ජවිපෙට අවුරුදු අටකින් විසඳිය හැකි ප්‍රශ්න මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් විසඳීමට බැරි වුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

ජනවාරි

9

8:25 පෙ.ව.

admin

අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන් මා ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි.

ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. ආණ්ඩුව බොහෝ දේ කරයි. නො කරන එක දෙයක් ඇත. ඒ දේශපාලනයයි. මෙහිදී දේශපාලනය යන්නෙන් මා අදහස් කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමයි. එහිදී ආණ්ඩුවේ මාධ්‍ය වැඩපිළිවෙල ඉතා වැදගත් ය.

ආණ්ඩුව අසාර්ථක වී තිබෙන මූලික ම හේතුව ඇත්තේ මාධ්‍ය තුළයි. වර්තමාන යුගය වනාහි ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා දේශපාලනය මාධ්‍යකරණය බවට පත් වී තිබෙන යුගයකි. මාධ්‍යකරණයේ මෙම යුගයේදී සත්‍යය යනු මාධ්‍ය මගින් කරන ලබන ප්‍රබන්ධයක් බවට ම පත් වී තිබේ. එකම බොරුව පුන පුනා කීමෙන් සත්‍යයක් බවට පත් කිරීමේ ගොබෙල්ස් න්‍යාය වඩාත් හොඳින් භාවිතා වන්නේ වර්තමානයේදී ය. සත්‍යය යනු කුමක් ද යන්න ඇත්තෙන් ම වැදගත් නැත. වැදගත් වන්නේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන්නේ කුමක් ද යන්නයි.

මෙයට හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද අනු කමිටු විසින් මේ වන විට සිය වාර්තා ඉදිරිපත් කර තිබේ. ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් විමසීමට පත්කරන ලද නීතිඥ ලාල් විජේනායක කමිටුවේ වාර්තාව ද ඉදිරිපත් වී තිබේ. මෙම වාර්තා සලකා බලා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් වාර්තාවක් සකස් කළ යුතු ය. ව්‍යවස්ථා කෙටුම්පතකට පාදක වන්නේ එයයි. එහෙත් ඒ සම්බන්ධ කිසිදු කාර්යයක් සිදු වන්නේ නැත. එහෙම තිබියදීත්, බලලෝභී දේශපාලන නායකයන් ජාතිවාදය අවුළුවමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ කතා පවත්වන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුව මේ අනු කමිටු හයේ වාර්තාවල අඩංගුව ගැන මහජන සංවාදයක් ඇති කිරීමට සැලකිය යුතු වැඩකොටසක් කරන්නේ පවා නැති අතර, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙතැනින් ඉදිරියට යයි ද යන්න ද මේ මොහොත වන විට පැහැදිලි නැත. ආණ්ඩුව දේශපාලනය කරන්නේ නැතැයි මා කියන්නේ ඒ නිසා ය. පාර්ලිමේන්තුවෙන් පහළට ජනතා සහයෝගය බලමුළුගන්වන්නේ නැතිව කිසිදු අරමුණක් කරා යන්නට ආණ්ඩුවකට බැරි ය.

ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන තරමක් ප්‍රචාරය වන්නේ ආණ්ඩුවේ වැරදි ය. ආණ්ඩුව අසාර්ථක බව ය. ආණ්ඩුව රට විනාශ කරන බව ය. ආණ්ඩුව පෙරළිය යුතු බව ය. රටේ ජනාධිපතිවරයා මරා දැමිය යුතු බව නියමින් හා අනියමින් කියන ජනමාධ්‍යකරුවෝ විශේෂයෙන් සමාජ මාධ්‍යවල සිටිති. රටේ තත්වය, ආර්ථික අර්බුදය, මහජන වගකීම හා තමන්ගේ උපායමාර්ග මොනවාදැයි ජනතාවට පැහැදිලි කර දීමට ආණ්ඩුව බරපතල ලෙස අසමත් වී තිබේ. ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් විපක්ෂය ලෙස කටයුතු කරන සංදර්භයක් තුළ එහෙම වීම පුදුම විය යුතු තත්වයක් නො වේ.

එහෙත්, පසුගිය දෙවසරක කාලය තුළ මේ රටේ සිදු වූ බොහෝ යහපත් දේ තිබේ. මූලිකව ම පාර්ලිමේන්තුව ඇතුළු මහජන ආයතන හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නීති සංශෝධන ගණනාවක් පසුගිය සමයේ සිදු කෙරිණි. ඇතැම් ඒවා මේ රටේ ජනතාව ඉල්ලා සිටි ඒවා ද නො වේ. නිදසුනක් ලෙස, තොරතුරු දැනගැනීමේ හිමිකම වැනි දියුණු හිමිකමක් භුක්ති විඳීමට තරම් මේ රටේ ජනතාව දියුණු ද යන ප්‍රශ්නය මතු වේ. මේ රටේ මාධ්‍ය හා දේශපාලකයන් ආණ්ඩුවේ ප්‍රජාතාන්ත්‍රික භාවිතාවන් ජනතාවට හඳුන්වා දෙන්නේ කොන්ද පණ නැතිකම් ලෙස ය. රටට ඒකාධිපති පාලනයක් අවශ්‍ය ය යන යල් පැන ගිය, ජයවර්ධන, ප්‍රේමදාස, රාජපක්ෂ වැනි ඒකාධිපතියන් විසින් අත්හදා බලා අසාර්ථක වූ මූලෝපාය නැවත ජනතාව වෙත ප්‍රවර්ධනය කරමින් තිබේ. එහෙත්, පසුගිය දෙවසර තුළ කිසිදු දේශපාලන ඝාතනයක් මේ රටේ සිදු නො වූ බව ද, කිසිදු මාධ්‍යකරුවකු මරා නො දැමූ බව ද අප සිහිපත් කර ගත යුතු ය. රාජ්‍ය ආයතනවල බලවත් ස්ථානවල සිටින රාජපක්ෂවාදීන්ට දේශපාලන වෙනස නිසා සැලකිය යුතු වෙනස්කමක් සිදු නො වූ අතර ඔවුන් වැඩි දෙනෙක් මේ මොහොත වන විටත් සිය බලය ආණ්ඩුව කඩාකප්පල් කිරීම සඳහා යොදා ගනිමින් සිටිති. ආණ්ඩුවේ බොහෝ වැඩසටහන් අසාර්ථක වීම පිටුපස මෙම බලවේගය සිටිති. එයට හොඳම උදාහරණය වන්නේ දූෂණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට හා දූෂිතයන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ ආකාරයයි. අවසානයේදී කෝ අපව ඇල්ලුවාදැයි ඔච්චම් කරන්නට පුළුවන් තරම් ශක්තිමත් තැනකට මේ සොරුන් පත් වී තිබේ.

යහපත් අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළු ගන්වා ගැනීමට අවශ්‍ය නායකත්වය සැපයීමේ හැකියාව මේ ආණ්ඩුවට නැත. නිදසුනක් ලෙස, 2015 අයවැය තුළ යම් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් දක්නට ලැබිණි. එම අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබිණි. ඒවා මෙසේ ය:
අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
වාහන භාවිතය අධෛර්ය කිරීම
ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම

එහෙත්, මෙම අයවැය යෝජනා හරිහැටි ක්‍රියාත්මක වූයේ නැත. නිදසුනක් ලෙස වාහන භාවිතය අධෛර්යය කිරීමට හා වාහන ආනයනය සඳහා ලබා දෙන තීරු බදු සහන අත්හිටුවීමට ගත් තීරණය ලත් තැන ම ලොප් විය. අද වන විට දේශපාලකයෝ හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු කලින් කළ පරිද්දෙන් ම තීරු බදු රහිතව වාහන ආනයනය කර විකුණා ගනිමින් දැවැන්ත පරිමාණෙන් මහජන මුදල් මංකොල්ල කති. මෙහිදී මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අධෛර්ය කිරීමට මේ සමස්ත බලවේගය ම කටයුතු කළ අතර, මධ්‍යම පංතිය මත පදනම් වන වාමාංශික පක්ෂ පවා මෙම යෝජනාව දිරිමත් කිරීම සඳහා කිසිවක් නො කර මුනිවත රැක්ක හ.

ආණ්ඩුවට ලැබුණේ අධික ණය බරකින් අසමතුලනය වූ ආර්ථිකයක් පමණක් නො වේ. දූෂිතභාවයේ, අකාර්යක්ෂමත්වයේ, දේශපාලනික ගැතිභාවයේ ආසාදනයන්ගෙන් ඉදිමුණු දැවැන්ත හොරි ගෙඩියක් වැනි දැවැන්ත රජයක් ද ආණ්ඩුවට උරුම වී තිබේ. රටේ ඵලදායී වැඩ කරන ජනතාවගේ ජීවිත මත කාලකන්නිකමේ අඳුරු සෙවණැලි පතිත වී තිබෙන්නේ මෙම දැවැන්ත රජය නඩත්තු කිරීමට ගෙවන බදු කන්දරාව නිසා ය. ලක්ෂ 15කට අධික සේවක පිරිසක් සිටින රජය වනාහි මේ රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවකගේ යැපුම් මාධ්‍යයයි. මේ රට ණය ගන්නේ, අධික ලෙස බදු අය කරන්නේ මේ රජය නඩත්තු කිරීමටයි. රජය සුබසාධන සේවා පවත්වාගෙන යන්නේ මේ රාජ්‍ය වියදම් සාධාරණීකරණය කරන්නට මිස ඇත්තට ම ජනතාවට සේවා සපයන්නට ද යන්න රාජ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයෙන් තක්සේරු කර ගත යුතු ය.

එහෙම තිබියදී, රජයෙන් යැපෙන මෙම බලවත් මධ්‍යම පංතියේ ජනතාව හා ඔවුන්ට නායකත්වය දෙන වාමාංශික පක්ෂ කතා කරන්නේ හරියට ආණ්ඩුව ණය අරගෙන ධනපති පංතියට සල්ලි බෙදා දී තිබෙන්නා සේ ය. පසුගිය දශක ගණනාවක් තිස්සේ රජය ගත් ණයවලින් හා බදුවලින් යම් තරමක් දේශපාලකයන් සොරකම් කළ බව ඇත්ත ය. එහෙත්, වැඩි ප්‍රමාණය වියදම් වුණේ රජය නඩත්තු කරන්නට ය. සුබසාධනයට වැය වුණේ ඊට වඩා අඩු ප්‍රතිශතයකි. මේ රටේ ජනතාවගේ ජීවිත කාලකණ්ණිකමට ප්‍රධාන හේතුව රජයයි. දුකට සත්‍ය හේතුව වෙනුවට ව්‍යාජ හේතු ප්‍රවර්ධනය කිරීම මධ්‍යම පංතිය මත පදනම් වූ ලංකාවේ වාමාංශික දේශපාලනයේ නිධන්ගත තත්වයකි.

මධ්‍යම පංතික වීරයන්ට ආණ්ඩු විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය. රාජපක්ෂවාදීන් ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. වර්තමාන අර්බුදය ඔඩු දිව්වේ ඔවුන්ගේ කාලය තුළයි. ලංකාවේ ධනවාදයට කේනීසියානු සුබසාධනවාදී රාජ්‍යයේ සීමා මායිම් පුපුරුවා නො හැර ඉදිරියට යන්නට බැරි ය. වෙනත් ආකාරයකින් කියනවා නම්, මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන පරිදි පෞද්ගලික අංශයට මූලිකත්වය දෙන ධනවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගැනීම හැර වෙනත් විකල්පයක් කිසිවෙකු විසින් යෝජනා කර නැත. අප මෙම මූලෝපායට සහාය දිය යුත්තේ ඒ එකකට වඩා අනෙක හොඳ නිසා නො ව, මුල් එක අසාර්ථක වී හමාර නිසා ය. එසේම දෙවෙනි එක අනිවාර්යයෙන් සාර්ථක වේ යයි කිව හැකි නිසා ද නො වේ. ලංකාවේ රජය කඩා වැටී ග්‍රීසියේ මෙන් පතුලක් නො පෙනෙන ආර්ථික අගාධයකට ඇද වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ වෙනත් විකල්පයක් කිසිවකු විසින් යෝජනා කර නැති නිසා ය.

මේ වන විට ආණ්ඩුව තුළ ඇති අභ්‍යන්තර ගැටුම් හා බැහැරින් එන ආණ්ඩු විරෝධයේ බලපෑම නිසා ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය මට්ටමේ හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. රටෙහි විපක්ෂ බලවේග විසින් නිර්මානය කරමින් තිබෙන අස්ථාවරත්වය හමුවේ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ඔස්සේ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ද සාර්ථක වන්නේ නැත. ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී පවා පසුගිය කාලයේ දැවැන්ත දූෂිත පාලනයක් ගෙන ගිය රාජපක්ෂ පවුලේ අන්තේවාසිකයන්ට හා ජනතා විමුක්ති පෙරමුණ වැනි සරළ ආණ්ඩු විරෝධය හා කඩාකප්පල්කාරිත්වය හැර අන් දෙයක් කවදාවත් කර නැති වාමාංශික පක්ෂවලට බලවත් විය හැකි තරමට ආණ්ඩුව දුර්වල වී තිබේ. මූලික හේතුව ඇත්තේ අන් තැනක නො ව, ආණ්ඩුවට ජනතාව බලමුළුගන්වා ගැනීම පිළිබඳ අවබෝධයක් නැති වීම තුළ ය.

පසුගියදා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසූ කරුණක් වූයේ තමන් බලයට පත් වී අවුරුදු හතක් අටක් ඇතුළත ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න විසඳන බවයි. තමන්ට විසඳන්නට අවුරුදු හත අටක් අවශ්‍ය ප්‍රශ්න වර්තමාන ආණ්ඩුව අවුරුදු දෙකකින් විසඳා නැති නිසා දැන් ජවිපෙ ආණ්ඩුව පෙරළිය යුතු බව කියයි.

(2017-01-08 රාවය පුවත්පතෙහි පළ වූ ලිපියකි)

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *