දූෂණය: කිසි වෙනසක් නැති වෙනස – ‘සන්ඬේ ටයිම්ස්’ ආණ්ඩුව පිළිබඳ ඉච්චා භංගත්වය දිනෙන් දින වැඩෙමින් තිබේ.

නොවැම්බර්

10

9:19 ප.ව.

admin

දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ¥ෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන් දූෂිතව පවතින ලංකාවේ දේශපාලනය තුළ තවම කිළිටිව නැති එකම පක්ෂයේ නායකයා වශයෙන් ඔහු මේ ආණ්ඩුවට එරෙහිව, අල්ලස සහ දූෂණයට තල්ලූව සැපයීමත්, තක්කඩින්ව ආරක්ෂා කිරීමත් ගැන ගල් වරුසාවක් එල්ල කෙළේය.

ඔහුගෙන් කිසිවෙකුට සමාවක් නොවුණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවා ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය. විශේෂයෙන් ඇතැම් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් කෙරෙහි නිර්දය වූ ඔහු, ඔවුන් දෙස බලමින්ම සිය දෝෂාරෝපණය කරගෙන ගියේය. තමා කතා කරන්නේ කෝපයකින් මෙන්ම, ඉච්ඡුා භංගත්වයක් පිළිබඳ හැඟීමකින් බව ඔහු කීය. ඒ මන්ද යත්, මේ ආණ්ඩුව බලයට ගෙන ඒමටත්, තිබුණු දූෂිත පරිපාලනය පරාජය කිරීමටත් තම පක්ෂය දායක වූ බැවිනැයි ඔහු කීය.

තමන් කරන ප‍්‍රකාශයන්, දත්ත සහ සංඛ්‍යා ලේඛන මත පදනම් කරමින් කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු නායකයා, මේ වන විට යටපත් කරනු ලැබ ඇති හෝ සඟවන ලද සිදුවීම් ගණනාවක් ගැන සඳහන් කෙළේය. ඒ අනුව ගත් කල මෙය, ‘අත යට ගනුදෙනු’ සිදුවන යුගයක් බවත්, උසස් තනතුරු හොබවන්නන් නවතම අපරාධ කොටස්කරුවන් වී සිටින බවත් හෙතෙම කීය.

මෙසේ සිදුවන්නේ, දූෂණය යනු ‘විනාශ මුඛයට ජීවිත ඇද දමන අනර්ථකාරී අපරාධයක්’ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් කියා සිටීමෙන් සහ, ‘ෂණ වැළැක්වීමට සහ රටෙන් සොරා ගත් වත්කම් සොයා ගැනීමට මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටින බව සහ කාර්යක්ෂම වූත්, විස්තීරණ වූත්, අර්ථවත් ප‍්‍රතිඵල ගෙන දෙන්නා වූත් ආකාරයකින් දූෂණය සහ අල්ලස මැඩලීම සඳහා අවශ්‍ය හැකියාව ගොඩනැගීම සඳහා නව ආණ්ඩුව පියවර ගණනාවක් ගනිමින් සිටින බවත්’’ අපේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රකාශ කොට පැය හතළිස් අටක් ඉක්ම යාමටත් කලිනි. ‘පසුගිය ආණ්ඩුව යටතේ දූෂණ-විරෝධය හුදෙක් වචනයට පමණක් සීමා වූ තත්වයක් තුළ, යහපාලන සංස්කෘතියක් සඳහා වන නව ආණ්ඩුවේ ඉහත කී පියවරයන් වූ කලී, පරමාදර්ශී වෙනසක් නිරූපණය කරන බවත්’ අපේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ කියා සිටියේය.

මෙසේ එකිනෙකට හාත්පසින් වෙනස් කතා දෙකකින් කියැවෙන්නේ එකම රටක් ගැනද යන පැනය කෙනෙකුගේ සිතේ ඇති වෙතොත් එය පුදුමයක් නොවේ. මන්ද යත්, ඒ කතා දෙකම කරන්නේ, පැහැදිළිවම, පැවති දූෂිත ආණ්ඩුව පෙරලා දැමීමට සහ පිරිසුදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මේ රටේ ජනතාව අපේක්ෂා දල්වා ගනිමින් බලයට පත්කර ගත් ආණ්ඩුවකට උරදුන් දෙදෙනෙකු වන බැවිනි.

මාස දහයක් වැනි කෙටි කාලයක් තුළ නව ආණ්ඩුව යටතේ සිදුවන දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් මෙසේ කතා කරනු දකින්නට ලැබීම ඇත්තෙන්ම කණගාටුදායක ය. ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ කතාව සහ ඊට ප‍්‍රතිචාර වශයෙන් ආණ්ඩුව පැත්තෙන් නැගුණු කරුණු දැක්වීම් ආශ‍්‍රයෙන් මතු වූ අර්බුදකාරී තත්වය, කැබිනට් මණ්ඩලය දක්වා දුරදිග ගියේය. එහිදී තමන්ගේම ආණ්ඩුව දූෂණ-විරෝධය ක‍්‍රියාවට නංවන ආකාරය ගැන අප‍්‍රසාදයෙන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පවා ඇතැම් ඇමතිවරු ඉඟි කළහ.

දැන් ප‍්‍රශ්නය වන්නේ මෙයයි: නිදහස ලබා ගැනීමෙන් දශක හයකට පසුවත් මේ තත්වය නිවැරදි කර ගැනීමට අපට නොහැකි වුණේ ඇයි? සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළම යම් දූෂිත තත්වයක් තිබේ. එහෙත් ලංකාවේ තිබෙන්නේ ඔඩුදුවා ඇති තත්වයකි. එය දේශපාලන ක‍්‍රමයේ වරදක්ද, නැත්නම් පුද්ගලයන්ගේ වරදක්ද, එසේත් නැතහොත් ඒ දෙපාර්ශ්වයේම වරදක්ද?

‘දූෂණයට එක අඟලකවත් ඉඩක් නැතැ’ යි කියන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාගේ වර්තමාන ප‍්‍රකාශය සමාන වන්නේ, යුද්ධයේ අවසාන අදියරේදී ‘එක සිවිල් මරණයක්වත් සිදු නොවුණු’ බව කී හිටපු ආණ්ඩුවේ ස්ථාවරයටයි. අද කැබිනට් මණ්ඩලය තුළත්, පාර්ලිමේන්තුව තුළත් ගිගුම් දෙන දූෂණ චෝදනා ඉදිරියේ, කෙසේ වෙතත්, නියෝජ්‍ය ඇමතිවරයාගේ එකී ප‍්‍රකාශය නංවන්නේ බොල් හඬකි.

පාවෙන අවි ගබඩාවට සම්බන්ධ ‘ඇවන්ගාඞ්’ සිද්ධිය, අපේ දේශපාලන ක‍්‍රමයේ පවතින අබලතාවත්, දේශපාලඥයන් ලොකු ගතමනාවන්ට විකිණෙන්නේ කෙසේද යන්නත් නිරාවරණය කෙළේය. මුහුදු කොල්ලකරුවන් මැඩලීම සඳහා දියත් කරන ලද, අද විවාදයට තුඩුදී ඇති, කෝටි ගණන් ලාභදායි ‘ඇවන්ගාඞ්’ ව්‍යාපාරයේ නෛතික හෝ අනෛතික භාවය කෙසේ වෙතත්, එම ලාභවලින් කොටසක් මැතිවරණ ව්‍යාපාර සඳහා යෙදැවී ඇති බවට සාක්ෂි තිබේ. පවතින දේශපාලන ක‍්‍රමය තුළ එය ප‍්‍රමාණවත් පරිද්දෙන් මේ වන විට හෙළිදරව් වී ඇති කාරණයකි.

‘ඇවන්ගාඞ්’ පිළිබඳ කෙරෙන පරීක්ෂණ ක්ෂේත‍්‍රයටත් මේ වන විට එම මුදල් යෙදැවී ඇත්ද යන්න ආණ්ඩුව අසීරුතාවකට පත් කරන්නකි. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලීසිය අලස වීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අක‍්‍රීයත්වය පිළිබඳ අඳෝනා නැගීම, මේ රටේ ප‍්‍රශ්න යට ගැසෙන සුපුරුදු මාදිලියයි. සිදු වුණා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ පරීක්ෂණ සහාය ලබා ගන්නවා යැයි කියන ආණ්ඩුව, මහ පරිමාණ ¥ෂණ සම්බන්ධයෙන් විභාග කර බැලීම සඳහාත් එවැනි විදේශීය පරීක්ෂණ සහාය ලබා නොගන්නේ මන්දැයි සමහරු ප‍්‍රශ්න කරති. මේවාට අදාළ නඩු විභාග කඩිනම් කිරීම සඳහා ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා’ නීතිය වැනි සංශෝධිත නීතිරීති ඇති කරගත යුතු බව තවත් අය යෝජනා කරති.

මෑත කාලයේ මහ පරිමාණ සොරුන් සහ තක්කඞීන් ගැන, ජනාධිපතිවරණය අවසන් වීමෙන් ආසන්න සමයේ ජනවාරි 25 වැනි දා කතුවැකියෙන් අප මෙසේ කියා තිබේ: ‘‘අපරාධකරුවන්ට කිරීමට ඇත්තේ, කුණාටුව පහ වන තෙක් නිශ්ශබ්දව සිටීමයි. ඒ කාලය තුළ, අළුත් ආණ්ඩුවේ ලොකු තැන්වලට කිට්ටු වීමේ ක‍්‍රම සහ විධි ගැන සොයා බැලිය හැකිය.’’ දැන් ඔවුන් සත්තකින්ම සාර්ථකත්වයක් අත්කරගෙන ඇත්තේ ඒ අංශයෙනි. උදාහරණයක් වශයෙන්, මේ සතියේ ජනාධිපතිවරයාගේ තායිලන්ත රාජ්‍ය සංචාරයට සහභාගී වූ නියෝජිත කණ්ඩායම දෙස බලන්න. ‘හොරගෙඩි ගැලරිය’ නොවුණත්, මේ ව්‍යාපාරිකයන් වනාහී,  ඕනෑම ආණ්ඩුවක් සමග ‘ජාවාරමට’ දක්ෂ පිරිසකි. අද සිදුවන අත යට ගණුදෙනු ගැන කතා බොහොමයකි. ඒවා, ‘ඇවන්ගාඞ්’ සිද්ධියට පමණක් සීමා නොවේ.

මුදල් ඇමතිවරයා විපක්ෂයේ සිටියදී කීවේ තමන් බලයට ආ විට, හාල්මැස්සන් නොව, මෝරුන් අල්ලා ගන්නා බවයි. දැන් ජාතික ආණ්ඩුව තුළ එවැනි මෝරුන් වාඩි වී සිටිනු ඔහුට පෙනේ. එවැනි දේශපාලඥයන් වට කරගෙන සිටින ව්‍යපාරිකයන්ට තමන්ගේ ‘කාර්ය සාධනය’ සඳහා ගත වී ඇත්තේ මාස දහයක් වැනි කෙටි කාලයකි.

තමන් අවට සිදුවන දේවල් ගැන ජාතික ආණ්ඩුවේ නායකත්වය නොදන්නවා නොවේ. එහෙත් ව්‍යුහාත්මකව පැලපදියම් වූ අන්ත දූෂිත ක‍්‍රමයක් එක රැුයකින් අවසන් කළ නොහේ. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමතා මෑතකදී අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශය, මේ තත්වය සම්බන්ධයෙන් ඔහු තුළ පවතින අතෘප්තිය කියාපායි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෑතකදී පත්කරන ලද සභාපතිවරයාගේ සිද්ධිය ගන්න. මොහු, එම අමාත්‍යාංශය භාර ඇමතිවරයාගේ සහෝදරයා ය. ඒ වනාහී, ඥාති සංග‍්‍රහයට කියාපු නිදර්ශනයකි. දූෂණයට අමතරව, මේ ඥාති සංග‍්‍රහය පිළිබඳවත් වත්මන් නායකයන් එදා පැවති රජයට දෝෂාරෝපණය කළ බව අපට මතක ය. එම තත්වය වෙනස් කරන බවට ඔවුහු ජනතාවට එදා පොරොන්දු වූහ.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ සැණින් වර්තමාන නායකයන් නිවැරදිවම රටට කීවේ, රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට, ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් සමන්විත මණ්ඩලයකින් පුද්ගලයන් තෝරා ගැනෙන බවයි. එම තෝරා ගැනීම් ‘විද්‍යාත්ම පදනමක්’ මත සිදු කරන බවයි. ඉහත කී වරාය අධිකාරියේ සභාපති පත්කෙරුණේ මොන ‘විද්‍යාත්මක පදනමකින්’ ද? ජනාධිපතිවරයා සමග තමාට පෞද්ගලික සම්බන්ධතාවක් ඇති බව එම ඇමතිවරයා කියයි. ඔහු, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට සමීප ඇගේ හිතෛශී දේශපාලඥයන් කිහිප දෙනාගෙන් කෙනෙකි. ඇය, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප‍්‍රමුඛ, වර්තමාන යහපාලන ආණ්ඩුව ගෙන යන ‘ශුද්ධ වූ ත‍්‍රිත්වයේ’ කෙනෙකි. ඉහත කී ඇමතිවරයා, අගමැතිවරයාගේ පක්ෂයේ ඇමතිවරයෙකි. එසේ තිබියදී, ‘ශුද්ධ වූ ත‍්‍රිත්වයේ’ තිදෙනාට, ඉහත කී සභාපතිවරයා පත්කිරීම යුක්ති සහගත කළ හැකි තර්කයක් තිබේද? එවැන්නක් තිබිය නොහැක. මන්ද යත්, ඒ වනාහී, ඔවුන්ව නිර්දය විවේචනයට ලක්කොට පෙරලා දැමූ, හිටපු රාජපක්ෂ පාලනයේ පොතෙන්ම ඉරා ගත් පිටුවකට සාක්ෂියක් වන බැවිනි.

ආණ්ඩුව පිළිබඳ ඉච්ඡුා භංගත්වය දිනෙන් දින වැඩෙමින් තිබේ. ඒ තරමට සුවිශාල අපේක්ෂාවක් ජනතාව තුළ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු බැවිනි. සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය ඇමතිවරයා කතා කළ පාරදෘෂ්‍ය භාවය සහ වගවීම මෙයද? එය, කොණ්ඬේ බැඳපු චීන්නුන්ට කිව යුතු කතාවකි.

2015 නොවැම්බර් 08 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ  කතුවැකියේ සිංහල පරිවර්තනය
                                   ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *