ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා- හිල්මි අහමඞ් මුස්ලිම් අවතැන්වූවන් පාවා දීමක්

ජනවාරි

6

8:11 ප.ව.

admin

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. (ජුනි 2015)
මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016)
මන්නාරමේ මුසාලි දකුණ ප්‍රදේශයෙන් මුස්ලිම් අවතැන්වූවන් සඳහා වෙන්කොට තිබූ ඉඩම් ආපසු පවරාගෙන වන අඩවිය ව්‍යාප්ත කළ යුතු බවට ජනාධිපති සිරිසේන නියෝග කරයි. (දෙසැම්බර් 2016)
පරිසරවාදීන් අතලොස්සක් සහ ඇතැම් මාධ්‍ය ව්‍යාපාර ඇතුළු බෞද්ධ සුළුතරයක්, වර්තමාන ජනාධිපතිවරයාගේ නියෝග ප්‍රකාරව උතුරේ මුස්ලිම් ජනතාව ‘දෙවැනි වරටත් වාර්ගික පවිත්‍රණයකට’ යටත් කොට තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයන් විසින් එළි කොට ඇතැයි 2015 ජුනි මාසයේදී ජනාධිපතිවරයා කීවේය. ඔහු කීවේ, මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පත්තු සහ මුසාලි ප්‍රදේශවලට උඩින් ගිය හෙලිකොප්ටර් චාරිකාවකදී එය තමන් ඇසින් දුටු බවකි. අද ඔහු කියන්නේ, විල්පත්තු අඩවියෙන් අඟලක්වත් මුස්ලිම් ජාතිකයන් විසින් එළි කොට නැති බවයි. එහෙත් 2013 දී මේ ප්‍රදේශයෙන් මුස්ලිම් ජාතිකයන්ට ආණ්ඩුවෙන් දෙන ලද ඉඩම් නීති විරෝධී බව කියන ඔහු, ඒ සමස්ත ප්‍රදේශය විල්පත්තුවේ රක්ෂිතයක් සේ සැළකිය යුතු බව කියයි.

අවතැන් වූ මුස්ලිම් ජනතාවට මහින්ද රාජපක්ෂගේ රජය මගින් වෙන් කරන ලද ඉඩම්වලට පැමිණීමට එම ජනතාවට ඇති අයිතිය උදුරා ගැනීමට, ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන අන්තවාදී බෞද්ධයන් සහ ඊට සහයෝගය දක්වන ඇතැම් මාධ්‍ය ආයතන කාලයක් තිස්සේ උරදෙමින් සිටී. මේ රටේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ අයිතීන් ගැන අසංවේදී ඇතැම් පරිසරවේදීන්ගේ සහයෝගයත් මොවුන්ට ලැබේ.

උතුරේ විසූ මුස්ලිම් ජනතාව එල්.ටී.ටී.ඊ, සංවිධානය විසින් 1990 දී බලහත්කාරයෙන් පිටුවහල් කිරීම තුළ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ බරපතලම වාර්ගික පවිත්‍රකරණය සිදුවිය. ඇතැම් පළාත්වල විසූ අවාසනාවන්ත මුස්ලිම් ජනතාවට තම ගම්බිම් සහ ගේදොර අතහැර යාමට ලැබුණේ පැය දෙකක් වැනි ඉතා කෙටි කාලයකි. තවත් පළාත්වල පැය විසි හතරකට අඩු කාලයකදී මේ මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් පන්නා දැමුණි. එහිදී ඔවුන්ගේ වටිනාකියන දේවල් හෝ ලිපි ලේඛන ගෙන යාමට ඔවුන්ට අවසරයක් නොවුණි. මේ ආකාරයට එදා ලක්ෂයක් මුස්ලිම් ජනතාව ඔවුන්ගේ උතුරේ ගම්බිම්වලින් පලවා හැරුණි. දකුණට සංක්‍රමණය වූ මොවුන්ට ඊළඟ වසර විසි පහක කාලය තුළ ජීවත් වන්නට සිදුවුණේ රටේ විවිධ පළාත්වල පිහිටි සරණාගත කඳවුරුවලයි.

2009 දී යුද්ධය අවසන් වීමත් සමග, තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වූ 300,000 ක් දෙමළ සරණාගතයන්ව යළි පදිංචි කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. එහෙත් 1990 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එළවා දැමූ මුස්ලිම් සරණාගතයන්ව මේ දෙමළ සරණාගතයන් සමග නැවත පදිංචි කැරැවූයේ නැත. එදා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණේ ‘මුලින් කෙනා අන්තිමට’ ප්‍රතිපත්තියයි. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ සහෝදර, ඉතා බලවත් බැසිල් රාජපක්ෂ යටතේ පැවති උතුරු කාර්ය සාධක බලකාය දින 180 ක් වැනි කෙටි කාලයක් තුළ 300,000 ක් දෙමළ සරණාගතයන්ව යළි පදිංචි කැරැවීමේ යෝධ කාර්යයට අතගැසුවේය. සමහර විට එතරම් යෝධ කර්තව්‍යයක් ලෝකයේ වෙන කිසි තැනක් සිදුව නැතිව ඇති. කෙසේ වෙතත්, 1990 සිට අවතැන්ව සිටි මුස්ලිම් ජනතාව 2013 වන තෙක්, ‘අමතක වූ ජනතාවක්’ වූහ.

2009-2013 කාලය තුළ, 1990 සිට අවතැන්ව සිටි එක මුස්ලිම් ජාතිකයෙකු හෝ යළි පදිංචි කැරැවීමට, අවතැන්වූවන් යළි පදිංචි කැරැවීම භාර අමාත්‍ය රිෂාද් බද්යුදීන්ට නොහැකි විය. ඔහුද, 1990 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරෙන් පලවා හරින ලද සහ අනතුරුව සරණාගත කදවුරුවල ජීවත් වූ මුස්ලිම් අවතැන්වූවන්ගෙන් කෙනෙකි.

මුස්ලිම් ජනතාවගෙන් සියයට 98 ක පමණ ඡන්දයකින් බලයට පත් වර්තමාන ජනාධිපතිවරයා, එම ජාතියට අයත් අවතැන් වූවන්ව මෙසේ පාවාදීම කණගාටුවකි. සමහර විට දස ලක්ෂයකට ආසන්න මුස්ලිම් ජනතාවක් ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. 2015 ජනවාරියේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මාදිලිය පෙන්වන මේ සමග ඇති සිතියම කරුණාකර බලන්න. අද බෞද්ධ අන්තවාදියෝ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගත් විවිධ ජාතිවාදී උපාමාරු ඔස්සේ ජනාධිපතිවරයාව නොමග යවා ඇත්තාහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘බොදු බල සේනාවට’ උදව් කෙළේ තිරය පසුපස සිටයි. වර්තමාන ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධියේම කරයි. ඒ, අති ගෞරවනීය මහනායක ස්වාමීන් වහන්සේලාට සහ වෙනත් ආගමික නායකයන්ට දෙන තැනම ‘බොදුබල සේනාවටත්’ දෙමිනි.

ආණ්ඩුවත්, මාධ්‍යත්, බෞද්ධ අන්තවාදීන් සහ ඇතැම් පරිසරවාදීනුත් මෙසේ මුස්ලිම් අවතැන්වූවන්ව ඉලක්ක කරන්නේ ඇයි? සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්, ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයෙකු විසින් පාලනය කළ යුත්තේ මෙසේද? ඔහුගේම වචනවලින් කිවහොත්, 2015 ජනවාරි මාසයේ පැවති ඡන්දයෙන් ඔහු පරාජය විණි නම් ඔහුට ජීවිතයත් අහිමි වනු ඇත. එසේ නම් ඔහු තම ජීවිතය ගැන පවා මුස්ලිම් ජනතාවට ණයගැති නොවේද? එසේ තිබියදී, උතුරේ අවතැන් වූ මුස්ලිම් ජාතිකයන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට අන්තවාදීන් සමග ඔහු කූට්ටාලිකම් කරන්නේ ඇයි?

උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කැරැවීම 2009 සිටම අර්බුදකාරී ප්‍රශ්නයක් විය. ආණ්ඩුව සහ ජාත්‍යන්තර ආයතන එහිදී ප්‍රමුඛත්වය දුන්නේ දෙමළ ජාතිකයන් යළි පදිංචි කැරැවීමටයි. බොහෝ දෙනා නොදන්නා මුත්, මේ කාලය තුළ, දකුණු පළාතේ සුරියවැව සහ හම්බන්තොටින් පවුල් 2860 ක් ගෙනැවිත් මෑතකාලීනම ජනපද ක්‍රමයක් තුළ යළි පදිංචි කරවන ලදි. ඔවුන්ට අක්කර 5000 කට අධික ඉඩම් ප්‍රමාණයක් සැපයුණු අතර ඒවා අලුත්ම වනාන්තර ඉඩම් විය. මොවුන්ට අවශ්‍ය කරන පාසල් සහ රෝහල් ඇතුළු යටිතල පහසුකම් සැපයුණු අතර වෙනත් ආධාරද සැපයුණි.

අවුරුදු සියයකටත් වඩා පැරණි ඔප්පු සහ ආණ්ඩුවෙන් දෙන ලද වෙනත් අවසර පත් ඇති මුස්ලිම් අවතැන්වූවන්ට එරෙහිව පරිසරවේදීන්, බෞද්ධ අන්තවාදීන් සහ ජනාධිපතිවරයා විරෝධය දක්වන අතරේ, දකුණේ හම්බන්තොටින්, සූරියවැවෙන් සහ සන්නද්ධ සේවාවන්ට අයත් සිංහල පවුල් රැගෙන විත්, විල්පත්තු රක්ෂිතයේ වැලිඔය තීරුවේ පිහිටැවූ සංවිධානාත්මක ජනපද ව්‍යාපාර තුළ පදිංචි කරවන ලදි. එසේ පදිංචි කරවන ලද සිංහල පවුල් සම්බන්ධ දැනට ඇති සංඛ්‍යා ලේඛන පහත සඳහන් වෙයි:

වේරතැන්න: පවුල් 520
බෝගස්වැව 1: පවුල් 500
බෝගස්වැව 2: පවුල් 560
නාමල්ගම: පවුල් 470
සැනලීනිගම: පවුල් 450
නන්දමිත්‍රගම: පවුල් 360

මෙසේ පදිංචි කැරැවූ කිසිවෙක් ඒ පළාතේ අය නොවෙති. විල්පත්තු ප්‍රදේශයේ පදිංචි කරවන ලද පවුල් 2860 ට, එක පවුලට අක්කර තුන බැගින් ලබා දී තිබෙන අතර, බලහත්කාරයෙන් මේ ප්‍රදේශයෙන් පලවා හරින ලද මුස්ලිම් පවුල්වලට ලැබී ඇත්තේ එක පවුලකට අක්කර භාගය බැගිනි. මේ අලුතෙන් පදිංචි කැරැවූ සිංහල පවුල් සඳහා අවශ්‍ය ඉඩම් ආවේ කොහෙන්ද? විශාල කැලෑ ප්‍රමාණයක් සහ රක්ෂිත පදාසයක් එළි කිරීමෙනි. ඒ සඳහා ඉඩම් කච්චේරි පැවැත්වූයේවත්, කැලෑ එළි කිරීම සඳහා අවශ්‍ය අවසර ලබා ගැනුණේවත් නැත. හම්බන්තොටින් පැමිණි මේ පදිංචිකරුවන්ගේ ගෙවල් තනා දුන්නේද හමුදාව විසින් යැයි කියති. එපමණක් නොවේ, මේ ප්‍රදේශයෙන්ම තවත් අක්කර 500 ක් නාවුක හමුදාව විසින් කජු වගාවක් සඳහාද පවරාගෙන තිබේ.

උතුරු පළාතේ යළි පදිංචි කැරැවීම් සඳහා වන කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ 2013 දී මුස්ලිම් අවතැන්වූවන් අර්ධ වශයෙන් පදිංචි කැරැවීම ඇරඹුවේය. 25,000 ක් වු එම මුස්ලිම් පවුල්වලින් 5000 ක් පවුල්වලට එක්කෝ නැවත ඔවුන්ගේ පැරණි ඉඩම්වලට පැමිණීමට හෝ මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලද ඉඩම්වලට පැමිණීමට එහිදී අවසර ලැබුණි. මේ මුස්ලිම් ජාතිකයන්ට 1906 තරම් ඈතට දිවෙන ඔප්පු තිබේ. ඒවා, එඞ්වඞ් රජුගේ මුද්‍රාව යටතේ නිකුත් කළ ඔප්පු ය. ජාතිවාදීන් සමග ජනාධිපතිවරයා අලුතෙන් ඇති කරගත් හැඳිනීම මත, මේ ජනතාව තමන්ගේම පැරණි ඉඩම්වල පදිංචි වීම වළකනු ලැබේ. එවිට ඔවුන් කොහේ යන්නද? 1990 දී ඔවුන්ව බලහත්කාරයෙන් පිටමං කිරීමට කලින් ජීවත් වූ ඉඩම් ඔවුන් එළි කර ගත්හ. අවුරුදු 25 ක් තිස්සේ පදිංචිව නොසිටීම නිසා ඒ ඉඩම්වල කැලෑ වැවී තිබුණු අතර ඔවුන් කෙළේ ඒවා එළි කර ගැනීමයි. ඇතැම් මාධ්‍ය ඩ්‍රෝන් කැමරා පාවිච්චි කොට අඩි 200 ක් හෝ 300 ක් අහසේ සිට රූපගත කොට ඇත්තේ එසේ එළි කළ ඉඩම් ය. මේ මාධ්‍යවේදීන් සත්‍ය තත්වය නොදන්නවා නොවේ. ඔවුන් කරන්නේ, තමන්ගේ ජාතිවාදී හාම්පුතුන් සහ අන්තවාදීන්ගේ බෙර පදේට නැටීමයි.

2012 දී, උතුරු පළාත් සභා මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, මේ ඉඩම්වලින් බොහොමයක් කැලෑ ඉඩම් වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි. මේ ඉඩම් උතුරු පළාත් සභාවේ බල සීමාව යටතට පත්වෙතැයි බිය වූ ඔවුන්, මධ්‍යම ආණ්ඩුවේ අයිතියෙන් ඒවා ඉවත් වුණොත් පළාත් සභාවට ඒවායේ හිමිකමක් ලැබෙතැයි සිතීය. කැලෑ රක්ෂිතයක් නම් එය නීතියෙන්ම අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවටයි. මෙම නිවේදනය ගැසට් කිරීමට පෙර එවැනි ඉඩම් නිර්ණයක් පිළිබඳව එම පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන්වත් දැන නොසිටි බව කියති. කෙසේ වෙතත්, මේ කැබිනට් තීරණය පාර්ලිමේන්තුවේ සම්මත කොට නැති නිසා ඊට නෛතික වලංගු භාවයක් නැති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

මුස්ලිම් අවතැන්වූවන් ඔවුන්ගේ ඉඩම්වලින් අස්වාමී කිරීම සඳහා පරිසර හේතු ගෙනහැර දක්වති. කෙසේ වෙතත්, හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධනය සඳහා අක්කර 15,000 ක් චීනයට පැවරීමට ආණ්ඩුව එකඟතාව පළ කොට තිබේ. මෙසේ පවරන ඉඩම් ජනවාස ඉඩම් නොවන බව ආණ්ඩුව කියන තත්වයක් තුළ, අලුත් කැලෑ එළි කිරීමක් සිදු නොවෙයිද? සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ මත්තල ගුවන් තොටුපොල සඳහා අක්කර කීයක් එළි කළේද? සංවර්ධනය සිදුවන්නේ රටේ පුරවැසියන් සඳහා නම්, මුලින්ම රටේ සෑම පුරවැසියෙකුටම එක සේ සැළකිය යුතු නොවේද? තමන්ගේම නිවාසවලට නැවත පැමිණීමට පුරවැසියන්ට අයිතියක් නැත්ද? පරිසර කාරණා නොතකා හැරිය යුතු බවක් මෙයින් අදහස් නොවේ. සහතික වශයෙන්ම, පරිසරය ආරක්ෂා කළ යුතුය. එහෙත් ලංකාවේ වෙසෙන පුරවැසියන්ගෙන් එක කොටසකට පමණක් බලපාන පරිදි පරිසර හේතු ගෙනහැර දැක්වීම අශෝභන ය.

මුස්ලිම් ජාතිකයන් සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කෙළේ ඔහු කෙරෙහි විශ්වාසයක් ඔවුන් තුළ තිබූ නිසා නොවේ. රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය යටතේ පිහිටුවනු ලබන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ජාතිවාදී නොවන බවට තිබු විශ්වාසයක් නිසා ය. එසේ සිතීම වැරදි විනිශ්චයක් බව අද ඔවුන්ට ඔප්පු වී තිබේ. මේ නිසා, අන්ත ජාතිවාදී ස්ථාවරයන් සමග ඇඟෑලුම් කම් පවත්වා ගැනීමෙන් තමන්ටම විනාශයක් අත්කර ගන්නා බව ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීම අගමැතිවරයාගේ වගකීමකි. එසේ කිරීමට අසමත් වෙතොත් සිදුවන්නේ තවත් අවුරුදු විස්සක් විපක්ෂයේ සිටීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවීමයි. එයින් වාසියක් ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මන්ද යත්, රාජපක්ෂ සංහතිය කෙරෙහි නැවත මුස්ලිම් ජනතාව විශ්වාසයක් තබතියි සිතිය නොහැකි නිසා ය.
2017 ජනවාරි 4 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා’: මුස්ලිම් අවතැන්වූවන් පාවා දීමක්
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *