මහා අපේක්ෂා සහ ඊටත් විශාල අහිමි වීම් ගැන -කිෂාලි පින්තු ජයවර්ධන

ජනවාරි

7

8:43 ප.ව.

admin

එන්රිකේ ඉග්ලේසියාස් ප්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ වර්ෂාවසාන සංවාද යට වීම, විය යුතු පරිද්දෙන්ම ජනනය කෙළේ උත්ප්‍රාසයක්ම ය.

රුදුරු සන්තාපය සහ ප්‍රහර්ෂය

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ජනාධිපතිවරයාගේ රුදුරු සන්තාපය ලෝකය පුරා පතල කර හැරියේය. බාගෙ විට, ශ්‍රී ලංකාවේ දේදුනු විප්ලවයේ උපැස් පැළැඳි මුහුණුවර ඒ හරහා දර්ශනය වන්ට ඇත්තේ, මේ ප්‍රසංගයේ සංවිධායකයන්ව මධ්‍යතන යුගයේ විකාර දඬුවමකට ලක්කළ යුතු බවට පාරිශුද්ධවාදී ආවේශයකින් ගුගුරන සේයාවක් ලෙසින් විය හැකිය. එම දඬුවම පිළිබඳ තර්ජනය තවත් ප්‍රශ්නකාරී තත්වයකට පත්කෙරුණේ, එම ප්‍රසංගය සංවිධානය කළ සමාගමේ අයිතිකරුවන් ලංකාවේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙකුද වීම නිසාවෙනි.

මේ සමස්ත සිද්ධිය තුළ පවතින විකාරරූප ස්වභාවය කෙනෙකුව ප්‍රමෝදයෙන් හිනාගස්සන තරමි. එහෙත් ඒ මගින් ඉස්මතු කෙරෙන මතභේදය බරපතල ප්‍රශ්නවලට තුඩුදෙයි. කොළඹ ප්‍රභූ තන්ත්‍රය සඳහා සංවිධානය කෙරුණු සංගීත ප්‍රසංගයකදී යම් ලෝලියෙකු දෙන්නෙකු ඉන් මුසපත්ව යට ඇඳුමක් වේදිකාවට වීසි කිරීම හෝ වේදිකාවට පැන ප්‍රේමයෙන් සෙල්ලක්කාර වීම (මේ දේවල් එවැනි ප්‍රසංගයක ආනුෂංගික අංග බව අමුතුවෙන් කිව යුතු නැත) ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිචාරයක් ඉල්ලා සිටින්නක්ද? කොහෙත්ම නැත. මෙවැනිම විධායක කෝපයක්, සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් ජාතික සාමාන්‍ය කාන්තාවන් පෙලන සමාජයීය දුෂ්කෘත්‍යයන් සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා විදහාපාන්නේද?

සමාජයේ මුල් බැසගත් ඒ දුෂ්කෘත්‍යයන් කවරේද? දිනපතා වැඩට යනෙන විට බස් රථයේදී සහ වැඩ කරන ස්ථානයේම පවා ගැහැනියකට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැරය කොතරම් හිරිකිත ද/ මේ අතර, ගැහැනුන් සහ තරුණියන්, සමහර විට කුඩා දැරියන් පවා දූෂණය කොට මරා දැමීම, පොලිස් දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇති පරිදි, පුපුරා යන අර්බුදයක මතුපිට තත්වය කියාපාන්නකි.

ජනාධිපතිවරයාගේ අවධානයේ ප්‍රමුඛත්වය ලැබිය යුතු තැන්

මේ නිසා, බෞද්ධ සම්ප්‍රදායයන් සහ ‘ගැමි සංස්කෘතිය’ හුවාදක්වන අතරේම වුව, ජනාධිපති සිරිසේන කාරණා දෙකක් සිත්හි ධාරණය කරගත යුතු වන්නේය. මුලින්ම, ඔහු වනාහී, බහු-සංස්කෘතික සහ බහු-වාර්ගික ජනතාවකගේ ජනාධිපතිවරයෙකි. එබැවින් එක ආගමික හෝ වාර්ගික සදාචාර සාරධර්ම පද්ධතියක් මත්තේ එල්ලී සිටීමට බැලීම අන්‍යයන් තුළ අප්‍රසන්න හැඟීම් දනවන්නක් පමණක් නොව, එය වැරදි ප්‍රවේශයක්ද වන්නේය.

ඇත්තටම බැලුවොත් මෙවැනි ප්‍රකාශයක් කළ හැකි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැන්නෙකුටයි. මන්ද යත්, ඔහුගේ ප්‍රතිපත්තිවලට එවැනි ප්‍රකාශයක් සපුරා අනුගත වන බැවිනි. එහෙත්, මේ රටේ වෙසෙන සුළුතරයේ තීරණාත්මක සහායෙන් බලයට පත් මේ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශ කරන විට, මේ වන විට ඇති කර ගත් වෙනසට එය පටහැනිව සිටින්නේය. එයින් පෙන්නුම් කරන්නේ, 2015 ජනවාරියේ ඇති කර ගත් ඒ ඓතිහාසික පරිවර්තනය හරහා ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන්ට නොගැළපෙන මනෝ රාමුවක සේයාවකි.

දෙවැනුව, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නිරන්තරයෙන් දකින්ට ලැබෙන්නේ ‘නරක මහ නගරවලට’ වඩා ලංකාවේ ඈත ගම්දනව්වල ය. ඊට උදාහරණ ඕනෑ තරම් තිබේ. මෑතකදී බඩල්ගම සේයා සදෙව්මි කුඩා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම ඉන් එක් අවස්ථාවකි. එසේම ලංකාවේ දකුණේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන් විසින් යොවුන් දැරියන් දූෂණය කිරීමේ වාර්තාද අනන්තවත් තිබේ. මෙවැනිම තත්වයක්, ජනාධිපතිවරයා සිහිපත් කරන ‘අතීතයේ ඇවිද ගිය කුඹුරු යායවල් සහ නියරවල්’ සහිත, එසේම ඔහුට අනුව උතුම් සංස්කෘතියක් ඇතැයි සැළකෙන, ලංකාවේ පෞරාණික අගනගර වන අනුරාධපුරය සහ පොලොන්නරුව වැනි පෙදෙස්වලින්ද දැක ගන්නට ලැබෙයි. උදාහරණයක් වශයෙන් 2011 දී, ළමා ආරක්ෂණ ආයතන සහ ක්‍රියාකාරිකයන් විසින් වාර්තා කළ පරිදි, උතුරුමැද පළාතේ බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම් බහුතරය සිදුව ඇත්තේ, වැඩිහිටි පිරිමි ඥාතීන්, ගුරුවරුන් සහ ආගමික නායකයන් වැනි ගැමි සංස්කෘතියේ සම්ප්‍රදායික ‘පියවරුන්’ විසිනි. වසරක් පාසා මේ තත්වය ඔඩුදුවයි.

සමාජය තිරිසන් වීම ගැන විභාග කර බැලීම

සුළු වාර්ගික ගැහැණු ළමෝ වෙනත් අයට වඩා මේ අනතුරට ලක්වෙති. පසුගිය වසර අවසානයේදී, නුවරඑළිය මහාධිකරණය විසින් ජේසුදාසන් රීටා නැමැති එවකට 17 හැවිරිදි දැරිය දූෂණය කළ ස්ත්‍රී දූෂකයන්ව වැරදිකරුවන් කරන ලදි. ඇගේ නඩුව පිළිබඳ එම තීන්දුව, දශක එක හමාරක් තිස්සේ දිග් ගැස්සුණු නීති අරගලයක ප්‍රතිඵලයක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ව බිළි ගන්නා පාතාල කල්ලි සිටී. හමුදාවෙන් පැන ගියවුන්, හිටපු ත්‍රස්තවාදීන්, පැරාහමුදා කල්ලි සහ ප්‍රාදේශීය දේශපාලඥයෝ එම පාතාල සාමාජිකයෝය.

මෙවැනි ජඩ ලිංගික හිංසනයක් රජයන ගම් සහ නගරවල පවතින තිරිසන්කරණයේ ස්වභාවය විමසා බලනු වස්, රජයේ මුදලින් නඩත්තු වන ප්‍රතිපත්ති උපදේශකයන්ව යෙදැවීමට ජනාධිපති සිරිසේනට හැකියාව තිබේ. තවත් හොඳින් ඒ කාර්ය සමාප්ත කරනු වස්, දූෂණ නඩුවක් සඳහා අවුරුදු 7 සිට 10 දක්වා වන නව තරමේ දීර්ඝ කාලයක් ගතවන අංශබාග නීති ක්‍රියාවලිය ගැනත්, ලිංගික දූෂණයේ වින්දිතයන් කෙරෙහි අසංවේදී වන විනිසුරන් සහ නීතිඥයන් ඇතුළු පරිපාටිමය ක්‍රියාකාරිකයන් ගැන සොයා බැලීමත් කළ හැකිය.

පාරේ නිරුවතින් ඇවිදීමට ඉඩ නොදෙමියි කියන කතාවලට වඩා අර්ථවත් වන්නේ එවැනි ක්‍රියාමාර්ගයකි. ඔහු විසින් කරන ලදැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද එම විකාර ප්‍රකාශය, අගනගරයේ ගැහැනුන් දහස් ගණනක් තමන්ගේ යට ඇඳුම් උනා දැමීමක් පිළිබඳ කල්පිතයකට නම් ගැලපේ. කෙසේ වෙතත්, මේ සියල්ල අපට ඇසෙන්නේ, තමන්ගේ සහනාධාර කපා දමා ඇතැයි යන මැසිවිල්ල යටතේ සිය ගණනක් පිරිමින් අමුඩ පිටින් කොළඹ අරලියගහ මැදුර වටේ පසුගිය දා කරක්ගැසූ පසුබිමක් යටතේ ය. ඒ පිළිබඳව ඇති විය යුතු අපේ ලැජ්ජාව ඇත්තේ කොහිද?

අහිංසකත්වය අහිමිව යාම

මේ හාස්‍යජනක ආන්දෝලනය තුළ පවතින උත්ප්‍රාසාත්මක ප්‍රශ්නය මා මතු කෙළේ විශේෂ හේතුවක් පෙරදැරිව ය. නව ශ්‍රී ලංකාවක් සඳහා වූ ගිය වසරේ අපේක්ෂාවන්ට වැදුණු කෲරතම ප්‍රහාරය වන්නේ ඉග්ලේසියාස් ප්‍රහර්ෂයේ සිදුවීම් නොව, දේශපාලනික යටිකූට්ටු වැඩ, ඥාති සංග්‍රහය සහ පක්ෂ අභ්‍යන්තරයේ රහසිගත ක්‍රියාකාරකම් ආදියෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා දැක්වූ අසමත් භාවයයි.

වගවීමේ න්‍යාය පත්‍රය තුළ ඉහළින්ම සිදුකළ යුතුව තිබූ දේශපාලනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් වගඋත්තර බැඳිය යුතුව තිබේ. විපක්ෂයත් ඊට සම්මාදම් විය. මේ සියල්ල එකට ගත් විට, මීට වඩා හොඳක් නායකයන්ගෙන් බලාපොරොත්තු වීම හරහා පොදු ජනතාවගේ අහිංසකත්වය ඔවුන්ගෙන් අහිමි කිරීම ඉතා බරපතල ය.
ඒ මොනවා වුවත්, තිබුණු තත්වයට වඩා මේ තත්වය හොඳ යැයි කෙනෙකු හිත හදාගන්නට පුලුවන. එහෙත් එවැනි සාපේක්ෂ න්‍යායක් මත යැපීම මායාත්මක ය. ඕනෑම අවම මට්ටමේ වෙනසක් හොඳක් වශයෙන්ම පෙනෙන්ට තරම් රාජපක්ෂලාගේ කෙරුවාව තිබුණේ පහළම අඩියකයි. 2015 ජනවාරි විප්ලවයේ දේදුනු වර්ණාවලිය දිනෙන් දින දුර්වර්ණ වෙන අවස්ථාවක, එවැනි හිත හදා ගැනීමක් නොසෑහේ. සිරිසේනගේ වේවා, වික්‍රමසිංහ හෝ රාජපක්ෂගේ වේවා, අතිශය ප්‍රශ්නකාරී දේශපාලනික නායකත්වය ඉඳුරා ප්‍රශ්න කළ යුතුව තිබේ.
ගිය වසරේ දීප්තිමත් අපේක්ෂා අහිමි වීමෙන් බැටකා සිටින ජනතාවකට, දේශපාලනික නායකත්වයට අභිමුඛව නැගී සිටීමේ එම අභියෝගයත් භාරගත හැකිය.
2016 ජනවාරි 3 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ
මහා අපේක්ෂා සහ ඊටත් විශාල අහිමි වීම් ගැන
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *