දේශපාලනික සංවේදීත්වයක් සහිත භික්ෂු පරමාදර්ශය-ෂ්‍යාමන් ජයසිංහ

දෙසැම්බර්

9

9:49 පෙ.ව.

admin

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලනික සංවේදීතාවක් සහිත භික්ෂු වහන්සේ නමකගේ පරමාදර්ශී මාදිලියක සාක්ෂියකි. දේශපාලනික ක්‍රීඩාවේ යෙදුණු බොහෝ සංඝයා වහන්සේලා ලංකාවේ සිටියහ. එහෙත් ඒ සියල්ලන්, භික්ෂුවගේ සහ දේශපාලඥයාගේ කාර්ය භාරයන් වෙන් කොට හඳුනාගෙන එම භූමිකාවේ නොයෙදුණි. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පොදු භූමිකාව තුළ කිසි විටෙක මේ භූමිකා දෙක එකට නොපැටලුණි.

50 දශකයේ මැද භාගයේ කැළණියේ රජමහ විහාරයේ අපකීර්තිමත් බුද්ධරක්ඛිත භික්ෂුව, සෝමාරාම නැමැති බළල් අතක් පාවිච්චියට ගනිමින් සාසනයේ නාමය කෙළෙසුවේය. මා කුඩා කල මගේ පියා මේ භික්ෂුව බැහැදැකීමට මාව එක්කරගෙන ගියේය. ඔහු එහි වැඩ සිටියේ කුමාරයෙකු මෙනි. ඔහුගේ පුස්තකාලයේ විස්කි බෝතල් ප්‍රදර්ශනය කොට තිබුණි. මා සිටින අවස්ථාවේත් ඔහුට විවිධ දුරකථන ඇමතුම් ආවේය. සමහර විට ඒ, දේශපාලනික සහ ව්‍යාපාරික අතරමැදි සහායක් ඔහුගෙන් අපේක්ෂා කළ ඇමතිවරුන්ගෙන් විය හැකිය. ඒ වන විට, නැව් සමාගමක් සමග ඔහුට සමීප සබඳතාවක්ද තිබුණි. ඊට අදාළ ගනුදෙනුවක් තමන්ට අවශ්‍ය අයුරින් ඉටු කර ගැනීමට නොහැකි වූ විට ඔහු කෙළේ, එස්.ඩබ්.ආර්.ඩී. බ්ණ්ඩාරනායක අගමැතිවරයාව ඝාතනය කැරැවීමයි. ඒ, අගමැතිවරයෙකුව පවා ඝාතනය කළ භික්ෂුවකට සාක්ෂියකි.

බලයෙන් මත් වූ බුද්ධරක්ඛිතට හොර අඹුවක්ද සිටියේය. ඇය එදා ආණ්ඩුවේ ඇමතිවරියකි. බලය, ශෘංගාරාත්මක යැයි කියති.

අනතුරුව ඊට වඩා අඩු ලංසුවේ චීවරධාරියෝ ආහ. එහෙත් ඔවුන් දේශපාලන වේදිකාවේ වැඩි දුරක් ගියේ නැත. හේතුව, වසර ගණනක් යන තෙක් සංඝයාට එරෙහි බලවත් ජන හඬක් එදා රැව්දුන් බැවිනි. එම ආකල්පය, ජාතික හෙළ උරුමයේ ආරම්භයත් සමග මැකී ගියේය. ජාතික හෙළ උරුමයත් යම් පිළිගැනීමක් ලැබ දේශපාලනික බල කේන්ද්‍රයට අවතීර්ණ වන්නේ, ශ්‍රී ලංකාවේ වැඩ වාසය කළ කෙටි කාලයක් තුළ යම් ගුප්ත හේතුවක් නිසා ඉතා ජනප්‍රියත්වයට පත්, ඔස්ටේ්‍රලියානු-ශ්‍රී ලාංකීය භික්ෂුවක් වූ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෘත දේහය දඩමීමා කර ගනිමිනි.

සෝම හිමියන්ට එදා ඕස්ටේ්‍රලියාවේ එතරම් ජනප්‍රියත්වයක් නොතිබුණි. ඔහුට බොහෝ සතුරන් සේම, ප්‍රබල දායකයන්ද සිටියත්, ඕස්ටේ්‍රලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව කෙරෙහි ඔහුගේ වැඩිමනත් බලපෑමක් නොවුණි. ඔහු දක්ෂ සංවිධායකයෙකු විය. විවිධ අරමුදල් එක්කාසු කිරීමේ හපනෙකු විය. ශ්‍රී ලංකාවේ තිබූ ජනප්‍රියත්වය නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටත් අපේක්ෂා කරන බව ඔහුගෙන් ප්‍රකාශ විය. ඒ තත්වය තුළ, තව තවත් ජනප්‍රියත්වය දිනා ගනු වස්, කතෝලික පූජකතුමෙකු සමග ඔහු සැක කටයුතු රුසියානු සංචාරයක නිරත විය. ස්ථූප ගැන ඊට වසර කිහිපයකට පෙර ඔහු විසින් ලියන ලද පොත් පිංචකට ආචාර්ය උපාධියක් පිරිනැමීමට මෙකී පූජකතුමා මැදිහත්ව සිටියේය. බරපතල දියවැඩියා රෝගයෙන් පෙළුණු සෝම හිමියෝ මේ සංචාරය අතරතුරදී හදිසි හෘදයාබාධයකින් අපවත් වූහ. ව්‍යාජ දේශප්‍රේමීන්ට සහ අන්තවාදී භික්ෂූන්ට, ඔවුන් විශ්වාස කළ පරිදි සිදු වී ඇතැයි කී ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ගැන වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි රට පුරා යමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට එම මරණය ප්‍රමාණවත් විය. පහසුවෙන් රැවටෙනසුළු බෞද්ධයන්ව එම උද්ඝෝෂණ ව්‍යාපාරය වටා පෙළගස්වා ගැනීමට මේ අනර්ථකාරීන්ට එදා හැකි විය. ජාතික හෙළ උරුමය උපදින්නේ ඒ උද්ඝෝෂණය හරහා ය. ඔවුන් ඉදිරිපත් වූ ඊළඟ මැතිවරණයේදී, ඉහත කී කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූ අපරාධකරුවන්ට දඬුවම් කරන බවට ඔවුහූ පොරොන්දු වූහ. මැතිවරණය ජයගත්තේය. එහෙත්, ඔවුන් පාර්ශ්වකරුවන් වූ ජයග්‍රාහී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිවක් කෙළේ නැත. සෝම හිමියන්ව සදහටම අමතක වුණි.

එහෙත් ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තු බලයත්, ඒ සමග ඈඳුණු තීරුබදු රහිත වාහන බලපත්‍ර සහ ගෙවල්දොරවල් ආදී සෑම වරප්‍රසාදයක්මත් ලැබුණේය. ජාතික හෙළ උරුම මන්ත්‍රී භික්ෂූන්ගේ ජීවිත එයාකාරයෙන් සුවපත් විය.

මේ පක්ෂයේ ආරම්භයත් සමගම භික්ෂූන් වහන්සේලා කෙලින්ම දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන අයුරු අපි දුටිමු. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඇමතියන් යකා නටද්දී හෙළ උරුමය කිසිවක් කෙළේ නැත. අඩු වශයෙන්, යුද්ධයේ වීරයා වු හමුදාපති සරත් ෆොන්සේකාව හිරේ ලන අවස්ථාවේදීවත් ඔවුන් කිසිවක් කෙළේ නැත. ඒ වූ කලී, භික්ෂුව මහ දවල්ම දේශපාලනික සත්වයෙකු බවට පත්වීමකි. සංඝයා සහ දේශපාලනය පයුරුපාසනය කෙළේ එවිට ය.

මේ බලසම්පන්න භික්ෂුන්ට ඈඳුණු තවත් ගැති සංඝයා වහන්සේලා වූහ. වෙළෙන්දන් සහ ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කෙළේ ඔවුන් ය. ඇතැම් නපුරෝ ආගමික කෝන්තර ඇවිලවූහ. මුස්ලිම් ජාතිකයන්ට පහර දී ඔවුන්ගේ පල්ලි විනාශ කළහ. ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති රටක් බවට ලංකාව පත්කළහ.

ශ්‍රී ලංකාව, සදාචාරමය වශයෙන්ද, දේශපාලනමය වශයෙන්ද ප්‍රපාතයට යමින් තිබුණි. එය, කැලෑ ජනරජයක් බවට පත්විය. එහි සිංහාසනයේ ඒකාධිපතියෙක් වැඩ සිටියේය. ඔහුගේ පවුල ඒ වටා ගොනු වූහ. පුත්තු නීතිය අතට ගත්හ. තාජුඩීන් ඝාතනය ඒ අස්සේ කැපී පෙනේ.

මේ අතරේ, යුද්ධයේ නිමාවෙන් පසු ඇති විය යුතුව තිබූ ජාතීන් අතර සංහිඳියාව හූල්ලමින් තිබුණි. ආණ්ඩුව යුද අපරාධවලට සම්බන්ධ බවට රාවයක් ජාත්‍යන්තරයේ පැතිර ගියේය. එක්සත් ජාතීන්ගේ සංගමයේ පරීක්ෂණ පිළිබඳ අනතුර ලංකාවට උඩින් මාරක අසිපතක් සේ එල්ලෙමින් තිබිණ. එකී ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කෙරුණි නම්, ඒ හරහා ඇති විය හැකි ආර්ථික සම්බාධකවලින් බැටකනු ඇත්තේ රටේ වෙසෙන සාමාන්‍ය ජනතාවයි. මේ අස්සේ, ලංකාව රටක් වශයෙන් චීනයේ ණයකාරයෙකු වී සිටියේය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලන වේදිකාවට එන්නේ ඒ තීරණාත්මක මොහොතේ ය. එය, යහපාලනය මෙන්ම ජාතික සංහිඳියාවත් මේ රටට බෙහෙවින් අවශ්‍ය කොට තිබූ මොහොතකි. ජාතියට නායකත්වය සැපයිය හැකි පෞරුෂයක් සහිත සිවිල් නායකයෙකු පෙනෙන්ට සිටියේ නැත. ගෞරවයට පත් භික්ෂුවකට කියාපු භූමිකාවක අවකාශයක් ගොඩනැගෙමින් තිබුණි. එම අවකාශය, මාදුළුවාවේ සෝභිත හිමියෝ අභිමානවත්ව පිරැවූහ.

උන්වහන්සේ එය කෙළේ කෙසේදැයි විමසා බැලීම වටී. දේශපාලනික ඉලක්කයක් ඔහුට තිබුණත්, දේශපාලනික අවසිහියට හේ යට වුණේ නැත. නව දෘෂ්ටිවාදයකට උරදුන් උන්වහන්සේ, අවශ්‍ය කාර්යය සාධනය සඳහා නිවැරදි දේශපාලන නායකයන් තෝරා ගැනීමට උදව් වූහ. බොහෝ අය ආරාධනා කළත් ජනාධිපති වීමේ ආධ්‍යාශයක් උන්වහන්සේට කිසි විටෙකත් තිබුණේ නැත. උන්වහන්සේ කැප වුණේ, රටත් සමාජයත් නිවැරදි මාවතක මෙහෙයැවීමටයි. ඊට පිටස්තරින් සිටගෙන, එය කෙරෙනු උන්වහන්සේ බලා සිටියහ. තනි තනි නායකයන් වශයෙන් ගත් විට උන්වහන්සේ සිටියේ ඊට පිටස්තරිනි.

ජනවාරි 8 වැනි දා සෝභිත හිමියෝ සතුටු සිනා පෑහ. එතුමන්ගේ ආසන්න කර්තව්‍යය සමාප්තව තිබුණි. ඊළඟට තිබුණේ, දුන් පොරොන්දු ඉටු වන්නේදැයි ඇස ගසාගෙන සිටීමයි. සෝභිත හිමියෝ කිසි දවසක ධනය රැස් නොකළෝය. තමන්ගේ නාග විහාරයට වී ස්වකීය ශාසනික කාර්යයට උරදීම උන්වහන්සේට සතුටක් විය. සුඛෝපභෝගී වාහන හෝ තීරුබදු රහිත වාහන බලපත්‍ර හෝ එතුමන්ට තිබුණේ නැත. මුළු ලොවම, අවශ්‍ය විණි නම්, උන්වහන්සේට අත්කර ගත හැකිව තිබුණි. එහෙත් ලෞකික සැපත එතුමෝ බැහැර කළහ. අවසානයේ උන්වහන්සේ සතුව තිබුණේ එකම දෙයකි. එනම්, සෑම තරාතිරමකම මිනිසුන්ගෙන් සහ සෑම වාර්ගික සහ ආගමික ප්‍රජාවකගෙන්ම නොමසුරුව ලැබුණු උත්තරීතර ගරුබුහුමන පමණි.

2015 නොවැම්බර් 9 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
දේශපාලනික සංවේදීත්වයක් සහිත භික්ෂු පරමාදර්ශය නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *