ජනාධිපතිගේ පුදුම හදිස්සිය නව ව්‍යවස්ථාවක් ගෙනඒම වැළැක්වීමට ද? – මහින්ද රත්නායක අයවැයෙන් ක‍්‍රමෝපායික වෙනසකට අඩිතාලම්ක් !

නොවැම්බර්

23

8:49 ප.ව.

admin

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කිරීමේ යෝජනාව, පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ය. එම යෝජනාව අනුමත කළ කැබිනට් මණ්ඩලය එය අධ්‍යනයකර අදාළ  නිර්දේශයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළ හ.  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවට  ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පලවන සතිඅන්ත පුවත් පතක් වාර්තා කළේ ය.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වූයේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන පනතක් මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරවා ගැනීමට ය. වෙනත් ආකාරයට පවසන්නේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළින් සිදුවීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබේ. මේ ක‍්‍රම දෙකෙන් කුමන ආකාරයකට විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්වූවත් එය ක‍්‍රියාත්මක කෙරෙන්නේ සිරිසේන මහතාගේ වත්මන් ධූරකාලය නිමාවීමෙන් අනතුරුව ය. එසේ තිබියදීත්,  පනතක් මගින් ම විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කරවා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ඇයි ද යන්න සළකා බැලියයුතු කරුණකි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් ජනවාර්ගික ප‍්‍රශ්නයට දෙන දේශපාලන විසඳුම ද එයට ඇතුළත්විය යුතුව තිබේ. පනතක් මගින් විධායක ජනාධිපති ක‍්‍රමය  ඉවත්කරවා ගැනීමට ජනාධිපතිවරයා මහන්සි ගන්නේ දෙමළ ජනතාවට දීමට සිදුවන මේ දේශපාලන විසඳුම වළක්වා ගැනීමට ය. ජාතික හෙළ උරුමය, රතන හාමුදුරුවන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය මෙන්ම ජනාධිපතිවරයාට සමීපතමයින් 13වෙනි සංශෝධනයෙන් ඔබ්බට යන්නට කැමැත්තක් දක්වන්නේ නැත. ඔවුන්ට අනුව 13වෙනි සංශෝධනයෙන්  ඔබ්බට යෑමට උත්සාහ දැරීමට මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩු විරෝධි පොදු සන්ධානයට උඩගෙඩිදීමකි. පනතක් මගින් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කරවා ගැනීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හදිසියක් ඇතිවන්නේ හෙළ උරුමය ඇතුලූ උක්ත පිරිසේ බලපෑම නිසා බව ඉතා පැහැදිළි ය.
19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී  චම්පික රණවක ඇතුළු පිරිසගේ හැසිරීම කාටත් පැහැදිළි විය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ  නමුත් 19 වෙනි සංශෝධනය තුළ ද ඔවුන් යෝජනා කළ මිශ‍්‍ර ඡුන්ද ක‍්‍රමය තුළ ද  සිංහළ ආධිපත්‍ය රඳවා ගැනීමට දැරු තැත වසන්කළ නොහැක. එහිදි ඔවුන් ආසන 225 ඉක්මවා ගිය යෝජනාවක් ඉදිරිපත් කළ හ. ආණ්ඩුවෙන් පිට සිටින ජාතිවාදීන්ගේ තර්ජන පෙන්වා, ජාතික ප‍්‍රශ්නයට දිගුකාලීන දේශපාලන විසඳුමක් දීම වළක්වා ගන්නට ඔවුන්ට අවශ්‍යව ඇත.

හුදු පනතක් මගින් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කරවා ගැනීමට  ජනාධිපති සිරිසේන මහතා කරන මේ යෝජනාව ආණ්ඩුව තුළ සිටින ජාතිවාදින්ගේ උවමනාව ඉටුකිරිමක් බව ඉතා පැහැදිළි ය. අද රටට අවශ්‍ය වන්නේ සමස්ථ ආණ්ඩුක‍්‍රමයේ ම වෙනසක් මිස පනතක් මගින් විධායක ජනාධිපති ක‍්‍රමය  හා මැතිවරණ ක‍්‍රමය  ඉවත් කිරීම  නොවේ. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දිගුකාලීන දේශපාලන විසඳුමක් ද රටට අවශ්‍ය ය. ප‍්‍රධාන පක්ෂ දෙකේ සම්මුතිබද්ධ ආණ්ඩුවක් පවතින මේ මොහොතේ දී ද ආණ්ඩුවේ සිටින ජාතිවාදීන් මගහැර යන්නට උත්සාහ දරන්නේ ඒ අවස්ථාව ය. ජාතිවාදීන්ට නතුවී  ජනාධිපතිවරයා ඉතා සූක්ෂම ලෙස මගහැර යන්නට දරන එම උත්සාහය ජනතාව එක්වී පරාජය කළ යුතු ය.

අය වැය ගැන වචනයක්

නව ආණ්ඩුවේ මංගල අයවැයමුදල් අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එය 2016 වසර සඳහා වන අය වැයක් බවට සැකයක් නැති නමුත් එය සංවර්ධනය සඳහා නව ක‍්‍රමෝපායික අය වැයක් ලෙස හදුණාගැනිම අපහසු නැත. 1948න් පසු මේ රට මුලික වශයෙන් අර්ථික ක‍්‍රමෝපායන්  දෙකක් අනුගමනයකර තිබේ. මේ රටේ සංවර්ධන කටයුත්ත සාක්ෂාත් කරගැනීමට එම ක‍්‍රමෝපායන් දෙකම අසමත් වී ඇත. අපගේ ආරම්භක ආර්ථික ක‍්‍රමෝපාය වූයේ අපනයන ආනයන ක‍්‍රමෝපාය වේ. නිදහසෙන් පසු 1950 ගණන් වල අගභාගය දක්වා ක‍්‍රියාත්මක වූ එම ක‍්‍රමය තුළ විදේශ වත්කම් පිළිබඳ අපට ප‍්‍රශ්නයක් තිබුණේ නැත. උද්ධමනක් තිබුණේ ද නැත. විරැුකියාවක් ද නොවී ය. එහෙත් අපේ ප‍්‍රධාන අපනයන භෝග වූ තේ, රබර් සහ පොල්වල මිල ලෝක වෙළඳපොලේ පහළ වැටීමත් සමග අපේ විදේශ වත්කම් අඩුවෙන්නට පටන් ගත්තේ ය.

පසුකාලීන ආණ්ඩු සංවෘත ආර්ථික ප‍්‍රතිපත්තියට   මාරුවූයේ පිරිහෙමින් පැවති විදේශ  වත්කම් ආරක්ෂා කරගැනීමට ය. කෙසේ නමුත් මේ සංවර්ධන කටයුත්ත ඉටුකිරීමට එම ක‍්‍රමෝපායන් සමත්වූයේ නැත. ආහාර හිගවිය. විරැුකියාව වැඩිවිය. ආර්ථික වර්ධනය 3%ක් පමණ රඳවා ගත්තේ ඉතා අමාරුවෙනි.

77 විවෘත ආර්ථික ක‍්‍රමෝපායට මාරුවෙන්නේ ඒ නිසාය. යටිතල පහසුකම්  දියුණු කිරිම තුළ සිදු වූ වෙනස මගින් සංවර්ධන වේගය 8%ක් පමණ ඇතිකර ගැනීමට ඒ ආණ්ඩුව සමත්විය. කෙසේ නමුත් රටේ  ණයබර අඩුකර ගැනීමට ඒ ආණ්ඩු ද සමත්වූයේ නැත. එයට ප‍්‍රධාන හේතුව වූයේ අපේ ඉතුරුම් ඉහළ නංවා නව ආයෝජනයන් වැඩිකර නොගැනීම ය. මහින්ද රාජපක්ෂ කිසිසේත්ම විවෘත ආර්ථික රාමුවෙන් පිට නොගිය අතර අධික පොලියට චීනයෙන් ණය ගෙන නාස්තිකාර ව්‍යාපෘති ආරම්භ කළේ ය. මහින්ද චින්තන දැක්ම වු කලි වෙන  යමක් නොව සංවර්ධනයේ නාමයෙන් කෙරුණු මහාපරිමණ ගසාකැමකි. යූද්ධය අවසන් වී වසර 5කට අනතුරුව ද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත නොකළේ මහා පරිමාණ ගසාකෑම් හෙළිවන එක වළක්වා ගැනීමට ය. කෙසේ නමුත් ඔහු පලවාහැර සැළකියයුතු ප‍්‍රමාණයකට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරගැනීමට ජනතාව සමත් විය.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරන්නේ  මේ යහපත් දේශපාලන පසුබිම තුළ ය. ඔහු මේ අය වැය ඉදිරිපත් කරන්නේ   ධනවාදී හා සමාජවාදි ආර්ථික ක‍්‍රමයන්ගේ සම්මිශ‍්‍රනයක් ලෙසට ය. ඒ අනුව තමන් බලයට පත් කළ බලවේගයන් අමනාප නොකර තම අයවැය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සමත්වී තිබේ. රාජපක්ෂවාදීන් කුමක් පැවසුව ද මෙය කිසියම් ප‍්‍රමාණයකට සාමාන්‍ය මහජනයාට සහනදායි අයවැයක් ලෙස සැළකිය හැක. මූලික වශයෙන් රටක ආයෝජන වැඩිකළ හැක්කේ  දෙයාකාරයකට පමණි. එයින් එකක් වන්නේ පරිභෝජනය අඩුකර, වෙනත් ආකාරයට කියන්නේ නම් ජීවන මට්ටම් කප්පාදුකර ඉතුරුම් වැඩිකර ඒවා ඵලදායිලෙස ආයෝජනය කිරීම ය. මේ අය වැයේ දී එවැනි යෝජනාවක් ඉදිරිපත් කෙරුනේ නම් ආර්ථික අසහනයට පත්වන   ජනතාව ඇවිස්සීමට විරුද්ධවාදීන් එය යොදා ගන්නවා නොඅනුමාන ය.

පරිභොජන කප්පාදුවකට නොගොස්  සංවර්ධනයක් අත්කර ගන්නට නම් සෘජු විදේශ ආයෝජනයන් ලබාගැනීම හැර අන්මගක් නැත. ඉහතින් සඳහන් කළ පරිදි රාජපක්ෂ කළේ සංවර්ධනයක් නොව ඇස් නිලංකාරවන මවාපෑමක් කර මුදල් ගසා කෑමකි. එය කිසිසේත්ම සංවර්ධන උපායමාර්ගයක් නොවේ. එම ව්‍යාපෘති වලින් කිසිදු ඉපැයීමක් නොමැතිව සාමාන්‍ය ජනතාවට ණය ගෙවීමට සීදුවීමෙන්ම ඒ බව පැහැදිළි විය යුතු ය.

එහෙයින්   සංවර්ධන මාවතක් විවරකර ගැනීමට ක‍්‍රමෝපායික වෙනසකට අඩිතාලක් දමා ගැනීමට නව අණ්ඩුව උත්සාහයක් දරා ඇති බව පැහැදිළි ය. සමහර යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව නම්‍යශීලිව කටයුතු කරන්නට ද සූදානම් බව පුනපුනා පවසයි. අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධ ප‍්‍රශ්නය උදාහරණ ලෙස පෙන්වා දිය හැක.  ඒ යෝජනාවට කම්කරුවන් සමග එකගතාවයක් ඇතිකරගන්නට නොහැකි නම් එය ක‍්‍රියාත්මක නොකරන බව ද පවසා තිබේ. අනික් අදට සෘජු ආදායම් බදු  ඉහල නැංවීමට වෙන්ම එය කාර්යක්ෂම කිරීමට ද ආණ්ඩුව පියවර ගැනීමට සූදානම් ය.

අනවසර පදිංචිකරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීම ද ශ‍්‍රි ලංකාවේ තුන්වෙනි ඉඩම් ප‍්‍රතිසංස්කරණය ලෙස සැළකිය හැක. කොල්බෲක් ඉඩම් ප‍්‍රතිසංස්කරණයෙන් පසු 1972දී සමගි පෙරමුණු ආණ්ඩුව දෙවැනි ඉඩම් ප‍්‍රතිසංස්කරණය කළේ ය. කෙසේ නමුත් ලංකාවේ දැවෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වූ ගොවිජන ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඒ ප‍්‍රතිසංස්කරන දෙකම සමත් වූයේ නැත. මේ ඉඩම් ප‍්‍රතිසංස්කරණයට සමාන්තරව උප නගර ව්‍යපෘතියක් ද ආරම්භ කිරීමට ආණ්ඩුව යෝජනා කරයි. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පළදායි නොවන ශ‍්‍රමය එයින් ඉවත්කර ඵලදායි කර්මාන්තයක යෙදවීම ආණ්ඩුවේ එක් උපාය මාර්ගයකි. විදේශිය ආයෝජනය හරහා බිහිවෙන කර්මාන්තවලට එම ශ‍්‍රමය ඇතුල් කරන එකට යමෙකු විරුද්ධ වන්නට පුළුවන.  කුමන ක‍්‍රමයකින් හෝ එම අතිරික්ත ශ‍්‍රමය එතනින් එලියට නොගෙන ලංකාවේ ගොවිජන ගැටළුව විසඳය නොහැක. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ මූලික පරිවර්තනයක් සඳහා කෙරෙන මෙම යෝජනාවට යම් අයෙක් විරුද්ධවීම ප‍්‍රමාණවත් නැත. ඒවාට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු ය.

මහින්ද රත්නායක

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *