෙන නාස්තිකාර මහා පරිමාණ ව්‍යාපෘති හරහා ගසා කෑමය. කාර්මික නිෂ්පාදනය සඳහා පරිභෝජනය අඩුකර ආයෝජනය වැඩි කිරීම වෙනුවට රනිල් යෝජනා කරන්නේ විදේශ ආයෝජන හරහා කාර්මික නිෂ්පාදනය හා සේවා ආර්ථිකය වැඩි දියුණුකර ගැනීමට ය.  මේ මගින් පාරිභෝගිකයින්ට පටිතද කරගැනීමට අවශ්‍ය වන්නේ නැත. මේ අනුව පෙනී යන්නේ යථාර්ථයට ගැලපෙන ආකාරයට ශි‍්‍ර ලංකාවේ ආර්ථිකය මෙහෙයවා ගැණිමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යතාවයක් ඇති බව ය. කොටස් වෙළඳ පොල ඉහල යෑමෙන්ම මේ ආර්ථික ප‍්‍රතිපත්තියට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන බව දැනටමත් පෙනෙන්නට ඇත.

මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *