අයවැයට මූල්‍ය ජාවාරම්කරුවන්ගේ හා ඉහළ මැද පංතියේ විරෝධය – මහින්ද රත්නායක . තමන්ට යමක් ලැබෙන්නේ නම් රටට හෙන ගැහැව්වත් කමක් නැත ප‍්‍රතිපත්තිය

දෙසැම්බර්

3

6:20 පෙ.ව.

admin

නව රජයේ මංගල අය වැයට එරෙහිව පැති කිහිපයකින් විරෝධතාවයන් එල්ල වෙමින් පවතී. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, කාර් ආනයන බලපත‍්‍ර අහෝසි කිරීමට  තම විරෝධය පලකළේ ය. රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ මහත්වරු ද මෙයට පසුව එක්විය. අතුරු වෛද්‍ය සේවය සහ හෙද සේවයේ පිරිස් ද මේ විරෝධයට දැන් එක්වී සිටිති. රාජ්‍ය සේවයට අලූතෙන් බඳවාගන්නවුන් සඳහා නව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමට යෑම පිළිබඳව රාජ්‍ය සේවසේ වෘත්තිය සමිතිවලින්ද විරෝධයක් පැනනැගී ඇත. සේවක අර්ථ සාධක සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් දෙක එක්කර නව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හැදීමට පෞද්ගලික අංශයේ සේවකයන් ද එකග නැත.
මෙයට අමතරව රාජපක්ෂ ප‍්‍රම‍්‍රඛ විපක්ෂ සන්ධානය ද දේශපාලනිකව අයවැයට තම විරෝධය දක්වා තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව මේ වනවිට විශ්වාස භංග යෝජනාවක් ද භාරදී ඇතිබව වාර්තාවේ. මෙයට අමතරව රාජපක්ෂ පාලනයට එරෙහිව මතුවූ ජනතා ව්‍යාපාරයට පිටු පෑ අනියමින් රාජපක්ෂට උපකාර කළ  වාමාංශික කණ්ඩායම් කිහිපයක් ද මේ අයවැයට විරෝධය පලකර ඇත. මහින්ද රාජපක්ෂගේ මජර පාලනය ඉදිරිපත් කළ  එක දු අයවැයකටවත් උක්ත පාර්ශවයන්ගෙන් මෙවන් විරෝධයක් එල්ල වූයේ නැත. ඊ. පී. එෆ් ප‍්‍රශ්නය මුල්කරගෙන පෞද්ගලික අංශයේ පහල කම්කරු ශ්‍රේණින්ගෙන් රාජපක්ෂට එල්ලවූ විරෝධය  සැළකිය හැක්කේ ව්‍යාතිරේඛයක් ලෙසිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකසිතවීමේ ප‍්‍රතිපලයක් ලෙස මතුවන මේ විරෝධතාවයන්  කළමණාකරණය කිරීමට ආණ්ඩුව  සමත්විය යුතු ය.

මහින්ද රාජපක්ෂ ජනහිතවාදී අයවැයක් පසුගිය වසර 10 තුළ ඉදිරිපත් කළේ නැත.  ජනහිතවාදි ප‍්‍රතිපත්තියක් මත පිහිටා තම අයවැය ඉදිරිපත් කළේ නම් පසුගිය වසර 10 තුළ ලංකාවේ ඇතිනැති පරතරය අඩුවිය යුතුව තිබුණි. ඒ වෙනුවට සිදුවූයේ රටේ ඉහළම ආදායම ලබන්නට රටේ දළ ජාතික ආදායමෙන්  51%ක් හිමිවන විට පහළ ආදායම ලබන්නන්ට හිමිවූයේ 4.5%කි. එවන් තත්ත්වයක් තුළ මතු නොවූ විරෝධයක් සම්මුතිවාදි ආණ්ඩුවේ මංගල අයවැයට එල්ල වන්නේ ඇයි ද යන්න විමසා බැලීම වැදගත් ය.

ජේ. ආර්. ජයවර්ධන ආරම්භ කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියෙන් කැඞී වෙන් නොවුනු රාජපක්ෂ ජාවාරම්කාර ආර්ථිකය ශක්තිමත් කළේ ය. රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගත් ජාවාරම්කරුවන්, ආර්ථික වශයෙන් බලවත් වූවා පමණක් නොව රාජ්‍ය බලය අහිමි වූ පසුවත් රටේ දේශපාලනය හසුරුවන්න තරමට ඔවූහු බලවත් විය. ජනතාවගේ ඇගට දැනෙන අංශවලට සේවා සපයන ඉහළ නිලධාරීන්ට නොයෙක් ආකාරයේ සහන දෙන්නට ද රාජපක්ෂ පාලනය අමතක කළේ නැත. සහන වලට වඩා අල්ලස් ලෙෂ සැළකිය හැකි එම වරප‍්‍රසාද මගින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය  නිලධාරින් නිහඬකර තබා ගැනීමට රාජපක්ෂ සමත් විය.

මේ වෘත්තිය ශ්‍රේණීන් සිටියේ තමන්ට යමක් ලැබෙන්නේ නම් රටට හෙන ගැහැව්වත් කමක් නැත යන ප‍්‍රතිපත්තියක ය. තීරුබදු සහන නොලැබුණත් හොඳ වාහනයක් ගැනීමට වෛද්‍යාවරයෙකුට හා රාජ්‍ය නිළධාරියෙකුට අමාරු කාරණයක් නොවන බව කවුරුත් දනිති. ජාවාරම්කාර ආර්ථික වටිනාකම් වලට  ලොල් බඳින දොස්තරලා එක්තරා ආකාරයක නාඩාර්වරු පිරිසක් ලෙස සැළකිය හැක. කෙසේ නමුත් බලපත‍්‍රය වෙනුවට රුපියල් මිලියනයක් වෛද්‍යවරුන්ට ලබාදීමට රාජිත සේනාරත්න ඇමතිවරයා දැන් යෝජනාකර ඇත. මහින්දගේ පාලන කාලය තුළ වංචා ¥ෂණ සිදුවූයේ රාජ්‍ය නිලධාරින් නොදැනුවත්ව නොවේ. මේවායින් බොහෝමයකට රාජ්‍යයේ  නිලධාරින්ද සම්බන්ධ ය. එම නිලධාරීන් ද නව රජය අනුගමනය කිරීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිපත්තියට එකග නොවීම තේරුම්ගත හැක.

මී ළගට ඉතිරි වන්නේ  පහළ ශ්‍රේණියේ කම්කරුවන් ය. ඔවුන්ගේ එකගතාවයකින් තොරව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලට අත නොතියන බව අගමැතිවරයා දැනටමත් ප‍්‍රකාශකර තිබේ.  මේවන විටත් අගමැතිවරයා ඒ අංශයේ වෘත්තිය සමිති නායකයින් සමග සාකච්ඡුා ආරම්භකර තිබේ. රාජපක්ෂගේ පාලනය ඉවත් කිරීමට සම්බන්ධ වූයේ මේ ශ්‍රේණියේ කම්කරුවන් පමණි. නව ආණ්ඩුවට කිසියම් ආකාරයකට සහයෝගය දක්වන මේ පාර්ශවය අමනාප කරගැනීම සුදුසු නොවේ. රටේ ආර්ථිකය නව මගකට යොමුකර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන මොහොතක  මිතුරු බලවේග සතුරු නොකරගැනීමට ආණ්ඩුව ප‍්‍රවේසම්විය යුතු ය.

අපගේ ආර්ථිකයේ මූලික ගැටලූවක්ව ඇත්තේ අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළ අගයක් ගැනීමය. අපගේ අපනයන ආදායම 14% වන විට ආනයන වියදම 27%කි. මේ අනුව 17%ක පමණ හිගයක් පියවාගත යුතුව ඇත. මෙම ආනයන වියදමෙන් වැඩි හරියක් වැය වන්නේ කාර් ආනයනයන්ට ය. අත්‍යවශ්‍ය ආහාර ආනයන අඩු කළ නොහැක. එහෙයින් ආනයන සීමාකරනු වස් කාර්වලට බදු වැඩි කිරීම ඉතාම සාධාරණය. රටේ නිෂ්පාදනයට දායක නොවෙන කාර් සේල් කාරයින්, මූල්‍ය ජාවාරම්කරුවන්  සමග ගණුදෙනු කරන ¥ෂිත රාජ්‍ය නිලධරය මේ අය වැයට විරුද්ධවන්නේ ඇයිද යන්න අපිට තේරුම්ගත හැක.

මෙයට අමතරව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරනවා වෙනුවට රාජ්‍ය අධිකාරියක් යටතට පත්කිරීමට යෝජනාකර තිබේ. එය ද යහපත් යෝජනාවකි. දේශපාලන මැදිගත්වීම් වලින් තොරව මනා කළමනාකරණයක් යටතේ ඒවා ලාභ ලබන ආයතන බවට පත්කළ හැක. නැතිනම් වෙන්නේ එවා දේශපාලනඥයින්ගේ රැුකියා ලබාදෙන ස්ථාන බවට පත්වී  ලාභ නොලබන ආයතන බවට පත්වීම ය. ඒ පාඩව පියන්නට වෙන්නේ ද මහජනයාගෙන් එකතුකරගන්නා බදු මුදල් වලිනි. මහජනයාට බරක් නොවන මෙවැනි ප‍්‍රතිසංස්කරණ වලට යමෙක් විරුද්ධ වන්නේ නම් එහි කිසිදු තේරුමක් නැත.

මෙය ධනවාදී සංවර්ධන ක‍්‍රමෝපායක් බව අමුතුවෙන් කිවයුතු නැත. චීනයේ පවා අද ඇත්තේ ධනවාදි සංවර්ධනයකි. විදේශ ආයෝජනයන් රට තුළට නො එන්නට චීනයට ඒ දැවැන්ත සංවර්ධයන අත්කර ගන්නට හැකිවන්නේ නැත. දේශපාලන තේරුමෙන් ගත් කළ සමාජ සාධාරණත්වය අමතකකර මොනම ධනවාදි සංවර්ධනයකටවත් අද පවතින්නට හැකියාවක් නැත. ඒ නිසා ධනවාදි සංවර්ධනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය අමතක නොකිරීමට තරම් පාලකයින් බුද්ධිමත් විය යුතු ය. එය
අමතක කළහොත් පරාජිත බලවේගයන්ට නැවතත් දොර විවර කිරීමක් වනු ඇති බව මතක් කළ යුතු ය.

මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *