ජාතිකවාදය යුක්තිසහගත කර ගැනීමේ ප්‍රගතිශීලී වාගාලාප – දේවක ගුණවර්ධන

දෙසැම්බර්

13

1:11 ප.ව.

admin

මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, “මහින්දගේ අරුත” මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම පිළිබඳ ප්‍රශ්නය වටා ය. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ප්‍රගතිශීලී විකල්පය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම වන බවට ඇතැමුන් තුළ පවතින නිරන්තර විශ්වාසයට ආමන්ත්‍රණය කිරීම, එම සංවාදයේදී මතු වු කරුණු අනුව සළකන කළ, වැදගත් වෙයි. විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි පැරණි වමේ නායකත්වය, රාජපක්ෂ අධිපති තන්ත්‍රය යුක්ති සහගත කිරීම සඳහා තවමත් පිටස්තර ඔපයක් ඊට සපයයි. මේ රචනාව පුරා පැරණි වම යන යෙදුම මා පොදුවේ පාවිච්චි කරන අතර, එම කණ්ඩායමේ මතය සමග එකඟ නොවන වැදගත් විසම්මුතික ධාරාවක්, විශේෂයෙන් ‘වමේ කේන්ද්‍රය’ වැනි කණ්ඩායමක් පවතින බවත් මතක් කර දිය යුතුව තිබේ.

රාජපක්ෂ අධිකාරී පාලන තන්ත්‍රය මොන විදිහකින්වත් ධනපති-විරෝධී නොවන මුත්, පැරණි වමේ නායකත්වය තවමත් එක්සත් ජාතික පක්ෂය කොම්ප්‍රදෝරු ධනපති පංතිය සමගත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය ධනපති පංතිය සමගත් අනන්‍ය කර ගත් ඒ පැරණි වෙනසම අවධාරණය කරයි. ඊට අමතරව, රාජපක්ෂ තන්ත්‍රය බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව පෙනී සිටි බවත්, මේ පිරිස පෙන්වා දෙති. පැරණි වමේ පක්ෂ, සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව පවා, රාජපක්ෂ තන්ත්‍රය සමග දීගයේ සිටීමට පාවිච්චියට ගන්නේ මෙම තර්කයි. අද ‘ඒකාබද්ධ විපක්ෂය’ වශයෙන් හඳූනා ගන්නා කොටස්ද අයත් වන්නේ මේ කාණ්ඩයටයි.

රාජපක්ෂ තන්ත්‍රය තවදුරටත් බලයේ නැති වෙතත්, රාජපක්ෂ සඳහා වන සහයෝගයත්, රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන බුද්ධිමය යුක්ති සහගත කිරීමත් ගැන සළකා බැලීම වටනේය. ඔවුන්ගේ තර්කය පදනම් වන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකිනෙකාගෙන් වෙනස් දේශපාලනික සුසමාදර්ශයන් නියෝජනය කරන්නේය යන විශ්වාසය මතයි. එහෙත් සත්‍යය වන්නේ, ආර්ථික ලිබරල්කරණය වැනි ක්ෂේත්‍ර ගණනාවක් අරා එම පක්ෂ දෙකම සිටින්නේ එකම පුළුල් එකඟත්වයක බවයි. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් විට, රාජපක්ෂ නායකත්වය සැපයූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාචිකව චීන හිතවාදී වූ අතරේම මුළු ලෝකයෙන්ම ආයෝජකයන් ගෙන්වා ගැනීමට ප්‍රිය කෙළේය. මේ අතර වර්තමාන ආණ්ඩුව, ලෝක වෙළඳ පොළට ඇතුළු වීමේ අවකාශය සාදර අනුග්‍රහයෙන් පිළිගැනීමේ නව නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මේ අතර මහජනතාව සමස්ත දේශපාලන පැලැන්තිය සමගම කළකිරී සිටිති. දූෂණය පිළිබඳ පටු ක්ෂේත්‍රයක් ඔස්සේ අද එය ප්‍රකාශයට පත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ කණ්ඩායම සහ සිංහල ජාතිකවාදීන් සමග වන සන්ධානය සාධාරණීකරණය සඳහා මතුරන ප්‍රගතිශීලී වාගාලාපවලට එය බාධකයක් වී නැත.

මීට ප්‍රතිචාර දැක්වීමේදී, ඉතාලි ජාතික මාක්ස්වාදී අන්තෝනියෝ ග්‍රාම්ෂි හැඳින්වූ ජාතික-ජනතාවාදී කඳවුර නිර්මාණය කර ගැනීම සඳහා අපේ වම යොදා ගන්නා උපාය මාර්ගය දෙස අවධානය යොමු කිරීම වටී. පැරණි වමේ ස්ථාවරය වන්නේ, ප්‍රගතිශීලී බලවේග සිංහල ජාතිකවාදීන් සමග ගොඩනගා ගන්නා උපායික සන්ධානයන් හරහා, බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව රාජපක්ෂට සහයෝගය දැක්විය යුතු බවයි. මේ සඳහා ඔවුහූ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වාගාලාප එහෙන් මෙහෙන් සේවයට ගනිති. එහෙත්, වම විසින් සමාජවාදය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔවුහූ මගහරිති. මීට ප්‍රතිපක්ෂව, ධනපති සමාජය තුළ රාජ්‍යය විසින් බලය නඩත්තු කරන්නේ කෙසේද යන්න ග්‍රාම්ෂි විග්‍රහ කරයි. ග්‍රාම්ෂිගේ එම චින්තය, මොන විදිහකින්වත්, කිසිම ආකාරයක ජාතිකවාදී පදනමක් මත බලය ස්ථාපනය කර ගැනීමක් යුක්ති සහගත නොකරයි. ඒ වෙනුවට ඔහු කෙළේ, 19 වැනි සියවසේ ඉතාලිය එක්සත් කිරීම දෙසට යොමු වූ පියවරයන්ද ඇතුළත්, පංති අරගලය සඳහා වන ඓතිහාසික පූර්ව-කොන්දේසි විග්‍රහ කිරීමයි.

කම්කරු පංති අරගලය රාජ්‍යය විසින් හැඩගස්වනු ලබන ආකාරය ගැන සැලකිල්ල යොමු කරනවා වෙනුවට, ඒකාධිපති ‘රාජාණ්ඩු’ මාදිලියක් මත පරායත්ත වීමට පැරණි වම බොහෝ විට කැමැත්තක් දක්වයි. ග්‍රාම්ෂි ද, ඔහුට කලින් මාක්ස් ද, මෙය දැඩි විවේචනයට ලක්කොට තිබේ. රාජපක්ෂ තන්ත්‍රය ජනතාව නියෝජනය කරති යි පැරණි වම්මු කියති. එහෙත් සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසුව පවා එම තන්ත්‍රය මගින්, සමාජයේ කොන් වූ වාර්ගික කණ්ඩායම් සහ ජනතා විරෝධතා මර්දනය කිරීමේ ඉතිහාසය කියාපාන්නේ ඊට වෙනස් කතාවකි. ඒ අනුව, පැවති අධිකාරීවාදී පාලන තන්ත්‍රය යුක්ති සහගත කිරීමේ ප්‍රගතිශීලී අවකාශයක් අද ඉතිරිව නැත. ඊටත් වඩා, වම විසින් සිංහල ජාතිකවාදය විවේචනය කළ යුතු අතර ඒ අරභයා වන ඔවුන්ගේ අතීත පීලි පැනීමේ ඉතිහාසය සැලකිල්ලට ගත යුතුව තිබේ.

‘විරෝධය සාමූහිකය’ විසින් සංවිධානය කරන ලද එම සංවාදයේදී මතු වු කරුණු සැලකිල්ලට ගනිමින්, පංති ක්‍රමය, රාජ්‍යය සහ ජාත්‍යන්තර සම්බන්ධතා ආශ්‍රයෙන් ඇති වී තිබෙන වෙනස්කම් තුළ ඉහත කී ගැටළු නියෝජනය වන ආකාරය පිළිබඳ කෙටි සටහනක් තැබීමට මම කැමැත්තෙමි. අන්තිමට, පංති විග්‍රහයක් තුළින් සමාජවාදය සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද යන පැනය වෙන යළිත් වරක් වම ගමන් කළ යුතු ආකාරයට අදාළ වැඩපිළිවෙලකින් මෙය සමාප්ත කරමි.

වමේ විග්‍රහය යාවත්කාලීන කිරීම

ප්‍රථම ගැටළුව වන්නේ, පවතින ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ පවතින පංති පිළිබඳ යථා විග්‍රහයක් කර ගැනීමට පැරණි වම අපොහොසත් වීමයි. ඔවුන් තවමත් රැඳෙන්නේ යල්පැන ගිය, කොම්ප්‍රදෝරු සහ ජාතික ධනපති පංති අතර එවක පැවති පැරණි වෙනස මතයි. එම තර්කයට අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ, බටහිර සමග බැඳුණු වෙළඳ අවශ්‍යතාවන් ය. අනිත් අතට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ, විවිධ සහනාධාර සහ රාජ්‍ය අනුග්‍රහය ලත් කාර්මීකරණ වැඩ පිළිවෙළක් ඔස්සේ ගෝලීය වෙළඳ බලවේගවලින් ඓතිහාසිකව ආරක්ෂා කෙරුණු දේශීය ව්‍යාපාරිකයන් සහ සෙසු කණ්ඩායම් ය. මේ විග්‍රහය, 1950 දශකයේ සිට 1970 දශකය දක්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ බලය හෙබැවූ කාලයට අදාළ විය හැකිව තිබුණි. අද ප්‍රශ්නය වන්නේ, ආර්ථික ලිබරල්කරණයෙන් දශක ගණනකින් පසුවත්, ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුළට ශ්‍රී ලංකාව සෑහෙන දුරට අන්තර්ග්‍රහණය කරගෙන තිබීමෙන් පසුවත්, මේ සුසමාදර්ශය තවදුරටත් අදාළ වන්නේද යන්නයි. ශ්‍රී ලාංකීය ධනපතීන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුළ සිටින ඔවුන්ගේ නියෝජිතයන් අතරේ මෙවැනි වෙනසක් තවදුරටත් සත්තකින්ම අපට දැකිය හැකිද?

පැරණි වම මේ ප්‍රශ්නය මගහැර යන නිසා, දෙවැනි ප්‍රශ්නයක් ද අප ඉදිරියේ මතු වෙයි. එනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ධනේශ්වර පක්ෂයක් සමග, සමාජවාදය පිළිබඳ කිසි පැහැදිළි දැක්මකින් හෝ සමාජවාදය අත්පත් කර ගැනීමේ නිශ්චිත වැඩ පිළිවෙළකින් තොරව, කම්කරු පංතිය සන්ධානගත විය යුතු බවට ඇති කරගෙන තිබෙන මතයයි. දේශපාලනික අනුග්‍රහ සහ වරදාන යටතේ ක්‍රියාත්මක වන පෘථුල ජාලයක් හරහා බෙදා හැරෙන රාජපක්ෂගේ ජනප්‍රිය හීල් දාන තුළින්, සාමූහික යහපත සඳහා ඔහු තුළ පවතින තැකීම පිළිබිඹු වන බවක් විශ්වාස කරමින් පැරණි වම්මු සෑහීමට පත්වෙති. එහෙත් අප අත්දුටු යථාර්ථය වන්නේ, රාජපක්ෂ අධිකාරී තන්ත්‍රය ජනතාවාදය උපයෝගී කර ගත්තේ ස්වකීය බලය තහවුරු කර ගැනීම සඳහා වන බවයි. කම්කරු පංති විරෝධතා සඳහා වන අවකාශය රාජපක්ෂ තන්ත්‍රය විසින් වසා දමන ලදි. පීඩාවට පත් අවර කණ්ඩායම් කැරලි ගසන විට රාජපක්ෂ කෙළේ ඒවා තිරශ්චීන අන්දමින් මර්දනය කිරීමයි. ඊට අමතරව, වාර්ගික සුළුතර ප්‍රජාවන් කොන් කෙරුණි. ඒ අතරේ, තමන් සිවිල් යුද්ධයෙන් පසුව ආයෝජන විශ්වාසය ගොඩනගන්නේ යැයි කී ඔහු, මහ පරිමාණ යටිතල ව්‍යාපෘති ඔසවා තබමින්, මූල්‍ය වෙළඳ පොළෙන් ලබා ගත් යෝධ ණයවල දීර්ඝ කාලීන සමාජ පිරිවැය නොතකා හැරියේය.

අවසානයේදී, රාජපක්ෂ සඳහා වන ‘ප්‍රගතිශීලී’ සහයෝගය අපව තුන්වැනි ප්‍රශ්නයක් වෙත යොමු කරවයි. එනම්, ජාතික බලවේග තව තවත් තර කරනු ලැබීමේ ප්‍රශ්නයයි. රාජපක්ෂ සහ සිංහල ජාතිකවාදීන් සමග පැරණි වම ඇති කර ගන්නා සන්ධාන අලංකෘත කරන්නේ, ජාතික-ජනතාවාදී කඳවුරක් ගොඩනැගීම සඳහා එය තීරණාත්මක වන්නේය යන තර්කයෙනි. එහෙත් යථාර්ථය වන්නේ, ජාතිකවාදය විසින් නිරතුරුවම කම්කරු පංතිය බෙදා වෙන් කොට ඇති බවයි. ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් ඉෂ්ට සිද්ධ කර ගත හැකි කඳවුරක් නිර්මාණය කර ගත හැකි වන සේ, ජාතික රාජ්‍යය පරිශ්‍රය තුළ වම ක්‍රියාත්මක විය යුතු බවට ග්‍රාම්ෂි තර්ක කෙළේය. එහෙත්, ජාතිකවාදය එවැනි කඳවුරක් වශයෙන් ඔහු අනුදැක නැත. ඇත්ත වශයෙන්ම, වාර්ගික වෙනස්කම් උලුප්පමින් කම්කරු පංතිය බිඳවීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයකට වම එකහෙලා එරෙහි විය යුතුව තිබේ. පැරණි වම, සිංහල ජාතිකවාදී රාජපක්ෂ අධිකාරී තන්ත්‍රයට සහාය දැක්වූයේ හුදෙක් එම තන්ත්‍රය බටහිර අධිරාජ්‍යවාදයට පසමිතුරු ය යන තර්කය ඔස්සේ ය.

ගෝලීය ක්‍රමය තුළ වර්තමානයේ පවතින අර්බුදය සහ ට්‍රම්ප්වාදයේ නව සම්ප්‍රාප්තිය ඇතුළු ලෝක බල තුලනයේ වර්තමාන වෙනස, ඉහත කී පර්යාදර්ශය තුළ සැලකිල්ලට නොගැනේ. බොහෝ රටවල මේ වන විට, ජාතිකවාදය මුල් අදිමින් තිබේ. ලිබරල් අධිරාජ්‍යවාදයට එරෙහි විය යුතු මුත්, එය, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන අධිකාරීවාදී පාලන තන්ත්‍රයන් අනුමත කිරීම සඳහා වමට හේතුවක් විය යුතු නැත. මේ සඳහා ඉතා පැහැදිළි නිදර්ශනය සැපයෙන්නේ රාජපක්ෂ තන්ත්‍රයෙනි. ඔවුන් ජාතික ආරක්ෂක යාන්ත්‍රණය තවත් තර කරමින්, ඉස්ලාම් භීතිකාව සහ බටහිර ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඔජ වඩවමින් කෙළේ, අපේ සමාජයේ විසම්මුතිය සඳහා පැවති අවකාශය වසා දැමීමයි. ඊටත් වඩා කණස්සල්ල දනවන කාරණය වන්නේ, මේ පැරණි වම්මු යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය දැක්වීමට යාමේදී, මොන ආකාරයේ ජාතිකවාදයක් වුව වමට එරෙහි රතු එළියක් වශයෙන් දැකීමට අසමත් වීමයි.

වමේ සන්ධාන පිළිබඳ යළි සළකා බැලීම

සිංහල ජාතිකවාදී බලවේග සමග ලංකාවේ වම බොහෝ විට විකාර දීග ගොස් ඇත්තේ, ගොවීන් සහ කම්කරු පංතිය ඇතුළු වමේ ඡන්ද ක්ෂේත්‍රයට අදාළ ඇතැම් කොටස්වල අවශ්‍යතා වෙනුවෙන් මේ ජාතිකවාදීන් පෙනී සිටින බවට හුවා දැක්වෙන නිරූපණයන්ට වසඟ වීම නිසා ය. පැරණි වම ප්‍රතිගාමී බලවේග සමග තමන්ගේ සන්ධානයන් යුක්ති සහගත කර ගන්නේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ එකී රැස් ප්‍රභාව තුළ සිටිමිනි. ශ්‍රී ලංකාව වනාහී, බටහිර අධිරාජ්‍යවාදී ප්‍රහාරයට මුහුණදෙන කුඩා දූපතක් බව ඔවුන්ගේ තර්කයයි. මීට ප්‍රතිපක්ෂව, ග්‍රාම්ෂි සිය විග්‍රහය සඳහා විවිධ ස්ථර කිහිපයක් ගෙනහැර පෑවේය: (1) පංති අරගලය (2) රාජ්‍යය සහ සමාජය අතර සම්බන්ධතාව (3) ජාත්‍යන්තර සම්බන්ධතා පද්ධතිය යනුවෙනි. ඉහත කී අවසාන සාධකය කෙරෙහි පිස්සුවෙන්, කම්කරු පංතියේ බල තුලනය සහ රාජ්‍යය සමග එම කම්කරු පංතියේ ගැටුම නොතකා හැරීම තුළින් ගොඩනැගෙන භයානක විශ්වාසය වන්නේ, යම් අධිකාරීවාදී පාලන තන්ත්‍රයක් තමන් බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක නිරත වන බව කියන තාක් කල් එම දේශීය අධිකාරීවාදී පාලන තන්ත්‍රයන්ට සහයෝගය දැක්විය යුතු බවට වම එළැඹෙන නිගමනයයි. එම අධිකාරීවාදී තන්ත්‍රයන් විසින් තමන්ගේම ජනතාව තලාපෙලා දමද්දී පවා, මේ කියන පැරණි වම්මු ඉහත කී ස්ථාවරය වෙනස් නොකරති.

ජාතිකවාදී බලවේග සමග පොදු එකඟතාවකට පැමිණීම අරභයා වම දරණ වියදම සත්තකින්ම අධිකතර ය. එම බලවේග බලය ලත් සැණින් කරන්නේ, විසම්මුතිය සඳහා පවතින අවකාශය වසා දැමීමයි. සාධාරණ සහ යුක්ති සහගත සමාජයක් සාධනය කර ගැනීමේ වමේ ප්‍රයත්නයම එයින් ලොප් වෙයි. දේශපාලන විද්‍යාඥ ජයදේව උයන්ගොඩගේ වචනවලින් කිවහොත්, මහින්ද රාජපක්ෂ ‘අධිකාරී තන්ත්‍රය හෙවත් රෙජිමය, රාජ්‍යය සමග සංයෝජනය කෙළේය’. ඔහු එම විග්‍රහය ඉදිරිපත් කරන්නේ, තුලන සහ සංවරණයේ අවශ්‍යතාව අවධාරණය කෙරෙන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යාදර්ශයකිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්, පැරණි වමේ ඇතැම් කාංසාවන් ගැන සංවේදී වෙතත්, ඔවුන් සමාජවාදී දැක්මක් අනිවාර්යෙන් අනුයන්නේ නැත. එසේ වතුදු, සුවිශේෂී ඉල්ලීම් සාධනයෙහි ලා, ප්‍රතිගාමී ජාතිකවාදීන්ට වඩා වමට සන්ධානගත විය හැකි ස්වාභාවික බලවේග වන්නේ ඔවුන් ය.

වර්තමාන ආණ්ඩුවට සහතිකයක් දීමක්, විශේෂයෙන් එහි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය සහ කම්කරු අයිතීන් කෙරෙහි බලපාන ඔවුන්ගේ විනාශකාරී යෝජනා අනුමත කිරීමක් මෙයින් ගම්‍ය කෙරෙන්නේ නැත. මින් නිතැතින්ම අදහස් කෙරෙන්නේ, රාජපක්ෂ සහ ජාතිකවාදීන් විසින් යළි බලය ඩැහැ ගනු ලැබීමට එරෙහිව සකලාකාරයෙන් සටන් වැදිය යුතු බවයි. රාජපක්ෂ අධිකාරීවාදී තන්ත්‍රයේ පරාජයෙන් දීර්ඝ කාලයක් ගත වීමෙන් අනතුරුව පවා, මේ පැරණි වම්මු තවමත් මතුරන්නේ, රාජපක්ෂ වෙනුවෙන් වන ස්වකීය සහාය යුක්ති සහගත කර ගැනෙන ‘තුන්වැනි ලෝකයේ සහෝදරත්වය’ පිළිබඳ වාගාලාපයයි. පංති විග්‍රහයකින් තොරව, කොන් කරනු ලැබ ඇති වාර්ගික ප්‍රජාවන් සමග, පීඩිත කුල සමග සහ පීඩිත ලිංගිකයන් ආදී කොටස් සමග සහෝදරත්වය ගොඩනැගෙන සමාජවාදී දැක්මකින් තොරව ඉදිරිපත් කෙරෙන එවැනි තර්ක, අන්ත ප්‍රතිගාමී වෙනවා මිස මොන විදිහකින්වත් ප්‍රගතිශීලී වන්නේ නැත.

2016 දෙසැම්බර් 10 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ
ජාතිකවාදය යුක්තිසහගත කර ගැනීමේ ප්‍රගතිශීලී වාගාලාප
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනයලංකා’ අනුග්‍රහයෙනි

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *