පුරවැසියා ගේ පුණරාගමනය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජූලි

27

8:16 පෙ.ව.

admin

Gamini-Viyangoda-Colombo-Telegraph70 ගනන් වල අග භාගයට පසු සිවිල් සංවිධාන ලෙස හැඳින්වුණු සංවිධාන විශේෂයක් ලංකාවේ තිබුණා. නමුත් පාලක පංතියට මේතරම් ආකාරයට බලපෑම් කිරීමට ඒවාට හැකිවූයේ නෑ. නමුත් පසුගිය ජනාධිපතිවරණයට ආසන්නව ගොඩනැගුණු සෝභිති හිමි නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, කලාකරුවන්ගේ එකතුව වැනි පුරවැසි සංවිධාන ඉතා ප්‍රභල ලෙස මේ කාර්ය කළා. මෙහෙම උනේ කොහොමද ? මේ දෙක අතර වෙනස කුමක් ද?
ඒ සිවිල් සංවිධාන බොහෝවිට රඳාපැවතුණේ ජනතාව සමඟ බිම් මට්ටමේ කටයුතු කළ සංවිධාන වශයෙන් නොවේ. එක පැත්තකින් ඒවාවල එක්තරා ආකාරයක ප්‍රභූවාදි ගතියක් තිබුණා. බොහෝ විට ඒ සංවිධාන කටයුතු කළේ ඉංග්‍රිසි භාෂාවෙන්. පසුගිය අවුරුදු 30ක පමණ කාලයක් පුරාවටම ඒ අය සමාජයේ ඉහළ ස්ථරයේ මතවාද ගොඩනැගීම කෙරෙහි තීරණාත්මක වුණා. ඒ අය කළ ඒ වැඬේ විශාල සම්මාදමක් වූ බව සත්‍යයක්. නමුත් අපිට වෙනස් කරන්නට අවශ්‍ය වෙලා තිබුණේ මේ සමාජයේ ඉහළ ස්ථරය නොවෙයි පහළ ස්ථරයයි. ඒ පහළ ස්ථරය වෙනස් කිරීම සඳහා පහළට බැසිය යුතු ය. ඒක ක්‍රියාවෙන් සහ වෙනත් සෑම ආකාරයෙන්ම. ඔය කියන සිවිල් සංවිධාන වලට ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ අය මං හිතන්නේ යම් සීමාවන් තුළ තුළ කොටුවී සිටියා. මාදොළුවාවේ සෝභිත හාමුුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ අපේ පුරවැසි බලය වැනි සංවිධාන වෙනස් වෙන්නේ එතනින්. අපි පාරට බැස්සා. මිනිසුන්ට තේරෙන විෂයන් මිනිසුන්ට තේරෙන භාෂාවෙන් මිනිසුන් සමඟ අපි සංවාද කළා. ඒක තමයි මං හිතන්නේ අපි දෙගොල්ලන්ගේ තියෙන වෙනස.
අනික් පැත්තෙන් දෘශ්ඨිමය වශයෙන් විතරක් නොවෙයි ප්‍රායෝගිකවත් මහින්ද රාජපක්ෂට මුහුණදීමේ අභියෝගය ක අවශ්‍යතාවයත් සමාජයෙන් පැන නැගුණා. ඒකට මුහුණ දෙන්න බැහැ අර කියූ සිවිල් සංවිධාන වලට. ඒ අය හැදිලා තියෙන්නෙත් ඒකට මුහුණ දෙන්නට නොවේ. පුරවැසි බලය පුරවන්නේ ඒ හිස් අවකාශයයි. ඉතින් ඒක නිසා තමයි යම්කිසි විදියකට ජනමතය වෙනස් කිරීමක් කරන්නට අපිට පුළුවන් වුණේ.
මහින්ද රාජපක්ෂ ඉවත් කළා නේ. දැන් පුරවැසි සංවිධානවලට ඇති අභියෝගය කුමක් ද?
බලගතුම අභියෝගය තියෙන්නේ දැන්. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ පුද්ගලයෙකු පමණක් නොවේ. යම්කිසි විදියක චින්තාවක්. මහින්ද චින්තනයම කියලා තිබුණේ ඒකයි. එය එක්තරා ආකාරයකට සංස්කෘතියක්. ඒ සංස්කෘතිය ගොඩනැගිලා තිබුණේ දූෂණය, භීෂණය, වංචාව සහ රාජ්‍ය දේපොල අපහරණය. මේ විදියේ ඉතාමත්ම නින්දා සහගත කාරණා උඩ තමයි පදනම් වී තිබුණේ එම සංස්කෘතිය. එහි ආර්ථික පදනම වූයේ කළු ආර්ථිකයක්, නැත්නම් ජාවාරම්කාර ආර්ථිකයක්. ඒ සියල්ල එකට ගත් විට මහින්දවාදය කියලා නාමකරණය කළ හැක. එවිට මහින්ද පරාජය කිරීම සහ මහින්දවාදය පරාජය කිරීම කියන එක දෙකක් මිස එකක් වන්නේ නෑ. කෙනෙකුට පුළුවන් මහින්ද කියන පුද්ගලයා පරාජය කරන්නට. ඒකෙන් අනිවාර්යෙන් අදහස් වෙන්නේ නැහැ මහින්දවාදයත් ඒකෙන් පරාජය වුණා කියලා. ජනවාරි 8 වෙනිදා අපි කර තිබෙන්නේ මහින්දව පරාජය කළ එකයි. ජනවාරි 09වෙනිදා සිට තිබෙන්නේ මහින්දවාදය පරාජය කිරීම. එවිට අපි පළවෙනි කඩුල්ල පැන්නා. දැන් පනින්නට තිබෙන්නේ දෙවෙනි එක.
මහින්ද පරාජය කරන්නට අපි ගියේ මහින්ද කියන පුද්ගලයා පිළිබඳ වෛරයකින් නොවේ. තවමත් එයා සමග එහෙම වෛරයක් අපිට නෑ. නමුත් අර එයා නියෝජනය කළ ඒ සංස්කාතිය පරාජය කිරීම සඳහා තමයි එයා පරාජය කළේ පළවෙනි අදියර ලෙසට. දෙවන අදියරේ දී අපි අර සංස්කෘතිය පරාජය කළයුතු වෙනවා. ඉතින් මේ යහපාලන ආණ්ඩුවට පැවරිලා තියෙන ඒ වගකීම තමයි අන්න ඒ සංස්කාතිය පරාජය කිරීම. මේ දක්වා ඒ සම්බන්ධයෙන් වැදගත් පිවවර දෙකක් අරන් තිබෙනවා. ඒ දෙකම සාර්ථක කරගැනීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඒ සම්මානය දිය යුතුයි. මහින්දගේ සංස්කෘතිය ඇතුලේ තිබුණා විසම්මුතියට ඉඩක් නැති තත්ත්වයක්. විසම්මුතිය කියන්නේ වෙනත් අදහස් දැරීමට තියෙන අයිතිය. ඔබ අදහසක් දරනවා වගේ මටත් අදහසක් දරන්නට අයිතියක් තියෙන්නට ඕනේ. හැබැයි මගේ විසම්මුතියට ඉඩක් තිබුණේ නැහැ මහින්ද රාජපක්ෂගේ කාලයේ. එදා එහෙම විසම්මුතික අදහස් තිබූ සමහර අයව සුදු වෑන් වලින් අරන් ගියා. මැරුවා. අතුරුදහන් කෙරෙව්වා. තව අය මහ දවල් ඇවිත් මැරුවා. ලසන්ත වික්‍රමතුංග වැනි අය. එක්නැළිගොඩ වැනි අයව අතුරුදන් කළා. තව අයගේ අතපය කැඩුවා. හුඟක් අයට රට අතහැරලා යන්නට වුණා. ඒ කියන්නේ විසම්මුතික අදහසකයට ඉඩක් තිබුණේ නැහැ එදා.
මෛත්‍රිපාල සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කළ පළවෙනිම සහ වැදගත් ම වෙනස තමයි ඒ විසම්මුතික අදහස් දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම. ඒ පරිසරය එක රැයකින් ඇති කළා. අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා විවේචනය කරන්න පුළුවන් අපිට විවෘතව ම. රනිල් වික්‍රමසිංහව විවේචනය කරන්නට පුළුවන්. අපි පුරවැසි බලය ලෙස මේ වන විට දෙන්නාව ම විවේචනය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ අය සමඟ නැවත සාංගම් වීම පිළිබඳව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය කළා. රනිල් වික්‍රමසිංහව විවේචනය කරලා තියෙනවා මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන්. අපිට ඉස්සර එහෙම පුළුවන්කම තිබුණේ නෑ. ඉස්සර එහෙම කළා නම් මොනවයින් මොනවා වෙයි ද කියන්න බෑ. මහින්ද සංස්කෘතියේ තිබුණ ඔය මූලික කාරණය අයින්කර ගැනීම වැදගත්ම දෙයක්. දෙවනුව දේශපාලනික ප්‍රතිසංස්කරණ ලෙස 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. එහි දී අපි බලාපොරොත්තු වූණේ ජනාධිපති ක්‍රමය අහෝසිකර ගැනීමට. නමුත් 19යෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකිවූයේ නෑ. හැබැයි අනාගතයේ දවසක අහෝසිකර ගැනීමේ අඩිතාලමක් දමාගැනීමට මෙයින් පුළුවන් වුණා. ඊ ලඟට ජනාධිපතිවරයාට හිමිව තිබූ අසීමිත සමහර බලතල, උදාහරණයක් ලෙස අළුත් ආණ්ඩුවක් නැත්නම් පාර්ලිමේන්තුවක් බලයට පත්වෙලා අවුරුද්දකින් පසු එය විසුරුවා හැරීමේ බලය තිබුණා පෙර සිටි ජනාධිපතිවරුනට. දැන් ඒක නැතිවුණා. පෙර තිබුණා වගකිවයුතු සෑම ඉහළ තනතුරකට ම නිළධාරින් පත්කරන්නේ ජනාධිපතිවරයා. දැන් ඒක වෙනස් වෙලා තිියෙනවා. තවම ක්‍රියාත්මක නැති නමුත් අපි දන්නවා ව්‍යවස්ථා සභාව සහ ස්වාධින කොමිෂන් සභා පැමිණීමට නියමිතයි. මේ දේවල් අපි දැන් පටන්ගෙන තිබෙනවා. ඒ දක්වා මේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අපේ ප්‍රසංශාව හිමිවිය යුතු යි. හැබැයි අපි යන්නට ආවේ ඔතනට නොවේ. එතනින් එහාටයි යන්නට ආවේ. එයින් ඉදිරියට යෑමයි අපිට දැන් තිබෙන අභියෝගය.
ඒ අභියෝගය එන්නේ කොහෙන් ද?
මුලින්ම ඒ අභියෝගය එනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්. සාමාන්‍යයෙන් අපේ රටේ සිටි ජනාධිපතිවරු මේ දක්වා පැරදුණේ නෑ. කාලය අවසන් වූ පසු ඒ අය ගෙදර ගොස් තිබේ. ජේ. ආර් ජයවර්ධන වාර දෙකක් සිට ගෙදර ගියා. ආර්. ප්‍රේමදාස හදිසි අනතුරකට ලක්වුණා. ඩි. බී විජේතුංග දෙවෙනිවරට ඉල්ලූවේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙපාරක් ධූරය දරා ගෙදර ගියා. රාජපක්ෂ පමණයි දෙපාරක් කර තුන්වෙනි වරක් සිටීමට උත්සාහ දරා පැරදුණේ. ඒ අතින් ඔහු සුවිශේෂය. ඒ සුවිශේෂත්වය නිසාම ඔහු නැවත ඒමට උත්සාහ දරණවා. ව්‍යවස්ථාවට අනුව නියමිත ධූරකාලයෙන් අනතුරුව කැමැත්තෙන් අනික් අය ගෙරද ගියා. පරාජය වනවා යන්නෙහි තේරුම කැමැත්තෙන් අතහැර යනවා කියන එක නොවේ. ජනතාව විසින් පරාජය කෙරුන බව ය. ඒ නිසා තමයි මේ පුද්ගලයා නැවතත් මේ පැමිණිමට උත්සාහ දරන්නේ.
ඒ ආකාරයට පැමිණිමට මහන්සි දරණ විට එයාගේ යටතේ මං පෙර සඳහන් කළ සංස්කෘතියේ වරප්‍රසාද භුක්තිවිඳි විශාල පිරිසක් සිටිනවා. නිමල් සිරිපාල ද සිල්වාගේ පටන් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රිවරු 120 ගනණෙන් අතිබහුතරයක් ම ඒ මහින්ද රාජපක්ෂගේ සංස්කාතිය ඇතුලේ වරප්‍රසාද සහ වෙනත් වාසි භූක්ති විඳි අයයි. ඒ අයගෙන් වැඩි පිරිසක් දැන් අර මහින්ද රාජපක්ෂගේ නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ සිටිති. මේක තමයි පළවෙනි අභියෝගය අපිට තියෙන අර ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීම සඳහා. ඒක නිසා පුරවැසි බලය විදියට අපි ප්‍රමුඛත්වය දෙනවා ඒ මහින්ද රාජපක්ෂ නැවත බලට ගෙන ඒමේ සෑම ව්‍යායාමයක්ම ව්‍යර්ථ කරන්නට.
ඊ ළඟට දෙවනුව අපේ කඳවුරෙන්මත්, මේකට යම් යම් ආරාකායේ තල්ලූ ලැබෙනවා. එක තල්ලූවක් ජනාධිපති වරයාගෙන්. තව තල්ලූවක් අගමැතිවරයාගෙන් ලැබෙනවා. ඒ කියන්නේ අර පනින්න සිටින රිලවුන්ට ඉනිමං තියනවා වගේ දේවල් මේ දෙන්නාගේ අතින්ම සිද්ධවෙනවා. මුලින්ම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගතහොත් ඔහු බලයට පත්වුණේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරලා. බලයට පත්වෙලා අද ඔහු කටයුතු කරන්නේ එම ප්‍රතිපත්ති කරගහගෙන ගිය පිරිසකගේ නායකයා ලෙසට ය. අද හැලිලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විතරයි. මහින්ද රජපක්ෂ නඩත්තු කළ පිරිසේ නායකයා බවට අද මෛත්‍රිපාල පත්වෙලා තියෙනවා. එවිට අනිවාර්ය පරස්පරයක් මෙතන මතු වී තිබේ. දැන් මෙතන තිබෙන ගැටළුව තමයි වැඩකරලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පමණක් ද? කියන ප්‍රශ්ණය. මේ අළුත් පෙළගැසීම තමයි ඊ ළඟ තර්ජනය අර අපේ ඉදිරි වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්නට තිබෙන. අනික් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ දුරදිග බලා ක්‍රියා නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය.
ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහවත්, මෛත්‍රීපාල සිරිසේනවත් දූෂිත දේශපාලනඥයෝ නොවෙති. මෛත්‍රිපාල සිරිසේනට නම් පරිසරය විසින්මයි ඔහුගේ පරස්පරයන් දැන් මතු කෙරන්නේ. රනිල් වික්‍රමසිංහ වෙනත් කාරණා මත. ඒවා ඔහුගේ මිත්‍රකම් නිසා වීමට පුළුවන්, හිතවත්කම් වෙන්නට පුළුවන්. ඒවා මත ඔහු මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ව රනිල්ට කළු පැල්ලමක් අර බැඳුම්කර නිකුතුවට අදාලව බැලූ බැල්මට කෙනෙකුට පෙනෙනවා මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා. මොකද බැංකු අධිපතිවරයාගේ බෑණා තමයි වැඩිම ලාභය ලබලා තියෙන්නේ එහි දී. එවිට සාමාන්‍ය මිනිසුන්ට කෙලින්ම එනවා මේ දෙක අතර සම්බන්ධයක් ඇති බව. නීතියේ තිබෙනවා යුක්තිය ඉෂ්ටවනවා පමණක් නොව යුක්තිය ඉෂ්ටවන බව පෙනෙන්නට ද තිබිය යුතුයි කියලා. අර්ජුන් මහේන්ද්‍රන් සමහර විට එයාගේ බෑණාට මේකේ රහස් තීන්දු දැණුම් නොදුන්නා වෙන්නට පුළුවන්. හැබැයි ඇති වී තිබෙන ප්‍රතිවිපාකය නිසා සාමාන්‍ය මිනිසාට එනවා අදහසක් මෙයා මේවා බෑණට කල්තියා කියන්නට ඇතැයි යනුවෙන්. එතකොට වහාම කළයුතුව තිබුණේ මේ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදය තිබූ රටක නම් ඒක සිද්ධ වෙනවා. ඔය කොමිසන් සභා නැතිවුණත්, ඒකයි වෙන්නේ. පත් කළ විමර්ශණ කොමිෂන් සභාවෙත් සඳහන් වෙනවා මේ බැංකු අධිපතිවරයා සෘජුව මේකට සම්බන්ධ බවට සාක්ෂියක් නෑ කියලා. සෘජුව සම්බන්ධයක් නෑ කියන එකේ අදහස වක්‍රාකාරයෙන් සම්බන්ධයක් තිබිය හැකියි කියන එකයි. එතකොට ඒ වාර්තාව පැමිණියාට පසුවවත්, මේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතුව ත්ිබුණා. නමුත් වුණේ නෑ. මේකත් පණින්නට බලාසිටින වෘකයාට සපයන ගොදුරුක්. මහින්ද සහ ඔහුගේ සහචරයින් මේවා යස රගට පාවිච්චි කරනවා. එය ආකාරයේ දේවල් මේ අපේ කඳවුර පැත්තෙන්මත් සිදුවෙනවා. ඒ තව අභියෝගයක්.
පුරවැසි බලය හැටියට අපි හැම වෙලාවේම මේවා විවෘතව කථාකරනවා. අපි කිසි පක්ෂයකට සම්බන්ධ නෑ. ඒක මෛත්‍රිපාල සිරිසේනගේ වෙන්නට පුළුවන් රනිල් වික්‍රමසිංහගේ වෙන්නට පුළුවන් නැත්නම් වෙනත් ඇමතිවරයෙකුගේ වෙන්න පුළුවන්. අපි ඒවා ජනතාවට අනාවරණය කරනවා. ඒ නිසා අපි කියන්නේ මහින්දරාජපක්ෂ පැමිණිම කොන්දේශි විරහිතව පැරදවිය යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ගැන සහ රනිල් වික්‍රමසිංහ පිළිබඳව කරන විවේචනය මොන විදියකටවත් අපි පදනමක් කරගන්නේ නැහැ මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නට. හැබැයි ඒ අතරේ සාධනීය ලෙස විවේචනය කර අපි මේ කඳවුරත් නිවැරදි කරගන්නට අවශ්‍යයි. ඒක තමයි පුරවැසි බලය කරන්නේ.
කුමන ආකාරයේ ප්‍රතිසංස්කරණ මාලාවක් ද මී ළඟට බලයට පත්වන පාර්ලිමේන්තුමෙන් පුරවැසි සංවිධානයක් ලෙස ඔබ අපේක්ෂා කරන්නේ?
අපි දැන් ප්‍රකාශනයක් සකස් කරමින් සිටිනවා පුරවැසි බලය ලෙස. ඒක අපි සියළුම දේශපාලන පක්ෂ වලට ඉදිරිපත් කරනවා. අපි ඒ අයගෙන් බලා පොරෙත්තු වන ප්‍රතිසංස්කරණ ඒ තුළ තිබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසාගත යුතුයි. මේ වගේ කැලි කෑලි, නැතිනම් පැලැස්තර දැමීම නොවෙයි කළ යුත්තේ. විධායක ජනාධිපති ක්‍රමය නොවන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් වන ව්‍යවස්ථාවක් අලූතෙන් නිර්මාණය කරගත යුතු ය. අපි අලූත්ම අදියරකට යායුතු බවයි එයින් කියන්නේ. ඒක අපේ එක් යෝජනාවක්. තව තියෙනවා තොරතුරු දැනගැනීමේ අයිතිය, ජාතික විගණන කොමිසම ස්ථාපිත කරගැනීම. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකරන්නට අවශ්‍ය ය. රාජ්‍යය කියන එක අනාගමික වියයුතුයි. රාජ්‍යකට ආගමක් තිබිය යුතු නෑ. සුළු ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතු යි. මේ ආකාරයේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ මාලාවක් අපි දැණට සකස් කරමින් යනවා.
පුරවැසි බලය ලෙස එන මැතිවරණයේ දී අපි වැඩ කරන්නේ ඒ වැඩපිළිවෙල මත. එය සමාජගත කිරීම සහ ඒ සඳහා යම් ජයග්‍රහණයක් ඇතිකර ගැනීමයි අපේ මී ළඟ අරමුණ. ඒකට කවුද කැමති ඒ අය සමඟ අපි සිටිනවා. ඒකට විරුද්ධ කවුද ඒ අයට විරුද්ධව අපි සිටිනවා. ඒ ආකාරයේ වැඩපිළිවෙලක් ට තමයි අපි යන්නේ. හැබැයි අපි කිසිම පක්ෂයක අතකොලූවක් බවට පත්වෙන්නේ නෑ මේ මැතිවරණය තුළ දී. මොකද අපිට එහෙම අවශ්‍ය නැහැ අපි පක්ෂයක් නොවන නිසා. අනිත් එක අපි යන්නේ වැඩ පිළිවෙලක් මත. වැඩ පිළිවෙලයි අපේ පක්ෂය.
මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස් කරණ ඇතිකරගැනීම පමණ ද ඔබලා අපේක්ෂ කරන්නේ?
නැහැ, අපි සකස්කරගෙන යන ප්‍රකාශනයේ සමාජ ආර්ථික හැඩරුවකුත් තිබෙනවා. සමාජයේ තිබෙන ආදායම් පරතරය නැත්නම් විසමතාවය අවම කළයුතුයි. ඒ සඳහා වන තිරසාර ආර්ථික වැඩපිළිවෙලක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහණය වැනි අංශ පොදු සේවාවන් ලෙස සැළකිය යුතු යි. මෙහිදී රාජ්‍යය ප්‍රධාන වගකිව යුත්තා ලෙස එහි වගකීම භාරගත යුතු යි. ඒවා සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට භාර දී බලාසිටිය නොහැක. අපි කියන්නේ නෑ ඒවා ආණ්ඩුවේ ඒකාධිකාරයක් බවට පත්විය යුතුයි කියලා. හැබැයි ඒකේ මහ පංගුව සහ එහි ප්‍රතිපත්ති සම්පාදනය රජය සතුවිය යුතුයි. මේ අංශ සම්බන්ධයෙන් විශාල භූමිකාවක් රජය භාරගත යුතු යි. ඒ ආකාරයේ වැඩ පිළිවෙලක් තමයි අපේ ප්‍රතිපත්ති රාමුව තුළ අපි ඉදිරිපත් කරන්නේ.
සාකච්ඡාව- මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *