නව ව්‍යවස්ථාව අපේක්ෂිත මට්ටමේ ව්‍යවස්ථාවක් වේ ද?- මහින්ද රත්නායක

දෙසැම්බර්

25

11:10 පෙ.ව.

admin

ගිය වසරේ ජනවාරි 08 වෙනිදා, ප්‍රජාතන්ත්‍රීය බලවේගයන් විසින් රාජපක්ෂ රෙජීමය පලවා හැරුනේ වී නමුත්, ආණ්ඩුක්‍රමයේ අපේක්ෂිත වෙනස දින සියය ඇතුළත එය සිදු වූයේ නැත. එයට හේතු වූයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තුවේ එවකට සිටිය මන්ත්‍රිවරුන් ගේ කඩාකප්පල් ක්‍රියාවන් ය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කිරීම සැබවින්ම සිදුවීමට නියමිතව ඇත්තේ 2016 වසරේ දී ය. බලයට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් ඒ පිළිබඳ යෝජනාව එළඹෙන ජනවාරි මස 9 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මේවන විට වාර්තා වී ඇත.
මෙය යහපත් වර්ධනයක් වන අතරම, සාපේක්ෂව ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් ස්ථාපිත කරගැනීම රාජපක්ෂ රෙජීමය පලවා හැරීම තරම් පහසු කටයුත්තක් නොවේ. නව ව්‍යවස්ථාවක් හැදීම යනු පවතින ව්‍යවස්ථාව වෙනුවට තවත් ව්‍යවස්ථාවක් නොව එය ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් වියයුතු ය. මූලික වශයෙන් රටේ අතිමහත් බහුතරය විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට දෙවරක් ම අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව නව ව්‍යවස්ථාවේ විධායකය, අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවට පැවරෙනු ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් විධායක ජනාධිපතිවරයා පත්වන ආකාරයට, අගමැතිවරයා මහජනයාගේ සෘජු ඡන්දයෙන් පත්වීමට යම් යෝජනාවක් කෙරෙන්නේ නම් එයට ජනතාවගේ අනුමැතිය නොලැබෙනු ඇත. එහෙයින් විධායක අගමැති ධූරයක් සහිත ආණ්ඩුක්‍රමයක් යෝජනා නොවෙනු ඇතැයි සිතිය හැක.
නව ව්‍යවස්ථාව බලය බෙදන ලද ව්‍යවස්ථාවක් වියයුතු අතරම බලහවුල්කාරි ව්‍යවස්ථාවක් ද වියයුතුව තිබේ. ඒ අනුව නව ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය ද්වීමාණ්ඩලික වයවස්ථාදායක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. පළවෙනි මන්ත්‍රණ සභාවට නිල බලයෙන්ම පලාත් සභාවල මහ ඇමතිවරුන් ද පත්වීමට පුළුවන. පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොලැබෙන මැලේ ප්‍රජාව වැනි කොටස් ද ඒ මන්ත්‍රණ සභාවේ නියෝජනයක් ලැබීමට ඉඩ තිබේ. ඒ අනුව නව ව්‍යවස්ථාව බලය බෙදූ ව්‍යවස්ථාවක් නොව මධ්‍යයේ බලය හවුලේ භූක්තිවිඳින ව්‍යවස්ථාවක් වීමට පුළුවන.

කෙසේ නමුත් බලය බෙදීම යන කාරණය සාක්ෂාත් කරගැනීම එතරම් පහසු ව කටයුත්තක් නොවේ. ශ්‍රි ලංකා ජනරජය ඒකිය ජනරජයක් නොවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය මේ වනවිටත් පවසා තිබේ. ජාතිවාදින් පමණක් නොව යහපාලන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට ද මෙය දිරවාගතහැකි යෝජනාවක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගෙන් වැඩිදෙනෙක් මේ යෝජනාවට විරුද්ධ වනු ඇත. එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ ජාතික හෙළ උරුමයේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමි ද මෙය අනුමත නොකරන බව ඉතා පැහැදිළි ය. කෙසේ නමුත් ඒකීය යන වචනය පිළිබඳ කිසියම් එකගතාවයකට අවසානයේ පැමිණිමට ඉඩතිබේ. එහෙත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳව නම් දෙමළ ජාතික සන්ධානය බුරුලක් දෙනු ඇතැයි සිතිය නොහැක. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්කිරීමට සහාය දැක් වූ දෙමළ ජනතාවගේ අදහස් වලට කන් නොදී සිටීමට ද ආණ්ඩුවට හැකියාවක් නැත. එම නිසා බලය බෙදීමේ ආකෘතිය පිළිබඳව බරපතල විවාදයක් රටතුළ මතුවනු ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් දෙමළ ජනතාවට සාධාරණයක් වියහැකි ලෙස, ආණ්ඩුවට මෙම කඩුල්ලෙන් පැනගත හැකි වුවහොත් එය සමස්ථ රටේම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට තබන පියවරක් වනවාට කිසිදු සැකයක් නැත. ජනවාරි 8 සහ අගෝස්තු 13 වෙනිදා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් වන්නේ මෛත්‍රි-රනිල් ආණ්ඩුව එවැනි පියවරක් ඉදිරියට තබන්නේ නම් පමණි. එසේ නොවූවහොත් සිංහළ කියමනකට අනුවඑය කන්දක් විළිලා කෙන්දක් වැදුවා හා සමාන වනු ඇත.
අනික් වැදගත් කාරණය වන්නේ නව ව්‍යවස්ථාවේ දර්ශනයයි. ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් යනු මේ රටේ වසන සියලුම ජාතීන්ට මේ රට තමන් ඉපදුණු රට, තමන් ජිවත්වන රට සහ තමන් මැරෙන රට යන හැගීම ඇතිවන ව්‍යවස්ථා දර්ශනයක් නව ව්‍යවස්ථාවට තිබිය යුතු ය. එවැනි ව්‍යවස්ථා දර්ශනයක් තිබීමට නම් ප්‍රථමයෙන්ම නව ව්‍යවස්ථාව අනාගාමික ව්‍යවස්ථාවක් විය යුතු ව ඇත. මෙවැනි ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් ඉදිරිපත් වී නැතත්, ව්‍යවස්ථාවක දර්ශනය අනාගාමිකවීම ඉතා වැදගත් ය. බලය බෙදීමට පක්ෂව ආණ්ඩුවේ සිටින බහුතරයක් එකගවිය හැකි නමුත් රාජ්‍ය අනාගමික වියයුතු ය යන යෝජනාවට එකග නොවනු ඇත.
ව්‍යවස්ථාව අනාගමික නොවූවත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රශස්ථ මූලික ආයිතිවාසිකම් පරිච්ජේදයක් තිබීම ප්‍රමාණවත් යැයි කියන නිතිඥයෝ ද සිටිති. දේශපාලන විද්‍යව තුළ නම් මූලික අයිතිවාසිකම් සැළකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සැරසිල්ලක් නැත්නම් අයිසින් පාරක් ලෙසට ය. මක් නිසා ද යත් යම් ව්‍යවස්ථාවක කිසියම් භාෂාවකට හෝ ආගමකට ප්‍රුමුඛත්වය ලැබෙන්නේ නම් ඒ සමගම දෙවැනි පංතියේ පුරවැසියන් පිරිසක් රටේ ඇතිබව ව්‍යවස්ථාවෙන්ම සහතික වන්නේ ය. 72ට පෙර පැවති අපගේ සෝල්බෙරී ව්‍යවස්ථාව අනාගාමික ව්‍යවස්ථාවකි. එම ව්‍යවස්ථාවේ ඒකීය භාවයක් ගැන පමණක් නොව ආගමක් මෙන්ම භාෂාවක් පිළිබඳව සඳහන් වූයේ නැත. එහෙත් පළවෙනි ජනරජ ව්‍යවස්ථාවට මේ සංකල්ප තුනම ඇතුලත් විය. පැරණි වාමාංශිකයින් බොහෝ දෙනෙකුට නම් 72 පළමුවන ජනරජ ව්‍යවස්ථාව ඉදිරි පියවරකි. එය අධිරාජ්‍යවාදයෙන් කැඩීයැමක් බව ඔවුහූ මහත් උජාරුවෙන් ගෙනහැර දක්වති. අධිරාජ්‍යවාදයෙන් කැඩී යෑම යහපත් වන නමුත්, එයින් කැඩී ඉදිරියට යනවා වෙනුවට ලංකාව ගොස් ඇත්තේ ආ පස්සට බව ඔවුන්ට තේරෙන්නේ නැත. ඉන්දියාව සමග සංසන්දනය කිරීමේ දී මෙය වඩාත් හොඳින් පැහැදිළි වේ. ඉන්දියාව එදා අධිරාජ්‍යවාදයෙන් කැඩී වෙන්වූවා පමණක් නොව අනාගමික ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කළේ ය. කෙසේ නමුත් වාමාංශිකයින්ගේ ද සහාය ඇතිව 72 දී කළ වරද මෙවර නිවැරදි කළහැකියැයි සිතන්නට තරම් සාධක නැත. මක් නිසා ද යත් 1972 දී බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීමට පක්ෂපාති සමාජ බලවේගයක් නිර්මාණය නොවේ. දේශපාලන වාසිතකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් නොකළයුතු දේවල් ඇතුලත් කිරීම පහසු ය. පසුව එහි ඇති වරද අවබෝධවූවත් ඒවා ඉවත් කිරීමට හැකිවන්නේ නැත. එහෙයින් නව ව්‍යවස්ථාව ආගමික ව්‍යවස්ථාවක්වීම වළක්වා ගන්නට හැකිවන්නේ නැත.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *