ගින්තොට මනියතෝට්ටම් සහ ජාතික කොඩිය – බණ්ඩාර උඩුරාවන

නොවැම්බර්

30

6:53 පෙ.ව.

admin

පසුගිය සතියේ මෙරට ජනවර්ග අතර ප්‍රශ්නය පිළිබිඹු කරන සිද්ධින් තුනක් ඇතිවිය. ඉන් එකක් වන්නේ උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම පුතික්ෂේප කිරීමකි. දෙවැන්න ගිංතොට මුස්ලිම් සිංහල ගැටුමයි. තෙවැන්න මනියතෝට්ටම්හි වෙඩි තැබීමකින් දෙමළ තරුණයෙකු මියයාමයි.

පළමු කී සිද්ධීන් දෙකට මෙරට ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබුණ නමුත් අවසනට කී යාපනයේ වෙඩිතැබීම පිළිබද දකුණේ තබා උතුරේවත් සැලකියුතු මාධ්‍ය හෝ මහජන අවධානයක් යොමුවූයේ නැත. එහෙයින් මනියතෝට්ටම් සිද්ධිය පිළිබද කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යය. සිද්ධිය නොදන්නා අයට ඒ පිළිබද හැගීමක් ඇතිකර ගැනීම සදහාය.

ඒ මෙසේය,

ඔක්තෝම්බර් 22 වනදා යාපනය මනියතෝට්ටම් ප්‍රදේශයේ උදයපුරම් හී දී තරුණයකු ඝාතනයට ලක්විය. තරුණයාගේ වයස අවුරුදු 24කි. නම දොන් බොස්කෝ හෙවත් දිනේෂ් ය. වෙඩි තැබීම සිදුව ඇත්තේ තරුණයා මිතුරෙකු සමග මෝටර් බයිසිකලයක ගමන් කරමින් සිටියදීය.

තරුණයන් දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් කරන ආකාරයත් ඒ පසුපසින් ත්‍රීවිලර් රථයකුත්, දෙදෙනෙකු සහිත රෝටර් සයිකලයකුත් පැමිණෙන අයුරුත් අසල සීසීටීවී කැමරාවල සටහන් වී තිබේ. පසුව එම වාහන දෙක නාවික හමුදා කදවුරකින් හමුවී තිබේ. මෝටර් සයිකලයේ ගමන්ගත් දෙදෙනා විසින් වෙඩිතැබීම කරන්නට ඇතැයි සැක කෙරේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකි.

2016 සැප්තැම්බර් මාසයේ ද යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු වූ විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාජා ගජන් යන දෙදෙනා පොලිස් පුරපළක් අසලදී වෙඩි තබා ඝතනය කළ බව දැන් බොහෝ දෙනෙකුට අමතකය. එකී ඝාතනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් ගතවීත් යුක්තිය ඉටු වූ බවක් අප දන්නේ නැත.

ගිංතොට සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුස්ලිම් ජාතිකයකු පවසා තිබුණේ, සිංහල ප්‍රහාරය පිළිබද දන්වා පැය දෙකක් ගතවනතුරුත් විශේෂ කාර්යබලකාය නොපැමිණි බවයි. ප්‍රහාරයට මුල් වූ බව කියන මුස්ලිම් ජාතික ප්‍රාදේශීය දේශපාලඥයා අත්අඩංගුවට ගත් නමුත් සිංහ පාර්ශ්වයෙන් ප්‍රහාරයට මුල් වූ භික්ෂුවක් ගැටලුවකින් තොරව සිටින බව ද ප්‍රදේශයේ මුස්ලිම්වරු පවසයි.

උතුරු පළාතේ අධ්‍යාපන ඇමතිවරයා ජාතිතක කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම පිළිබද ගැටලුව විසදිය යුත්තේ ඉහත කී සන්දර්භය මත පිහිටාය. ඔවුන්ගේ තර්කය වන්නේ මෙරට ජාතික කොඩියේ සුළු ජාතීන්ට ලබා දී ඇති ඉඩ ප්‍රමාණවත් නොවන බව හා කඩුවක් අතින්ගත් සිංහයා අනෙක් ජාතින් නැතිනම් ජනවර්ග ඉදිරියේ ආක්‍රමණික විලාශයකින් ඉන්න බවයි.

නිදහසින් පසුව මෙරට ජාතික කොඩිය වශයෙන් යටත් විජිතයක් වීමට පෙර පැවති කොඩියම යොදාගත යුතු බව යෝජනා කළේ මඩකලපුව මන්ත්‍රි සින්නතම්බි මහතා බව අප මෙහිදී සිහියට නගාගැනීම වැදගත්ය. ලන්ඩන්හි චෙල්සි රෝහලේ තිබී ඒ කොඩිය මෙරටට හදුන්වාදුන් ඊ.ඩබ්ලියු. පෙරේරා කිතුනුවකු විය. දෙමළ සහ මුස්ලිම්වරුන් වෙනුවෙන් ජාතික කොඩියෙන් තුනෙන් එකක ප්‍රමාණයක් කොළ, තැඹිලි වර්ණයෙන් වෙන් කිරීමට තීරණය කෙරුණේ සිංහයාගෙන් නියෝජනය වන්නේ සිංහලයන් පමණක් යන මතයක් ඇති වූ බැවිනි. ජී.ජී. පොන්ම්බලම් මහතා කොඩිය සමග එකග වූ නමුත් චෙල්ලනායගම් අතුළු සමහරුන් ආරම්භයේ පටන්ම ජාතික කොඩිය සමග එකග වූයේ නැත.

යාපනය සරසවි සිසුන් දෙනො ඝාතනය වී වසරක් යනතුරුත් විත්තිකරුවන්ට දඩුවමක් නොලැබීම‍ එකී ඝාතනයට මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක සම්බන්ධයක් තිබීම. ඉන් දෙවසරකට පසුව නැවතත් මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළයුතු ආයතනයක නම දෙමළ තරුණයකුගේ ඝාතනය සමග ගැටගැහීම, සිංහල මුස්ලිම් ගැටුමකදී (ගිංතොට) විශේෂ කාර්ය බලකාය සිය කාර්යය නිසි පරිදි ඉටු නොකළායැයි සැකයක් මුස්ලිම් ජනතාව තුළ පැවතීම. ගැටුම සම්බන්ධයෙන් නම කැයැවෙන මුස්ලිම් ප්‍රාදේශීය දේශපාලඥයා සහ භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් කටයුතු දෙවිදිහකට සිදුවීම. ආදිය නිසා සුළු ජාතිකයනට මෙරට ජාතික දේහයේ තමන්ගේ කොටස අඩුවෙන් හිමිවීමක් ලෙස දැකීම වරදක්ද? 1983 කළු ජූලිය වැනි සිද්ධීන්වලදී පවා මෙරට ආරක්ෂක අංශවල හැසිරීම මීට දෙවැනි නොවූ බව ප්‍රකට කරුණකි. මෙය සමකළ හැක්කේ ට්‍රේන් ටු පාකිස්තාන් කෘතියේ දැක්වෙන සමූල ඝාතකයනට ඉඩ සලසා දෙන අකාරයට රාජ්‍ය තන්ත්‍රය හැසිරීම වැනි තත්ත්වයකටය.

ජතික ප්‍රශ්නය යනු කොතැනකදී වුවත් ඉතා සුළු දෙයකින් පවා වහා ගිනි ඇවිලෙනසුලු කාරණාවකි. එසේ හෙයින් එය සැලකිය යුත්තේ බෙහෙවින් සංවේදීව හැසිරවිය යුතු හා කළමනාකරණය කළයුතු කාරණයක් වශයෙනි.

විශේෂයෙන්ම ආරක්ෂක අංශ නීතිය අධිකරණය වැනි ආයතන ජනවාරිගික ගැටුම් සහ ජනවාර්ගිකත්වය පදනම් විය හැකි සංසිද්ධීන්වලදී හැසිරිය යුතු වන්නේ බෙහෙවින් විනිවිද පෙනෙන සුළු ආකාරයෙනි. මෙරට අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීවීමේ යම් පමාවන් ඇති බව සැබෑ නමුත් ජනවාර්ගික සංවේදි කාරණා විශේෂ අවධානයකින් හා විශේෂ කාර්යක්ෂම තාවකින් ආරක්ෂක අංශවලට නීතියට හා අධිකරණයට ක්‍රියාත්මක විය හැකිවිය යුතුය. නිදසුනක් වශයෙන් විද්‍යා ඝාතනයේ දී පොලිසිය රහස් පරීක්ෂක අංශ අධිකරණය ක්‍රියාත්මක වූ වේගයෙන් යාපනය සරසවි සිසුන් දෙදෙනා ගේ ඝාතනය සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වූයේ නම් ජාතික කොඩියේ තමන්ට ලැබී ඇති කොටස ප්‍රමාණවත් නොවේ යැයි දෙමළ ජනතාවට නොසිතෙනවා ඇත. දෙවැනි කරුණ සරසවි සිසුන් දෙන්නාගේ ඝාතනය සම්බන්ධයෙන් පමණක් නොව මනියතොට්ටම් හි ඝාතනය සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශවල නම ගැටගැසීමයි. සිංහයා අසිපත තමන් දෙසට යොමාගෙන ඉන්නා බව සුළු ජාතීන්ට හැගෙන්නට එවැනි දේ ඉවහල් නොවේයැයි කිවහැකිද?

මෙරට රාජ්‍යය (ආණ්ඩුම නෙවේ) ජනවාර්ගික සාමය වෙනුවන්ය කියමින් කොතෙක් වැඩසටහන් ක්‍රියාවට නැගුවද ඒවාට සැලසුම් මට්ටමෙන් පහළට ළගා වීමට යැකි වී දැයි සැකයකි. ඒ වෙනුවට දැකිය හැක්කේ බොහෝවිට සිංහල ඡන්ද හා බෞද්ධ පදනම මත බර තබා ආණ්ඩු කටයුතු කරන තත්ත්වයකි. යුද්ධය සමයේ මුස්ලිම් ජනතාව කෙරෙහි යම් නාමික සගියක් පැවතියා වුවද යුද්ධයෙන් පසුව සිංහල සමාජය මුස්ලිම්වරුන් කෙරෙහි කටයුතු කරන ලද්දේ සතුරු ප්‍රතිවිරෝධීතා ඉස්මතුවන ආකාරයකටය. විශේෂයෙන්ම මහින්ද පාලනය සුළුජාතින් කෙරෙහි ක්‍රියාත්මක වූයේ මර්දන කාර පිළිවෙතකි.

ආණුඩු වෙනසින් පසුව සුළුජාතීන් කෙරෙහි වන ආණ්ඩුවේ මර්දනකාර සහ ආක්‍රමණශීලි පිළිවෙත යටපත් වුවද වාර්ගික සාමය ගොඩනැගීම සදහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ආණ්ඩුව දක්ෂ වී නැත. දෙමළ තරුණයන් 11 දෙනා අතුරුදන් වීම, යාපනයේ සරසවි සිසු ඝාතනය ආදි සිදුවීම් සම්බන්ධයෙන් නීතිය කඩිනමින් සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි දෙමළ ජනතාවට හැගීයන පරිදි කටයුතු කරන්නට යහපාලන ආණ්ඩුව සමත් වී නැත. දැන් ආණ්ඩුව හමුවේ අභියෝග දෙකක් පවතී. එකක් ගින්තොට ය. අනෙක මනියතෝට්ටම්ය. ජාතික කොඩියේ තමන්ට සාධාරණ ඉඩක් ලැබී ඇතැයි සුළුජාතින්ට හැගීයන අකාරයට ඒ ඔස්සේ කටයුතු කිරීමේ අවස්ථාව දැන් ආණ්ඩුවට තිබේ. ජනවාර්ගික ගැටුම් ඇති කිරීමට උනන්දු වන්නන් උදාසීන කිරීමට සහ ජනවාරිගික ගැටුම් යළි ඇති නොවන්න තැනකට රට යොමු කරවීමේ හොදම අවස්ථාව මෙයයි. ආණ්ඩුව ඒ අවස්ථාවෙන් ප්‍රයොජන ගනීද‍?

බණ්ඩාර උඩුරාවන

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *