මානව හිමිකම්වල හදවත

දෙසැම්බර්

15

7:58 පෙ.ව.

admin

දූෂණ-විරෝධී දිනය පස්සෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයත් පැමිණෙයි. සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සහ අභිවෘද්ධිය කෙරෙහි මේ අංශ දෙක දක්වන සම්බන්ධතාව නිසා එසේ ළඟ ළඟ ඒ දින දෙක සැමරීම අර්ථවත් විය හැකිය.

විශේෂයෙන් ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ ගැනීමට අලුත් ආණ්ඩුවක් හරහා මෑතක සිට පෙළඹීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තමන්ගේ මානව හිමිකම් වාර්තාවට අදාළ ප්‍රබල පියවර ගණනාවක් ගැනීමටත් මේ වන විට උත්සාහයක් ගෙන තිබේ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මුල් අයිතිකරුවන්ට ඔවුන්ගෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම් නැවත ලබා දීම, දේශීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවා ගැනීම සහ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනයට සහභාගී වීමේ අවස්ථාව සමාජයට සලසා දීම ආදී කරුණු එහිදී ප්‍රධාන වෙයි. එසේ වෙතත්, දූෂණය නිසා රටේ සම්පත්වලට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය බරපතල සේ සීමා කෙරෙන හෙයින්, මානව හිමිකම්වලට අදාළ ක්ෂේත්‍රය, රටේ පවතින දූෂණය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙනුත් කෙලින්ම අදාළ වෙයි.

ලෝකය පුරාම දෛනික මට්ටමකින් ප්‍රකෝටි ගණන් ජනතාවකගේ මූලික මිනිස් අයිතීන් උදුරා ගැනෙන එක අංශයක් වන්නේ දූෂණයයි. දිළිඳු භාවය අවම කිරීමේ ප්‍රයත්නයන් කෙරෙහි ප්‍රධාන බාධකයක් වන්නේද දූෂණයයි. මන්ද යත්, දිළිඳු භාවය පිටුදැකීම සඳහා අවශ්‍ය කරන සම්පත්වලින් විශාල පදාසයක් දූෂිත ප්‍රභූන්ගේ සහ දේශපාලඥයන්ගේ සාක්කුවලට යන බැවිනි. එම නිසා, දූෂණය නැමැති සාධකය රටේ ආර්ථික වර්ධනයට හානිකර අන්දමින් බලපෑම හේතුකොටගෙන සිදුවන විදේශ ආයෝජන අධෛර්යමත් වීම තුළින් වක්‍රාකාරයෙන් දිළිඳු ජනතාවගේ ජීවන තත්වය දුෂ්කර කරනවා පමණක් නොව, දිළින්දන්ගේ ශුද්ධ ආදායමත් ඒ මගින් බාල කෙරේ. ඊට අමතරව, එවැනි දිළිඳු සමාජ කොටස්වල අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් සකස් වන ප්‍රතිපත්ති, වැඩපිළිවෙලවල් සහ උපාය මාර්ග පවා මේ කියන දූෂණය නිසා විකෘති වන අතර, දිළිඳු භාවයෙන් ජනතාව ගලවා ගැනීමේ මූලික අංගයක් වශයෙන් පවතින රජයේ සම්පත් යටිතල සංවර්ධනයන් සඳහා යෙදවීමේ අවකාශයත් දූෂණය මගින් අහුරනු ලැබේ.

සමාජය පුරා (විශේෂයෙන් සෞඛ්‍ය සේවා, නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ අධිකරණයේ) දූෂණය ඔඩුදුවන විට, රජයේ නිලධාරීන්ගේ සිල්ලර අල්ලස් ගැනීමේ සාපයට දුප්පතුන්ද බිලිවන්නේ, සමාජයේ වෙනත් ඕනෑම කණ්ඩායමක් ඊට බිළිවන පරිද්දෙනි. එහෙත්, එය දිළින්දාගේ සාක්කුවට බලපාන ආකාරය, වෙනත් සමාජ කණ්ඩායම්වලට වඩා, වෙනස් ය. එසේම බරපතල ය. මෙවැනි කුඩා ප්‍රමාණයේ අල්ලස් හැරුණු කොට, මහ පරිමාණයේ දූෂණවලින් පවා වැඩියෙන් විඳවන්නේ දිළින්දන් ය. මන්ද යත්, එහි දී කොල්ලකැවෙන්නේ, මහජන සේවාවන්හි ප්‍රමිතිය වන බැවිනි. එවැනි මහජන සේවාවන් මත සෘජුවම රඳා පවතින සමාජ කොට්ඨාශය දිළිඳු ජනතාවයි. මේ නිසා, දූෂණය හේතුවෙන් අසමානුපාතික වන්දියක් ගෙවන්නේ, වෙනත් සමාජ තීරුවලට වඩා දිළිඳු සමාජ තීරුව බව පෙනී යයි.

2015 අවසාන වන විට ලෝකයේ අන්ත දරිද්‍රතාව මුලිනුපුටා දැමීමේ ‘සහස්‍ර සංවර්ධන ඉලක්කයට’ ළඟා වීමට ජාත්‍යන්තර ප්‍රජාවට ඇති හැකියාව, දූෂණය නිසා බරපතල සේ සීමා වෙයි. එබැවින් දිළිඳු භාවය පිටුදැකීමේ උපායමාර්ග තුළ දූෂණ විරෝධය අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් ඇතුළත් විය යුතුව තිබේ. එසේ නොවුණහොත්, ඉහත කී ඉලක්කය ජය ගැනීම මොන විදිහකින්වත් යථාවාදී වන්නේ නැත. ඒ නිසා, මේ වසරේ ඇති කරගත් ‘තිරසාර ආර්ථික සංවර්ධන ඉලක්ක’ වැඩපිළිවෙල දූෂණ-විරෝධී පියවරයන් කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් වී තිබේ.

එසේම, දූෂණ-විරෝධී වැඩපිළිවෙලවල් පිළිබඳ ක්‍රියාපරිපාටි සැලසුම් කිරීමේ ප්‍රයත්නය තුළ ස්ත්‍රී පුරුෂ භේදය වැනි ලිංගිකත්වය සහ වෙනත් ආකාරයේ විසම සැළකීම් සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුව තිබේ. මෙවැනි වැඩ සටහන්වල සාර්ථකත්වය සඳහා සියලු ආකාරයේ විසම සැළකීම් තුරන් කිරීම මූලික කොන්දේසියක් විය යුතුව තිබේ. දූෂණය සෑම සමාජ කොට්ඨාශයකම අයිතීන් උල්ලංඝනය වීම් කෙරෙහි බලපෑවත්, ඇතැම් විශේෂිත ජන කොටස් කෙරෙහි ඒ මගින් අසමානුපාතික බලපෑමක් ඇති කරන බව වටහා ගත යුතුය. ස්වදේශීය ජන කොටස්, සංක්‍රමණික සේවක ප්‍රජාවන්, ආබාධිත සමාජ කොටස්, ඒඞ්ස් රෝගීන්, සරණාගතයන් සහ සිරකරුවන් ආදී කොටස් ඒ අතරට ගැනෙති. දූෂණය, ගැහැනුන්ට සහ පිරිමින්ට බලපාන්නේ එකම අකාරයකින් නොවේ. ඒ මගින්, දැනට ගැහැනුන් සහ පිරිමින් අතර පවතින විසමතා තවදුරටත් රැකගනු ලැබේ. දිළිඳු සමාජ තීරු තුළ ගැහැනුන්ට අධි-නියෝජනයක් ඇති නිසාත්, තීරණ ගැනීමේ සමාජ ක්‍රියාවලිය තුළ ගැහැනුන්ට ඇත්තේ අව-නියෝජනයක් නිසාත්, දූෂණය පිරිමින්ට වඩා නරක අන්දමින් ගැහැනුන්ට බලපායි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ යහපාලනයේ දීප්තිමත් අපේක්ෂාවන් පෙරදැරිවයි. යහපාලනය රැඳෙන්නේ මානව හිමිකම් නැමැති අරටුව ශක්තිමත් වන තරමටයි. කෙසේ වෙතත්, දූෂණය නැමැති ක්ෂේත්‍රය පැත්තකට වීසි වී ඇති බවක් පෙනෙන්ට තිබේ. ඒ නිසා, තිරසාර ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට සහභාගී වීමේ අවස්ථාව තමන් වෙතින් මගහැරෙතැයි යන දුක්ගැනවිල්ලක් බොහෝ සමාජ තීරු වෙතින් ප්‍රකාශයට පත්වෙයි.

දූෂණයට එරෙහි සටන හුදෙක් බලගතු පුද්ගලයන් විඳවනවා දැකීමේ ආශාවකින් මෙහෙයැවෙන්නක් නොවේ. එවැන්නක ඉලක්කය වන්නේ, ජාතික සම්පත් සමාන සේ බෙදී යාම සහතික කිරීමත්, සහභාගී සංවර්ධන මාදිලියක් සකසා ගැනීමත් ය. මේ නිසා දූෂණයට අදාළ විශේෂිත සිදුවීම් සම්බන්ධයෙන් තත්පර වීමට අමතරව, දීර්ඝ කාලීනව දූෂණය පිටුදැකීමේ පද්ධති සහ පරිපාටි නිසි අන්දමින් ස්ථාපිත කර ගැනීමත් වැදගත් බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුය.

2015 දෙසැම්බර් 10 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ
මානව හිමිකම්වල හදවත

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *