පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාව දුන් තොරතුරු බොරු – සී අයි ඩී සහාය නොදෙන්නේ නම් එම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකියි - මහේස්ත්‍රාත්වරිය

සැප්තැම්බර්

26

7:08 පෙ.ව.

admin

2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමේ සිද්ධිය කැඳවූ අවස්ථාවේ ඊයේ(25) අධිකරණයට කියා සිටියේය.

මෙම හේතුවෙන් පරීක්ෂණ පමා වන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේය.

මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ඉල්ලීම් සිදු කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දොපර්මේන්තුවට නියෝග කළාය.

විමර්ශනවලට සහාය නොදීම රක්ෂිත භාරයේ සිටින සැකකරුවන්ට අගතියක් වන බවත් අවශ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවිය හැකි බවත් දන්වා සිටි මහේස්ත්‍රාත්වරිය එසේ සහාය නොදෙන්නේ නම් එම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන ඔක්තෝබර් මස 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

විමර්ශන පවත්වා ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නමැති සැකකරු ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙන් රෝද පුටුවක් ආධාරයෙන් නාවික හමුදා රෝහල මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව නාවික ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති සැකකරු අත්අඩගුවට ගැනීමට නැවතත් වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීමට කළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියාය.

සැකකරු සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සැකකරු විදේශ ගතව සිටී ද යන්න විමර්ශනය කරන බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු නීත්‍යානූකූලව මෙරටින් පිටත්වී නැති බවත් කියා සිටියේය.

ඉකුත් නඩු දිනයේ සිට මේ වන විට නාවික හමුදාවේ 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් පරීක්ෂකවරයා කියා සිටි අතර සුමිත් රණසිංහ යටතේ සිටි හෙට්ටිහැන්නදි සහ සේනාරත්න යන අය ගන් සයිට් භූගත බංකරයට මීටර් 100ක් පමණ ඈතින් ඔවුන් ආරක්ෂික රාජකාරි සිදු කළ බවත් තවත් අතුරුදන් අයවලුන් වන කෑග්ගගේ ශාන්ත සහ ඉබ්බාගමුවේ ප්‍රදීප් යන රඳවා සිටි බංකර්වල මෙම සැකකරුවන් රඳවා සිටි බවටත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බවත් කීවේය.

පුද්ගල ජාවාරම සම්බන්ධයෙන් සහ අවශ්‍ය ලේඛන ගෙන්වා ගැනීමට නව නාවික හමුදාපතිවරයාට ලිඛිතව දන්වා යවා ඇති බව ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු ඇප මත සිටීම සම්බන්ධයෙන් සහ සැකකරුවන්ට ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් සිදු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි යන රක්ෂිත භාර ගත කර සිටින අතර සිද්ධියට අදාළ ඇප මත සිටින පළමු සැකකරු වන සම්පත් මුණසිංහ යන අය අධිකරණයේ පෙනී සිටියේය.

පුද්ගලයන් 11 දෙනකු වසර 2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා අතුරුදන් වී ඇති අතර කොටහේන වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු ස්ථාන කිහිපයක දී ඉකුත් කාලය තුළ කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය මෙම සිද්ධියට අදාළව අතුරුදන්ව ඇත.

සුබාෂිණී සේනානායක – දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *