මහ පාරේ ත්‍රස්තවාදය සහ දූෂණ වළල්ල 2016 නොවැම්බර් 20 සන්ඬේ ටයිම්ස් කතුවැකිය

නොවැම්බර්

21

5:33 ප.ව.

admin

මේ රටේ ධනවාදය වල් වැදී ඇති තරම මනාව පෙන්වන නිදර්ශනයක් වන්නේ පෞද්ගලික බස් සේවාවයි. රටේ ජනසතු ව්‍යාපාරයට කලින් පැවති කාලයේ පුද්ගලික බස් සමාගම්කරුවෝ විශාල ලාභයක් උපයා ගත් අතර ජනතාවට ප්‍රයෝජනවත් සේවාවක්ද සැපයූහ. සමාජවාදයේ ආගමනයත් සමගම මේ බස් සමාගම් ජනසතු කෙරුණි. දුම්රිය සේවය ඒ වන විටමත් රාජ්‍ය අංශය සතුව පැවති තත්වය තුළ, බස් සේවාවත් මෙසේ රජයට පවරා ගැනීම නිසා, සමස්ත මහජන ප්‍රවාහණ සේවාවම රාජ්‍ය ඒකාධිකාරියක් බවට පත් කර ගැනීම ඇරැඹුණි. පාරේ ගමනාගමනයේ යෙදෙන ජනතාවගේ මුළු බර ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) පැවරුණු අතර, අවංක රාජකාරියක් කිරීමට සහ යහපත් මහජන සේවාවක් සැපයීමට ඒ මගින් මොන තරම් ප්‍රයත්නයක් ගැනුණත්, සීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති ජනගහනයත් සමග ඒ කාර්යය නිසියාකාරයෙන් කර ගැනීමට ලංගමට නුපුළුවන් විය. 1977 දී බලයට පත් අළුත් ආණ්ඩුව, නැවතත් බස් සේවාව පුද්ගලීකරණය කෙළේය.

ඒ අනුව, වෙන් කරන ලද මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පුද්ගලික බස් හිමියන්ට අවසර පත් නිකුත් කෙරුණි. මේවා අද වන විට, මිනිසුන්ව ඝාතනය කිරීමේ සහ මිනිසුන්ව කොරුන් අබ්බගාතයන් බවට පත් කිරීමේ අවසර පත් බවට පත්ව තිබේ. ‘පොදු ආරක්ෂාව පිළිබඳ ජාතික මණ්ඩලයේ’ සභාපතිවරයාට අනුව, දවසක් ඇර දවසක්, බස් අනතුරු නිසා ලංකාවේ එක පුද්ගලයෙක් මියයයි.

අඩු වශයෙන් දැන්වත්, මහජන පැමිණිලි ආණ්ඩුවට ඇසෙන්ට පටන්ගෙන තිබීම යහපත් ය. ඊට සැපයෙන ප්‍රතිකර්මීය ක්‍රියාව සේ පෙනෙන්ට ඇත්තේ දඩ මත පදනම් වන එළඹුමකි. එහෙත් මෙය වාර්ෂික අයවැය තුළින් ඉදිරිපත් වීම නිසා, රියැදුරන් මෙල්ල කොට භයානක මාර්ග අනතුරු ප්‍රවණතාව වැළැක්වීමේ මුවාවෙන් ආණ්ඩුව සිය ආදායම් වැඩි කර ගැනීමට ගන්නා ප්‍රයත්නයක්ද යන සැකය කෙනෙකු තුළ ඇති විය හැකිය.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා වන අවම දඩය වශයෙන් රුපියල් 2500 ක් නියම කිරීමට යෝජිත බව පෙනේ. දැනට පවතින අවම දඩය වන්නේ රුපියල් 20 කි. කෙසේ වෙතත්, අයවැය අවසන් වරට කියැවීමේදී ඊට සංශෝධන එක් විය හැකිද යන කුකුසත් තිබේ. සිගරට්ටුවක් රුපියල් 55 ක් වන රටක, රුපියල් 20 ත් දඩයක්ද යන පැනය මෙහිදී මතු වෙයි. අනිත් අතට, තම දෛනික වේතනය රුපියල් 2000 ක් වන විට අවම දඩය රුපියල් 2500 ක් වීම අසාධාරණ බව බස් රියැදුරන්ගේ පැමිණිල්ලයි.

දේශපාලන පක්ෂ නායකයන් රාශියකගේ සහභාගීත්වයෙන් රාවය පුවත්පතේ තිස් වැනි සංවත්සරය පසුගිය දා පැවැත්වුණි. එහිදී පැවැත්වූ දේශන යොමු වුණේ අපේ කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවකටයි: ඒ, අල්ලස සහ දූෂණයයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මුළු රටම වෙලා ගත් දූෂණ වළල්ල ගැන, ඉතා තදින් කතා කෙළේය. දේශපාලඥයා, රාජ්‍ය නිලධාරියා, පොලිස්කාරයා, විනිසුරුවරයා ආදී පිරිස්, ඒ අංශවල සියල්ලන්ම නොවෙතත්, බලධාරී ස්ථාන හොබවන බොහෝ පිරිසක් මේ වළල්ලේ කොටස්කරුවන් වී සිටීම ගැනත්, අල්ලස සහ දූෂණය ඔඩුදුවා ඇති සැටිත් ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

මුදල් ඇමතිවරයාගේ අවම දඩය රුපියල් 2500 ක් කිරීමේ පියවර ගැන මේ දිනවල විහිළුවට කියැවෙන කතාවක් වන්නේ, ඒ මගින් පොලිස්කාරයන්ගේ වැටුප් වක්‍රාකාරයෙන් වැඩි කර ඇති බවයි. මෙය, ‘විකාර ඛේදයක්’ වශයෙන් හඳුනාගත හැකි තත්වයකි. මන්ද යත්, එතරම් බරපතල ඇඟවීමක් ඒ පසුපස ඇති බැවිනි. පොලිස්කාරයෙකුගේ බිරිඳගේ හෝ ඥාතියෙකුගේ නමට මෝටර් සයිකල් අත්කරගෙන තිබීම, කණිෂ්ඨ පොලිස් නිලධාරීන් ත්‍රී වීලර් හිමිකරුවන් වීම සහ ඉහළ නිලධාරීන් බස් හිමියන් වීම ආදී මෑත කාලීන සිදුවීම්, පිළිසකර කළ නොහැකි දූෂිත භාවයක් පොලිස් සේවය තුළට කාන්දු වී තිබීමේ ගතු කියාපායි. පොලීසිය, රටේ පවතින වඩාත් දූෂිත රාජ්‍ය ආයතනය වශයෙන් නම් දරා ඇත්තේ නිකංම නොවේ.

නායකත්වයේ අශෝභනම ආදර්ශ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින්ම සැපයෙන විට, මෙම තත්වය මැඩලිය හැක්කේ කෙසේදැ යි ජනතා විමුක්ති පෙරමුණු නායකයා උදක්ම ප්‍රශ්න කෙළේය. තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණා ගැනීමෙන් මන්ත්‍රීවරුන් ‘හොද්ද බොර කර ගැනීම’ නිර්ලජ්ජිත ය. මෙය, මන්ත්‍රීවරුන්ට සලසා දී ඇති, නෛතික අල්ලසකි. (අල්ලසක් නෛතික වන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්නයකි). පක්ෂයක් වශයෙන් ඒ කුප්ප කම නොකර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. අගමැතිවරයාද ඒ කැත වැඬේට දායක වී නැති නමුත්, මන්ත්‍රීවරුන්ගේ ඒ අශෝභන ක්‍රියාව, රටට පිළිගත නොහැකි දියාරු තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඔහු ආරක්ෂා කරයි. ඔවුන්ගේ වැටුප් ඉතා පහළ මට්ටමක පවතින බවත්, ජනතාවට සේවය කිරීමට ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ගේ සාක්කුවෙන්ම වියදම් කරමින් බවත් එහිදී ඔහු පෙන්වා දී තිබේ.

එහෙත්, තමන්ගේ තීරුබදු රහිත බලපත්‍රය සහ වාහනය එක රැයකින් රුපියල් තුන් කෝටියකට විකුණා ගන්නා මන්ත්‍රීවරයා රජයට වංචා කරයි. එසේ නම්, මේ වනාහී, පොලිස්කාරයාගේ, රාජ්‍ය නිලධාරියාගේ සහ දේශපාලඥයාගේ අඩු වැටුප් පියවා ගැනීම සඳහා අමතර ගතමනාවක් සොයා ගැනීමට රජය විසින්ම ඔවුන් වෙනුවෙන් ප්‍රතිපාදනය කොට පවත්වාගෙන යන ක්‍රමයක්ද?

පසුගිය සතියේ ‘මහ පාරේ ත්‍රස්තවාදය’ යනුවෙන් මාධ්‍ය ඇමතිවරයා හැඳින්වූ තත්වය රථවාහන පොලිස් නිලධාරියාට නොපෙනෙයි. ඔහු කරන්නේ පාරේදී ඒ දෙස නොබලා අහක බලා ගැනීමයි. පොලිස්කාරයන් සාමාන්‍යයෙන් මෙවැනි අධි-ධාවනකාරී බස් රියැදුරන්ට අනුකම්පා සහගත ය. පෙනෙන්ට ඇති පරිදි ඔවුන්ගේ පොදු තර්කය වන්නේ, බස් හිමියාගේ කල්-බදු ණය වාරිකය පියැවීම සඳහා රියැදුරාට යම් ‘ඉලක්කයක්’ හඹා යාමට සිදුව ඇති බවයි. බේස් බෝල් කැප් තොප්පි දා ගත් තරුණ බස් රියැදුරන් මහ පාර සිය අණසකට නතු කරගෙන මරු විකල්ලෙන් බස් පදවන සැටි අපට දැක බලා ගැනීමට සිදුව ඇත්තේ ඒ නිසා විය හැකිය. එහෙත් ඇත්ත හේතුව වන්නේ, රියැදුරාගේ රක්ෂණ සහතිකය අස්සේ සඟවා පොලිස්කාරයාගේ අතේ ගතමනාවක් තැබීමයි. මීට අමතරව, ඇතැම් පුද්ගලික බස් සමාගම්, තමන්ගේ බස් ධාවනය වන මාර්ගවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට ගෙවීම් කිරීම සඳහා වෙනම අංශයක්ද පවත්වාගෙන යයි. ඉතිං, බස් රියැදුරා හඹා යන අර ‘ඉලක්කයේ’ අවාසනාවන්ත ගොදුරු විය හැක්කේ, නීති ගරුක වෙනත් වාහන රියැදුරන් හෝ අහිංසක පදිකයන් ය. මේ සතියේ කොළඹ අධ්‍යාපන චාරිකාවක යෙදෙමින් සිටි දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අටක ගැහැනු දරුවෙකු ආපසු ගෙදර ගියේ නැත. ඉගිල්ලී ධාවනය වූ බසයක් ඇගේ ජීවිතය බිළි ගත්තේය.

පුද්ගලික බස් හිමියන්ගේ සංගමය විටෙක කටයුතු කරන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් මෙනි. මහ පාරේදී බස් රථ එකිනෙකා සමග තරගයක යෙදෙන්නා සේ, මේ සංගමය සමග තරගයටත් ප්‍රාදේශීය බස් වෘත්තීය සංගම් තිබේ. පසු ගිය සිකුරාදා වැඩ වැරූ මේ බස්වලට මහජනතාව ගල් ගැසූ තත්වයක් තුළ, ඔවුන්ගේ බලපෑම්වලට ආණ්ඩුවක් යට වන්නේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. එසේ වන්නේ, මැයි දාට ඔවුන්ගේ බස් රථ සහනදායී මිළකට පාලක පක්ෂයට කුලියට දෙන නිසාවත්ද? නැත්නම්, ඔවුන් දේශපාලඥයන්ව නඩත්තු කරනවාවත්ද? ඒ ගැන දන්නා කෙනෙක් නැත. මෙය, පසුගිය රජය පරිසර දූෂණය වැළැක්වීම සඳහා ‘ටූ ස්ට්‍රෝක් ත්‍රී වීලර්’ තහනම් කිරීමට යෝජනා කළා සේ ය. ප්‍රධාන නගරවල වෙසෙන්නෝ වාහන විෂ දුමෙන් පීඩා විඳිති. ස්වසන ප්‍රශ්න සහ ඇදුම රෝගීන්, විශේෂයෙන් ළමුන් අතරේ එම රෝගීන් වැඩි වීම ගැන, රෝහල් වාර්තා මගින් කරුණු දක්වා තිබේ.

ත්‍රීවීලර් හිමිකරුවන්ගේ විශාල වර්ධනයත් සමග එම ඡන්ද පදනම නැති කරගෙන ඒ පියවර ගැනීමට හිටපු ආණ්ඩුව මැලි වුණි. (එතකොට, ‘නිශ්ශබ්ද බහුතර’ ඡන්ද පදනම?). පසුව එය සිදු කෙරුණද, තවමත් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඒ වාහන ලියාපදිංචි කරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කී දූෂණයේ වළල්ල එයයි.

වරද ඇත්තේ, බස් සේවය පුද්ගලීකරණය කිරීමේ නොව, එය අයාලේ යාමට ඉඩ හැරීම තුළ ය. මේ ක්ෂේත්‍රයේ පවතින අධීක්ෂණ මණ්ඩලය වන ‘ජාතික ප්‍රවාහණ කොමිසම’ සතු බලතල සීමිත ය. එහෙත් එම ආයතනයේ මූලික අරමුණ වශයෙන් පවතින බව පෙනෙන්නේ, බස් මගීන්ගේ අයිතීන් මිස පාරේ යනෙන පදිකයන්ගේ අයිතීන් නොවේ. ලංගම පැවති කාලයේ මෙන් නොව, වැරදි කරන රියැදුරුන් ඇල්ලීම සඳහා පවතින කඩා පැනීමේ ඒකකවල තටු අද වන විට සිඳ දමා තිබේ.

කරුණු මෙසේ නම්, ප්‍රශ්නයේ මූලය ඇත්තේ, ‘ගෙදර ආර්ථිකය’ තුළද? බස් රියැදුරා ඔහුගේ ‘ඉලක්කය’ හඹා යයි. බස් හිමියා ඔහුගේ ‘ඉලක්කය’ හඹා යයි. පොලිස්කාරයා තමන්ට මෝටර් සයිකලයක් මිළදී ගනී. ඇමතිවරයාගේ සිට බස් රියැදුරා දක්වාත්, බස් හිමියාගේ සිට පොලිස්කාරයා දක්වාත් කතාන්තරය එයද? ඒ ඒ අයට, ‘තමන් හිසට තම අතම’ වන අතර, අනිත් සියල්ලන්ට දෙවියන්ගේම පිහිටද?
2016 නොවැම්බර් 20 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ
මහ පාරේ ත්‍රස්තවාදය සහ දූෂණ වළල්ල
නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *