ගෙවුණු වසරේ මොකද වුණේ ?

ජනවාරි

1

8:52 පෙ.ව.

admin

2016 වසර ආරම්භ වූයේ මේ රටටත් ආණ්ඩුවටත් විශාල අභියෝග රාශියකට මුහුණදීමට සිදුව තිබූ පසුබිමකයි. දේශපාලන වශයෙන් පැවතියේද අවුල් සහගත තත්ත්වයක් බව පෙනෙන්නට තිබුණා. රටේ ප්‍රධාන පක්ෂ දෙක හවුල් ආණ්ඩුවකට එක්වී සිටියත් ඔවුන් අතර මත වෙනස්කම් නිතර නිතර ප්‍රකාශයට පත්වුණා. මෙලෙස ප්‍රධාන පක්ෂ දෙක එක්වී අණ්ඩුවක් කරගෙන යෑම අලුත්ම අත්දැකීමක් ලෙස පෙනී ගියා.‍ එක නායකයකු යටතේ පැවැති ආණ්ඩු දැක පුරුද ජනයාට මෙය අලුත් අත්දැකීමක් වූ බව පැහැදිලියි.

ඒ අතර ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමද කැපී පෙනෙන තත්ත්වයක තිබුණා. පක්ෂයේ නායකත්වයේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය ලෙස කණ්ඩායමක් ගොඩ නගාගෙන ක්‍රියාත්මක වුණා.

රටේ ආර්ථික තත්ත්වයද කිසිසේත් යහපත් වුණේ නෑ. කලින් පැවැති පාලනය ලබාගෙන තිබූ ණය හා පොලිය ගෙවීමට තව තවත් ණයවීමට සිදුවන උගුලක රට හිරවී තිබුණේ. මහජනයාට අවම බරක් පටවමින් එම අර්බුද‍යෙන් ගොඩයෑමේ අර්බුදය පැහැදිලිව පෙනී ගියා.

අනෙක් අතට පසුගිය පාලන සමයේ සිදුවූ දූෂණ, වංචා, මිනීමැරුම්, අතුරුදන් කිරීම් ගැන පරීක්ෂණ ආරම්භ වී තුබුණා. එම පරීක්ෂණ බොහොමයක් මඟින් හෙළි වෙමින් තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අය හා එම ආණ්ඩුවේ ප්‍රබලයින් ගේ දූෂණ හා අපරාධ පිළිබඳවයි. එම චෝදනා ලැබූ පිරිස තම අනුගාමිකයන් යොදාගෙන ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමට උත්සාහ දරමින් සිටියා.

ජාත්‍යන්තරයෙන් රටට එල්ලවී තිබුණේද බරපතළ අභියෝගයක්. යුද්ධයේ අවසාන දිනවල සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ සහය ලබන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා සම්මත වී තිබුණා. එහි ප්‍රගතිය මේ වසරේදී සමාලෝචනය කරන බවටද ප්‍රකාශ වී තිබුණා.

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කොට සම්මත කර ගැනීම යහපාලන ආණ්ඩුව භාරගෙන තිබෙන තවත් අභියෝගයක්. ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා භාවක් බවට පත්කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමටද ආණ්ඩුවට හැකිවුණා. මෙය ව්‍යවස්ථා මර උගුලක් බව කියමින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙයට සම්බන්ධ කර ගැනීමට හැකිවී තිබීම විශේෂත්වයක්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු පහක් සහ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබුණා. ඉන් එක් කමිටුවක් වන මුදල් කමිටුවේ සභාපතිත්වය හිමිවුයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාටයි. ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂයේ යෝජනා පිළිගෙන නම්‍යශීලීව කටයුතු කිරීම මෙයට හේතුව බව කියැවුණා. ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාට පැසසුම් හිමිවුණා.

දූෂණ වංචා සෙවීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස එෆ්. සී. අයි.ඩීය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ජනවාරි 30 දා කටයුතු කළා. සී.එස්.එන්. නාලිකාව මඟින් විශාල මුදලක් විශුද්ධිකරණය ඔහුට එල්ලවී තිබුණු චෝදනාවයි. එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන රොහාන් වැලිවිට හා නිශාන්ත රණතුංගත් ඒ සමඟ අත්අඩංගුවට ගත් අතර අධිකරණය මඟින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒකාබද්ධ විපක්ෂය මේ ගැන ප්‍රකාශ කළේ ආණ්ඩුව දේශපාලන දඩයමක යෙදී සිටින බවයි. එෆ්. සී. අයි. ඩී.ය නීති විරෝධී ආයතනයක් බවද ඔවුන් කීවා. ඔවුන් එයට එරෙහිව නඩු දැම්ම ද එයද පසුව පරාජය වුණා.

ඒකාබද්ධ විපක්ෂය පෙබරවාරි 6 වැනිදා සීනිගම දේවාලයේදී පොල් ගැසීමක් සංවිධානය කළේ එෆ්. සී. අයි. ඩීයට එරෙහිව දේව කන්නලව්වක් වශයෙනුයි. එහිදී පොල් ලක්ෂයක් ගහන බවට ප්‍රකාශ වුණා. එසේ වුවත් පසුව ජනමාධ්‍ය වාර්තා කළේ පොල් ගෙඩි අටසියයක් පමණ ගසා ඇති බවයි.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ මුදල් පසුම්බිය මේ පොල් ගැහිල්ල අතරේ නැති වුණා. එයින් පැහැදිලි වුණේ පොල් ගහන්නන් අතර පොකට් ගහන්නන්ද පැමිණ සිටි බවයි.

මේ අතර පෝ දින රාත්‍රියේ රජයේ ඉඩමකින් පොල් කැඩූ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒකාබද්ධ විපක්ෂය දෙවියන්ට හොර පොල් ගැසූබව ආණ්ඩු පක්ෂයෙන් චෝදනා කළා.

ඒකාබද්ධ විපක්ෂය දිගටම උත්සාහ කළේ ශ්‍රී.ල.නි.පයේ වැඩි බලය තම කණ්ඩායමට ඇති බව පෙන්වීමටයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල මැයි දින රැලියක් කිරුළපනදී පැවැත්වීමට ඔවුන් කටයුතු කළා. එහි සංවිධාන කටයුතු භාරවූයේ බැසිල් රාජපක්ෂ මහතාටයි.

මෙම අභියෝගයට මුහුණදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද කටයුතු කළා. ශ්‍රීලනිපයෙ‍් මැයි රැලිය ගාල්ලේදී පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළා. එයට සියලු සංවිධායකයන්ගේ දායකත්වය ලබාගත්තා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද තම බලය පෙන්වීමට කැම්බල් පිටියේ විශාල මැයි දින රැලියක් සංවිධානය කළා.

මැයි දින රැලියෙන් පසුව තම රැලියට වැඩිම ජනකායක් සහභාගි වූ බව ඒකාබද්ධ විපක්ෂය කියනවිට ශ්‍රීලනිපය කීවේ ගාල්ලේ සමනල පිටියේ රැස්වීමට සහභාගි වූ සෙනඟ ඉතා වැඩි බවයි. නිරීක්ෂකයන්ගේ අදහස් වූයේ ද සමනල පිටියේ රැලිය අති සාර්ථක බවයි. විපක්ෂයේ රැලියේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද පසුව එය පිළිගත්තා. මෙය ශ්‍රීලනිප අභ්‍යන්ර බල අරගලයේ වාසිය ජනාධිපතිවරයාට තීරණාත්මක ලෙස හිමිවීමේ හැරවුම් ලක්ෂයක් ලෙස පෙනී ගියා. කෙසේ වෙතත් මැයි දිනයේ වැඩිම ජනකායක් සහභාගී වූයේ එජාප මැයි රැලියට බව පොදු මතයක් බවට පත් වුණා. ශ්‍රීලනිප නායකයන් පවා කීවේ කිරුළපන සෙනඟත්, ගාල්ලේ සෙනඟත් එකතුවූ විට එජාපයේ සෙනඟට වැඩි බවයි.

ආර්ථිකය ගොඩනැඟීමේ අභියෝගයටද ආණ්ඩුවට මුහුණදීමට සිදුව තිබුණා. එහි වැඩි බරට කරගසා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. මැයි දිනයෙන් දිනකට පසුව වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරය කළේ ඒ සඳහා පදනමක් දමා ගැනීමටයි.

චීනයට යන්නට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අප රට ලබාගෙන ඇති ණය කන්දරාව ගෙවා දැමීමට හැකියාවක් නැති බවයි. ආදායම් නොලබන ව්‍යාපෘති වන හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ එහි ඉදිකිරීමට චීනය දුන් ණයට හිලව් වන ලෙස ‍කොටස් පවරා චීන – ශ්‍රී ලංකා ඒකබද්ධ ව්‍යාපෘති ලෙස කළමනාකරණය කරන බවයි. ශ්‍රී ලන්කන් එයාර් වැනි අනෙක ව්‍යාපෘති සඳහා ද එබඳුම ආයෝජන යෝජනා කැඳවන බවයි.

මැයි මස මුලදී රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරය කරමින් චීන නායකයන්ට පැහැදිලි කළේ තමන්ගේ උපාය මාර්ගයයි. එයට මුලදී අකමැත්ත පළ කළද පසුව චීන නායකයෝ විකල්ප යෝජනා ලබාදීමට එකඟ වුණා. ඒ අනුව හම්බන්තොට ප්‍රදේශයට නව ආයෝජන හා කර්මාන්ත ගෙන එමින් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට සංවර්ධනයට වැඩපිළිවෙළක් සැකසීම ආරම්භ කළා. මෙය දැන් අපරට මුහුණදී සිටින ණය උගුලෙන් ගොඩ යන උපාය මාර්ගයේ තීරණාත්මක දැවැන්ත පියවරක් වනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ආණ්ඩුවේ උපාය මාර්ගයේ තවත් වැදගත් ඉලක්ක දෙකක් ගැන ක්‍රියාකිරීම භාරව තුබුණේ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා විදේශ ඇමැති මංගල සමරවීර මහතාටයි. එනම් මෙරට ධීවර නිෂ්පාදන ආනයනයට යුරෝපා සංගමය පනවා තුබූ තහනම ඉවත්කර ගැනීම හා පසුගිය පාලනය සමයේ අහිමි කරගත් ජී.එස්.පී. ප්ලස් සහනය අප රටට යළි ලබාගැනීමයි. ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද බ්‍රසල්ස් නුවර සංචාරයක යෙදුණා.

අගමැතිවරයාගේත් මැති ඇමැතිවරුන්ගෙත් මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අප රටට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කිරීමට අප්‍රේල් මස අගදී යුරෝපා සංගමය තීරණය කළා‍. ජූලි මස සිට ක්‍රියාත්මක වූ එම තීරණය නිසා ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය විශාල ලෙස ඉහළ ගියා. ධීවර ජනයාගේ ජීවන මට්ටමද ඉහළ ගිය බව කිව යුතු නෑ.

ජී. එස්. පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා වන විධිමත් ඉල්ලුම් පත්‍රය ජූලි මාසයේ භාරදෙනු ලැබුවා. ඒ අනුව එම සහනය ඉදිරි මාස කිහිපය ඇතුළත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එමඟින් අප රටේ අපනයන ආදායම වසරකට ඩොලර් මිලියන පන්සීය බැගින් ඉහළ යන බව අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සංගම් ප්‍රකාශ කොට තිබුණා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ආණ්ඩුවට එරෙහිව තවත් උද්ඝෝෂණයක් ආරම්භ කළේ සිය බලය පෙන්වීමටයි. ඒ සඳහා ඔවුන් නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කළා. එහි ප්‍රධාන සටන් පාඨයක් වූයේ ව්‍යවස්ථා මරඋගුල පරදවමු යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සැකසීමට පත්කළ කමිටුවල ප්‍රධානීන් හා සාමාජිකයන්ද මෙම පාගමනට සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. මෙය ජාතිවාදී සටන් පාඨයක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා තවත් පිරිසක් එම ක්‍රියා මාර්ගයෙන් ඉවත් වුණා.

හදිසි අලුත්වැ‍ඩියා කටයුත්තක් නිසා ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි හයිඩ් පිටිය ඔවුනට ලැබුණේ නැහැ. පාගමන ජූලි 28 දා ආරම්භ වී අගෝස්තු පළමු වැනිදා කොළඹට පැමිණියා. ඔවුන්ට රැස්වීම සඳහා කැම්බල් පිටිය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එසේ වුවද එහි නොගිය ඒකාබද්ධ විපක්ෂය කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වීමක් තබා විසිර ගියා. ආණ්ඩුව කීවේ කැම්බල් පිටියේ රැස්වන්නට තරම් සෙනඟ නොසිටි නිසා ඔවුන් ලිප්ටන් වටරවුම තෝරාගත් බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ එම පාගමනින් පසු අවසන් වුණා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඔක්තෝබර් මාසයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළකිරීමට උන්වහන්සේලාගේ සහය ලබාගැනීමටයි. එසේ වුවද මල්වතු මහ නා හිමියන් ප්‍රකාශ කළේ තවම කෙටුම්පත් කරලාවත් නැති ව්‍යවස්ථාවකට විරෝධය පළකිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තා. ජී. එල්. පීරීස් මහතා සභාපති වූ එම පක්ෂයේ ප්‍රථම සාමාජිකයා වූයේ බැසිල් රාජපක්ෂ මහතායි. මෙය බැසිල්ගේ හිතුවක්කාර වැඩක් බව ඒකාබද්ධ විපක්ෂයේ අයම කීවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ ඔය පක්ෂයට අපේ සම්බන්ධයක් නැහැ කියාය. එසේ වුවද එයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලැබී තිබෙනවා. මෙම ප්‍රශ්නය නිසා එම කණ්ඩායමේ දෙදරීමක් ඇතිවී තිබෙන බවත් වාර්තා වුණා. කෙසේ වෙතත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගතවුණා. කෙසේ වෙතත් පක්ෂය සඳහා වෙබ් අඩවියක් පටන් ගැනීම පසුගියදා සිදුවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටපස් වන ජාතික සම්මේලනය කුරුණෑගල මාලිගා පිටියේදී පැවැත්වුණේ සැප්තැම්බර් හතරවැනිදායි. එයට අති විශාල ජනකායක් සහභාගී වී සිටියා. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශක්තිමත් ලෙස තහවුරු වී ඇති බව පෙන්නුම් කළ අවස්ථාවක් වුණා.

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සැමරීම සිදුවූයේ සැප්තැම්බර් 10 දා කොළඹ කැම්බල් පිටියේදීයි. එයටද විශාල ජනකායක් සහභාගී වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයට සහභාගී වූයේ ප්‍රධාන අමුත්තා වශයෙනුයි.

ප්‍රධාන පක්ෂ දෙකේම සංවත්සර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක් වුණා. මෙම සමුළු දෙක යහපාලන ආණ්ඩුවට ඇති ජනතා සහාය පෙන්වීමේ අවස්ථා ලෙස ඉතා වැදගත් වුණා.

අපේ රටට නැතිවී ගොස් තිබූ කීර්තිනාමය නැවත ගොඩනඟාගැනීමට මේ වසරේ හැකිවූයේ ජනාධිපතිවරයා කළ විදේශ සංචාර කිහිපයක්ද සමඟිනි. එයින් ඉතා වැදගත් සංචාර දෙකක් නම් ජී 7 සමුළුවට සහභාගී වීමට ජපානය බලා ගිය ගමන හා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් ගිය ගමනයි.

ජී 7 සමුළුවේ සමගාමී සැසියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු ආරාධනය හිමිවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ සඳහා ජූලි 25 දා ජනාධිපතිතුමා ටෝකියෝ බලා ගියා. සමුළුව අතර වාරයේ දී ජනාධිපතිතුමාට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ජර්මනි චාන්සලර් ඇන්ජෙලා මර්කල්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, කැනඩා අගමැති ජස්ටින් ටෲඩේ ආදීන් හමුවුණා. වෙනත් රාජ්‍ය නායකයින් ගණනාවක්ද ජනාධිපතිතුමා හමුවී කතා බස් කළා‍.

ශ්‍රී ලංකාවට යෙන් බිලියන 38ක සහන ණයක් ලබාදීමට ද ජපන් රජය මේ ගමනේදී එකඟත්වය පළ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සංවත්සර සමුළුව ඇමැතීමට ජනාධිපතිතුමා සැප්තැම්බර් 18 දා නිව්යෝර්ක් බලා ගියා. ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන්ගේත් අවසන් එ. ජා. සමුළුව මෙය වීම විශේෂත්වයක්. රාජ්‍ය නායකයන්ට මහලේකම්වරයා දුන් තේ පැන් සංග්‍රහය අවස්ථාවේ ජනාධිපතිතුමා වාඩිවී සිටි ස්ථානයට පැමිණ බැරක් ඔබාමා ජනාධිපතිවරයාට කීවේ ශ්‍රී ලංකාව තුළ සිදුවන පරිවර්තනය අනෙක් රටවලට ආදර්ශයක් බවයි. බැරක් ඔබාමා ජනාධිපතිවරයා මෙලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා අසලට පැමිණ සුබ පැතීම සුවිශේෂ සිදුවීමක් ලෙස සැලකෙනවා.

යහපාලන රජය රට තුළ කළ පරිවර්තනයත්, විදේශ රාජ්‍යයන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීමත් නිසා මෙතෙක් අප රටට ජාත්‍යන්තරයෙන් එල්ලවී තුබූ පීඩනය තුනී වී තිබෙනවා. සැප්තැම්බරයේ ජිනීවාහි පැවැති මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන මානව හිමිකම් ගැන කිසිදු ප්‍රශ්නයක් පැන නොනැඟීම මඟින් ඒ බව පෙන්නුම් කරනවා. ඒ අතින් මෙම වසර අප රටට වසර ගණනාවකින් ලැබුණු සැනසිලිදායක වසරක් ලෙස සැලකිය හැකියි.

මෙලෙස 2016 වසර දෙස නැවත හැරී බැලීමේදී පෙනෙන්නේ එය රජයටත් රටටත් ජයග්‍රහණ රාශියක් හිමිවූ වසරක් වශයෙනුයි. එසේ වුවද මෙම ජයග්‍රහණ මහජනයාට සන්නිවේදනය කිරීමේදී ආණ්ඩුව පෙන්වා තිබෙන්නේ බරපතළ දුර්වලතාවයක් බව පෙනී යනවා. ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන වෙනුවට මාධ්‍යවල පෙනෙන්නේ විරෝධතා හා ඝෝෂාවයි.

ආර්ථික කළමනාකරණයේදී හා රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේදී ආණ්ඩුවේ දක්ෂකම් මෙහිදී පෙනෙන්නට නැහැ. එහිදී පෙනෙන චිත්‍රය නම් ආණ්ඩුවේ දුර්වලතාවයයි.

ප්‍රධාන පක්ෂ දෙක එක්සත්ව ආණ්ඩු කළත් ඔවුන් අතර ප්‍රශ්න එළිපිට ඇදගැනීමේ අශෝබන තත්ත්වයක්ද ආණ්ඩුවෙන් පෙනෙන්නට තිබෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පෙන්වා ඇති පරිණතභාවය ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් පෙනෙන්න නැහැ. ආර්ථික, දේශපාලන අංශවල කොතරම් ජයග්‍රහණ ලැබුවත් මෙය දුර්වල ආණ්ඩුවක් ලෙස පෙනී යන්නට මැති ඇමැතිවරුන්ගේ මෙම හැසිරීමත් හේතුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙය වහාම විසඳා නොගතහොත් එයම ආණ්ඩුවේ විනාශයට හේතුවන්නට ඉඩ ඇති බව කාටත් පෙනී යන තත්ත්වයක්. එළඹෙන වසරේ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග අතර ප්‍රමුඛත්වය හිමිවන්නේ මෙම ප්‍රශ්නයට බව කිව හැකිය.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *