මෛත්‍රී-රනිල් ආණ්ඩුවට 2016 තීණාත්මක වසරක්- මහින්ද රත්නායක ජාතිවාදිහූ සුපුරුදු අවි අමෝරාගෙන ඉදිරියට පැමිණිමට සූදානමින් සිටිති

ජනවාරි

3

9:43 ප.ව.

admin

රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කර මේ මස 8 වෙනිදාට වසරක් සැපිරේ. එතැන් සිට දින 5ක් ගතවන තැන සම්මුතිවාදී ආණ්ඩුවේ වසය හරියට මාස 5 කි. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් වර්ෂ පූර්ණ සමරුව සඳහා ආණ්ඩුව ලහිලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට ද තිබේ. එහෙත් පුරවැසියන්ගේ පැත්තෙන් ගත්කළ කොමිසන් සභා පත්කිරීමට හැරුණුවිට, සෑහීමකට පත්විය හැකි යමක් මේ ආණ්ඩුවෙන් කෙරුනා යැයි අවංකව ම පැවසිය නොහැක. අප එසේ පවසන්නේ අභයාරාම පාර්ශවය දක්වන අර්ථයෙන් නොව රාජපක්ෂ සංස්කෘතිය මුලිනුපුටා දමා නව මගකට රට ගෙනයෑමට පදනමක් දමාගැනීමට මේ ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙනි. පසුගිය පාලන සමයේ කළ දුෂණ හා මිනීමැරුම් සම්බන්ධව කෙරෙන සොයා බැලීම්වල ඇති ප්‍රමාදයන් ගැන කවුරුත් කථා කරති. මේ කථා කරන්නේ ඒවා ගැන නොව ආණ්ඩුවක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම පිළිබඳව පැහැදිළි අවබෝධයක් හා අධිෂ්ඨානයක් ඇතිව කටයුතු නොකිරීම සම්බන්ධයෙනි.

නව ආණ්ඩුවේ අසමත්කම අයවැය ලේඛණය ආශ්‍රයෙන් මතු වූ විරෝධයන් සහ ආණ්ඩුව එයට ප්‍රතිචාරය දැක් වූ ආකාරයෙන්ම පැහැදිළි විය. සියලු පව් රවී කරුණානායක ඇමතිවරයා මත පටවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැලවුම්කරුවා වූ නමුත් එම අයවැය ලේඛණය සකස් කළේ ඔහු නොවන බව මොලේ කලඳක් ඇති ඕනෑම පුරවැසියෙක් දනිති. මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා කළේ, සමාජ බලවේගයන්ගේ දේශපාලන හැසිරීම පිළිබඳ මෙලොව තේරුමක් නැතිව මහබැංකු අධිපතිවරයා ඇතුළු මහබැංකුවේ නිලධාරින් සකස් කළ අයවැය ලේඛණය කියවීම පමණි. රවී කරුණානායක මහතා පමණක් නොව රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ද සිදුවූයේ ද මේ දේම ය. වෙනස වන්නේ එදා රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබීම හා මෙදා ප්‍රජාතන්ත්‍රවාදයක් තිබීම ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, නිදහස් කාර් බලපත්‍රය පෙරට දමා ආණ්ඩුවට අභියෝග කළේ විකසිත වූ ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස ප්‍රයෝජනයට ගෙන ය. කළදුටු තැන වළ ඉහගන් කීවාසේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් නොයෙකුත් ඉල්ලීම් ඉදිරිපත් වූයේ එයින් අනතුරුව ය. අවසාන ප්‍රතිඵලය වූයේ සියළුම දෙනාගේ ඉල්ලීම් ඉටුකරන තැනට ආණ්ඩුව පත්වීම ය. මෙය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන කැඩපතක් බව පෙන්වීමට ආණ්ඩුව කොතෙක් මහන්සි ගත්ත ද, මෙය දේශපාලන ආර්ථික විද්‍යාවේ මූලධර්ම නොදන්නාකමේ ප්‍රතිඵලයක් බව අපිටනම් රහසක් නොවේ. රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීමට කැප වූ වැඩකරන පංතියේ ජනතාවට අහිතකර ලෙස බලපාන වෙනස්කම් ඇති නොකර, අයවැය ලේඛණය සකස්කර ගැනීමට ආණ්ඩුව සමත් වූයේ නම්, ඇති හැකි අයට පැන වූ බදු ඒ හැටියට තබාගැනීමට ආණ්ඩුවට හැකි වන්නට ඉඩතිබුණි. එසේ නොවී අවසානයේ සිදු වූයේ අයවැය සංශෝධනයන් මගින්, වක්‍රාකාරයෙන් බදුබර සියල්ලම පොදු ජනතාවගේ කරමතට වැටීම ය.

ආණ්ඩුවට පැනීමට ඇති මී ළග කඩුල්ල වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් ස්ථාපිතකර ගැනීම ය. මේ කාර්යට එරෙහිව ජාතිවාදි හූ සුපුරුදු අවි අමෝරාගෙන ඉදිරියට පැමිණිමට සූදානමින් සිටින බව පෙනේ. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොදෙන තැනක ආණ්ඩුව රඳවා තබාගැනීම ය. වත්මන් ආණ්ඩුව ජාතිවාදීන්ට යට වී ජාතික ප්‍රශ්නයට විසඳුමක් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් තහවුරු කිරීමට අසමත් වන්නේ නම් රනිල්-මෛත්‍රි ආණ්ඩුව ප්‍රයෝජනයට නැති ආණ්ඩුවක් බවට පත්වීම වැළක්විය නොහැක. ඒ නිසා අධිෂ්ඨානයක් ඇතිව ප්‍රශ්නයට අතගැසීමට ආණ්ඩුව වගබලාගත යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සමාජයේ වසන සියලුම සමාජ බලවේගන්ගෙන් අදහස් ලබාගැනීමේ ඇති වරදක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් එය එසේ ම විය යුතු ය. එහෙත් ඒ සමගම ජනවරමට පිටුපා පසුගාමී අදහස්මත ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට අයිතියක් නැත. නව ව්‍යවස්ථා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ජනමත විචාරයට ලක්කරන බව ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදකයින් මේවන විටත් පවසා තිබේ. දිනේශ් ගුණවර්ධන මහතා කියන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකිරීම බරපතල වරදක් බව ය. අධිකරණය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ පරමාධිපති බලය මිසක් ගුවනේ ලඹදෙන දෙවියන්ගේ බලයක් නොවේ. එහෙයින් නව ව්‍යවස්ථාවට කෙලින්ම ජනතාවගෙන් වරමක් ගැනීම අධිකරණයට වඩා උත්තරීතර ය. එහෙයින් නව ව්‍යවස්ථාව ව්‍යාර්ථ කිරීමට රාජපක්ෂගේ ජාතිවාදි නඩය ඉදිරිපත් කරන මේ පුහු තර්ක බිඳ දැමීමට ආණ්ඩුව සමත්විය යුතුව තිබේ. අයවැයේ දී මෙන් සමාජයේ පසුගාමී බලවේගයන් කියන කියන ආකාරයේ ජාතිවාදි, කුළවාදී, ගෝත්‍රවාදී මෙන්ම ආගම්වාදි වෙනස්කම් ඇතුල් නොකිරීමට ආණ්ඩුව වගබලාගත යුතු ය.

මෙසේ කරන්නට නම් තමන් කරන්නට යන ප්‍රජාතන්ත්‍රවාදි වෙනස පිළිබඳ අධිෂ්ඨානයක් තමන්ට තිබෙන බව ආණ්ඩුව ප්‍රථමයෙන් ප්‍රදර්ශනය කළයුතුව ඇත. ඒ සඳහා ප්‍රාරම්භණයක් ලබාදීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් එවැනි අධිෂ්ඨනයක් ඇති බව ජනාධිපති සිරිසේන මහතා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා පෙන්වා නැත. ජාතිවාදීන්ට යට වී වෙනස්කම් කිරීමට ඉඩතබාගෙන බළලුන් ලවා කොස්ඇට බෑමේ ප්‍රතිපත්තියක නායකයින් සිටින්නේ නම් ඒ අදහස නායකයින් දැන්ම ම ඉවත්කරගත යුතු ය. එසේ නොවන්නේ නම්නොකෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට කවුරුවත් බෙල්ලදීමට සූදානම් වන්නේ නැත.

රාජපක්ෂගේ සමාජවාදය පිටුපස ගිය සමසමාජ- කොමියුනිස්ට් පක්ෂවලට ද මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තීරණාත්මක ය. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ද සාධාරණ විසඳුමක් ඉදිරිපත් කෙරෙන්නේ නම් අධිරාජ්‍යවාදයට මුවා වී එයින් පලායෑමට එම පක්ෂවල උදවියට ද හැකියාවක් නැත. 13වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එදා ඔවුන් එකග වූයේ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවක් නිසා නොවේ. එදා ඔවුන් එයට එකගවූයේ එය දෙමළ ජනතාවට එයින් සාධාරණයක් වන නිසා ය. එය එසේ නම් අද ඔවුන්ට මෙයින් පලා යෑමට කිසිසේත්ම ඉඩක් නැත. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරනවිට ඔවුන් එය මගහැර යන්නේ නම් එකි වාමාංශිකයින්ට, දිනේශ්, වීරවංශ හා ගම්මන්පිලගේ ජාතිවාදී ගුබ්බෑයම හැර නවතින්නට වෙනත් තැනක් ඉතිරිවන්නේ නැත.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *