දුෂණ විශාල බව දන්නා නමුත් කෙළවරක් නොපෙනේ- ජේ්‍යෂ්ට නීතීඥ ජේ. සී. වැලිඅමුණ අපිට දූෂණ විරෝධි සංස්කෘතියක් නෑ

පෙබරවාරි

14

10:45 පෙ.ව.

admin

අප රටේ මිට පෙර ද දූෂණ වංචා සිදුවී තිබෙන්නේ වී නමුත් දැනට උසාවිවලට ඉදිරිපත් වී ඇති සහ ඉදිරිපත්විමට නියමිත නඩු දෙස බැලීමේ දී රාජපක්ෂ පාලන යුගයේ සිදු වූ දූෂණ වංචා කිසියම් ප්‍රමාණයකට පෙර යුගවල සිදුවූ දුෂණ වංචාවන්ට වඩා වෙනසක් දක්නට ඇත. මීට පෙර රාජ්‍ය ග්‍රහණයක් ලංකාවේ තිබුණේ නැත. රාජ්‍ය ග්‍රහණය යනුවෙන් හඳුන්වන්නේ රජයේ සියලු ආයතන, පුද්ගලික අංශය, නීති ක්‍රියාත්මක කරන සියලු අංශ එක කණ්ඩායමක් විසින් ග්‍රහණය කරගෙන හිටපු යුගයක් මීට පෙර නොතිබීම ය. ඒ නිසා මේ දූෂණ රාජ්‍ය පාලනය තුළම සිදුවූ හෙයින් වෙනත් ස්වරූපයක් ගෙන තිබුණි. ඒ ස්වරූපය වගේ ම රාජ්‍ය යන්ත්‍රණය ග්‍රහණයකර ගැනීම, දේශපාලනමය වශයෙන් ඉතා සියුම් ව හැමතැනටම විහිදිලා ගිය හස්තයකුත් සමගයි මේ රාජපක්ෂ යුගය අපිට දකින්නට පුළුවන් වෙන්නේ. දුෂණ පිළිබඳ බලනවිටත්, ඒ දුෂණවලත්, ඒ ඒ දුෂණ සිදුවූ වූ ආකාරයත්, දැන් දූෂණ හොයනකොට ඊට තිබෙන අභියෝගත් ඒකටම සම්බන්ධය. ඒ වගේම මේ දූෂණ පිළිබඳව දේශපාලන වේදිකාවේ නැගූ හඬට වඩා සෑහෙන්නට යමක් දැන් උසාවිවලට වාර්තා වී තිබේ පොලිසියෙන් උසාවියට වාර්තා වූ කරුණු අනුව දකින්න තිබෙන්නේ මහාපරිමාණ දූෂණ රාශියකි. රාජ්‍ය යන්ත්‍රණයට, රටේ ආර්ථිකයට හා සමාජයට බලපාන දේවල් පිලිබඳ අතිවිශාල සංකීර්ණ දූෂණ ගොඩක් මේ තුළ තිබේ. මේ දූෂණ හා සම්බන්ධ නඩුවලට අනුව එක කණ්ඩායමක් වටේ තමයි මේ දූෂණ කැරකෙන්නේ. ඒ කණ්ඩායමට රාජපක්ෂවරු පමණක් නොව ඒ කාලයේ අපි දැනගෙන සිටි හා නොසිටි යම් කණ්ඩායම් ද මේ හැම නඩුවකටම වගේ යම්කිසි ආකාරයකට සම්බන්ධ බවටයි දැනට ඇති තොරතුරු අනුව පෙනෙන්නේ. ඒ වගේම එම දූෂණවල ප්‍රමාණය අතිවිශාල බව අපි දන්නා නමුත් එය කෙලවරක් දකින්නට බැරිතරම් විශාලය. වෙන කාලවල තිබුණු දූෂණයන්ට වඩා මේ දූෂණ ඒ ආකාරයෙන් ද වෙනස් ය.

දේශපාලනික ආවරණයක් ඇතිව වර්ධනය වූ මෙවැනි දූෂණයන්ට එරෙහිව විමර්ෂණය කරනවිට ඇතිවන නීතිමය බාධාවන් ගැන අමුතුවෙන් සඳහන් කළයුතු නැත. මා සඳහන් කළ ආකාරයට මෙය රාජ්‍ය ග්‍රහණයක් තුළ සිදුවීම පළමුවැන්න ය. රාජ්‍ය ග්‍රහණයක් වූ විට මේ රාජ්‍ය යන්ත්‍රණයේ වැදගත් හැම තැනකම වාගේ බොහෝවිට සිටින්නේ ඒ ආකාරයේ පුද්ගලයින් ය. නීතිය ක්‍රියාත්මක කරන අංශවලටත් එය පොදු ය. එය ව්‍යාතිරේකයක් වෙන්නට කිසිම ඉඩක් නැත. ඒ නිසා මේ රාජ්‍ය ආයතන වලින් තොරතුරු ලබාගැනීම දී සහ නීති ක්‍රියාත්මක කරන අංශ ඒවා සොයාගැනීමට යෑමේ දී සැහෙන අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවේ. ඒ අභියෝගය ජයගන්නට ඒ අනුව සෑහෙන කාලයක් ගන්නට පුලුවන. මම හිතන්නේ ඒ අභියෝගයට මුහුණදිම සඳහා සෑහෙන පියවර දැනටමත් අරගෙන තිබේ. විශේෂයෙන්ම එෆ්සිඅයිඩිය හැදීම වගේ දේවල් ගත්තාම මේ බව හොඳින් අවබෝධකර ගැනීමට පුළුවන. එෆ්සිඅයිඩිය හැදීමේ දී සුවිශේෂව දක්ෂතාවයක් දැක් වූ සහ ඒ වගේම මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ෂණය කළ ලංකාව පුරාම විසිරි සිටි පොලිස් නිලධාරින් පොලිස්පතිවරයා විසින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි මේකට බඳවා ගත්තේ. එතකොට අර රාජ්‍ය ග්‍රහණයේ සිටි කට්ටිය නොවේ මෙතන ඉන්නේ. සීඅයිඩි එක උනත් මේ පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමේ දී පෙනෙන්නේ, එය ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ග්‍රහණයෙන් නිදහස්ව ය. අල්ලස් කොමිසම නැවත ප්‍රතිනිර්මාණය කරනු ලැබුවේ ය. අලුතෙන් කොමසාරිස්වරු පත්කලේ ය. ඒ වගේම පොලිස් නිලධාරිනුත්, විමර්ෂණ නිලධාරිනුත් අලුතෙන් ඇතුලත් කරගෙන තිබේ. ඔය සඳහන් කළ වෙනස්කම් ඇතිකර ගන්නත් අවුරුද්දකට වැඩිය කාලයක් ගත වී තිබේ. ඒක නිසාම වෙනත් විමර්ෂණවලට වඩා වැඩි කාලයක් මේ විමර්ෂණවලට ගතවෙන්නට පුළුවන.

ඒ වගේම නොයෙකුත් අවස්ථාවන්වල දී රාජ්‍ය නිලධාරින් තුළ මේ පරික්ෂණ නිසා කළකිරීමක් ඇතිවෙන්නට ද පුලුවන. අපි නිතරම ප්‍රශ්න කෙරන හෙයින් අපි කොහොමද වැඩ කරන්නේ යනාදි ලෙස ප්‍රශ්න ඔවුන්ට මතුවෙන්නට පුළුවන. සමහරවිට දූෂණවලටත් පාරිශවයන් වී සිටින ඔවුන් පුරුදුවෙලා තිබුනේ දේශපාලන අධිකාරිය කියන හැමදෙයක්ම කිරීමට ය. එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම රජයේ සේවයේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයකි. රාජපක්ෂ පාලනයට පෙර කාලයේ රජයේ සේවය ඔය තරම් දුරට බාල්දු වී නොතිබුණි. ඒ කියන්නේ, දුරකථන පණිවිඩයකට දූෂණයකට අත්සන් කරන යුගයකි අපිට තිබුනේ. ටෙන්ඩරයක් වෙන්නට පුළුවන්, යම් ගෙවීමක් වෙන්න පුළුවන්. ඒ අය මේවා කළේ බයට වෙන්නට පුළුවන. ඒ අයට වාසි ලැබුණා වෙන්නට පුලුවන. නොදැන වෙන්නට පුලුවන. එහෙත් මේ හැම එකකට ම ඒ අය අත්සන් කළ හ. දැන් මේ විමර්ෂණය කරන විට රජයේ සේවකයා ප්‍රශ්න කරන එක අනිවාර්ය දෙයකි. ඒ නිසා මම හිතන්නේ රජයේ සේවකයින්ගෙන් උනත් ඒ පිලිබඳව ලැබෙන සහයෝගය ඔවුන් ලබාදෙන්නේ අපිට දැන් මොනවත් කරන්න බෑ කියන පදනමකිනි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පාලනය තුළ සිටි රජයේ සේවකයා අද කල්පනා කරන්නේ ඒ කාලයේ කවුරුත් ප්‍රශ්න කළේ නෑ නේ, ඒ වගේ මේකත් කරන්න බැරිද වගේ අදහසක් ඒ අයතුළ තිබේ. ඒ ගණුදෙනු වලින් ඔවුන්ට යමක් නොලැබුණා වෙන්නට පුළුවන. නමුත් ඒක තමයි සංස්කෘතිය. ඒ කාලයේ ඒක අත්සන් නොකළා නම් ඔවුන්ට වෙනත් ප්‍රතිඵල අත්වන්නට ඉඩ තිබුණි. එහෙම ගත්තාම මේවා පිලිබඳව අපිට දූෂණ විරෝධි සංස්කෘතියක් නැති නිසා වෙන බලපෑමකුත් මෙතන තිබේ.

අනික් පැත්තෙන් ගත්තාම මේවා පිලිබඳ වාර්තාකරණය ද වැදගත් ය. මේ ගැන වාර්තාකරණය කියන්නේ, දැන් සාක්ෂිකාරයෙක් සිඅයිඩියට හෝ අල්ලස් කොමිසමට කැඳවුවහොත් පින්තුරයත් සමග ඒක වාර්තා වන්නේ ඒ පුද්ගලයා හොරෙක් යන අදහස ඇතිවන ආකාරයට ය. සාක්ෂියට කැඳවනවා යනුවෙන් කියන්නේ නැත. ප්‍රවෘත්තියේ වැදගත්කම මතුකරන්නට එසේ කිරීම මේ විමර්ෂණයන්ට ඉතා හානිකර ය. සමහරවිට බී වාර්තා බලනවිට ඒ වාර්තා කරන්නේ සමහර විට බාගෙට ය. බොහෝ වෙලාවට මේ වාර්තා කරණය තුළ තොරතුරු දෙන තැනැත්තා ආරක්ෂා වෙන්නට අවශ්‍ය ය. චූදිතයාගේ ආරක්ෂා නැති වූවත් තොරතුරු දෙන්නා ආරක්ෂා වියයුතු ය. මේවාට සම්බන්ධ පාතාලයේ අය ඉන්නට පුලුවන. සැහෙන සල්ලි තියෙන මිනිස්සු ඉන්නට පුළුවන. රාජපක්ෂලාට තවම ආණ්ඩුවට වඩා සල්ලි තිබෙන තිබේ. එවා පාවිච්චි වෙන්නට පුළුවන. මේ පසුබිම තුළ තොරතුරු දුන් අයගේ නම්ගම් උසාවියට දෙනබව ඇත්ත ය. නමුත් ඒවා පත්තර වල වාර්තාවෙන විට ඒවාගෙන් විමර්ෂණවලට සෑහෙන බලපෑමක් වේ. මෙවැනි දේ නිසා මිනිස්සුන් ඉස්සරහාට එන්නට අකැමැති වෙන්නට පුළුවන. අනික් අතින් ගත් කළ පොලිස් නිලධාරීන් දැන් තමයි ක්‍රමක්‍රමයෙන් මේ බරපතල මූල්‍ය විමර්ෂණ කරන්නේ. ඉස්සර බරපතල ත්‍රස්ත විමර්ෂණ කළ බව ඇත්ත ය. මූල්‍ය විමර්ෂණ එයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ය. මූල්‍ය විමර්ෂණවලට ලෝකයේ අනිකුත් රටවල වගේ අපේ රටේ පොලීසිය ඇතුලේ ගණකාධිකරණ කටයුතු දන්න අය, විදේශ ගණුදෙනු ගැන විශේෂඥ දැනුම ඇති අය මෙන්ම පොලීසියේ නීතිඥවරු ද ,බැංකුකරුවෝ ද නැත. ඒ වගේ ගත්තාම පොලිසියේ නිලධාරින් මේ විමර්ශන කරන්නේ තාක්ෂණමය වශයෙන් බොහෝම දුර්වල තැනක සිට ය. එසේ වූවත් මේ අවුරුදු එකක පමණ කාලය තුළ ගතහොත් අපේ පොලිස් නිලධාරීන් ඉතාම ක්‍රමාණුකූළව සීග්‍රයෙන් මේ තාක්ෂණය අල්ලා ගන්නා බවට හොදටම විශ්වාසය. විශේෂයෙන්ම සීඑස්එන් ගණුදෙනුව පිළිබඳ විමර්ෂණය බැලුවාම ඒක හොදින් පෙනේ. තාක්ෂණික දැනුම අඩුවූවත්, ලංකාවේ පොලිසියට මේ වාගේ දෙයක් කරන්නට හැකිවීම පිළිබඳව ගෞරවයක් ලැබිය යුතු ය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *