ගුරුවරිය නම් වීර චරිතය සමග හෝ ගානා පොකුණ අසබඩ – අජිත් පැරකුම් ජයසිංහ

ජනවාරි

11

9:50 ප.ව.

admin

ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකය පිරී ඇත්තේ වීරයන්, දුෂ්ඨයන්, විහිළුකාරයන්, අභිරහස්, ප්‍රාතිහාර්ය, සටන්, ජයග්‍රහණ, සතුට, සිනහව වැනි දේවලිනි. ඉන්දික ෆර්ඩිනැන්ඩු අප ඉදිරියේ ප්‍රතිනිර්මානය කරන්නේ ඒ ළමා ලෝකයයි.

හෝ ගානා පොකුණ යථාර්ථවාදී සිනමා පටයක් නො වේ. එහි කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථය නො වේ. එහෙත් ඒ විකාරරූපී හා අධි යථාර්ථවාදී අමුද්‍රව්‍ය භාවිතා කරමින් හෝ ගානා පොකුණ අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ යථාර්ථයයි. වත්මන් ළමා ලෝකයේ යථාර්ථයයි. එහි සුවිශේෂත්වය එයයි.

ළමා චිත්‍රපට බලන්නට ළමයින්ට තනිව යා හැකි වාතාවරණයක් ලංකාවේ නැත. ඒ නිසා ළමා චිත්‍රපට බලන්නට ළමයින් සමග යන දෙමව්පියන්ට ද සාධාරණත්වය ඉටු කිරීමේ වගකීමක් වෙන කො‍හේ නැතත් ලංකාවේ ළමා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තිබේ.

හෝ ගානා පොකුණ ප්‍රධාන තල දෙකක් ඔස්සේ රස විඳිය හැකි ය. පහසුව සඳහා එය කතන්දර තලය හා දේශපාලන තලය ලෙස නම් කළ හැකි ය.

කතන්දර තලයේ ඇති සුවිශේෂත්වය චිත්‍රපටයේ තිබෙන අපූරු චරිත හා සිද්ධි නිර්මානයයි. එහි ඇත්තෙන් ම මහා ලොකු කතන්දරයක් ද නැත. එහෙත්, සිද්ධියෙන් සිද්ධියට සිදු වන්නේ අප බලාපොරොත්තු වන දෙයට වෙනස් දෙයක් අපට දකින්නට ලැබීමයි. චිත්‍රපටය අප ඇද බැඳ ගන්නේ එසේ ය. නාගරික තරුණියට ගුරු පත්වීමක් ලැබුණු බව අසන්නට ලැබේ. ඉන් පසු දකින්නට ලැබෙන්නේ දුෂ්කර පාසලක් කරා පියානෝවක් ගෙන යන දර්ශනයකි. මා සිතුවේ තරුණිය එහි යන විට පියානෝවකුත් රැගෙන යනවා ය කියා ය. එහෙත්, සිදු වන්නේ එය නො වේ. අප දන්නා සාමාන්‍ය කතාවක නම් මේ පියානෝව එහි කේන්ද්‍රීය වස්තුවක් විය යුතු ය. හෝ ගානා පොකුණේ එහෙම වන්නේත් නැත. මේ අරුම පුදුම පෙට්ටියේ සිටින බව වදුහල්පතිවරයා කියූ මකරා සොයන්නට ගිය ළමයින් අතින් වැරදීමකින් පියානෝවේ යතුරක් ස්පර්ශ වී නාට්‍යයක් නිර්මානය වනු ඇතැයි මම බලාපොරොත්තු වුණෙමි. එහෙත්, එහෙම වූයේ නැත. එසේම, විහිළුකාර රියදුරු ජස්ටින් සමග කොළඹ ගමන යන්නට මම බලා සිටියෙමි. එහෙම වූයේත් නැත.

චිත්‍රපටය ආරම්භ වන්නේ මුහුදු වෙරළෙනි. අවසන් වන්නේ ද මුහුදු වෙරළෙනි. එහෙත්, අවසාන මොහොත වන තෙක් ඉන්දික අපට මුහුද පෙන්නන්නේ නැත. ඔහු එය කිසි සේත් ම පෙන්වන එකක් නැතැයි මට සිතිණි. හෝ ගානා පොකුණ ලෙස නම් කළ චිත්‍රපටයක් මුහුද නො පෙන්වා අවසන් කිරීම හරි අපූරු නේදැයි මගේ වැඩිහිටි සිතට සිතෙමින් තිබියදී අධ්‍යක්ෂවරයා ප්‍රීතියෙන් පිරුණු වෙරළකට ඔබ්බෙන් දැවැන්ත මුහුද අපේ දර්ශන පථය ඉදිරියේ නිර්මානය කරයි. අපූර්වත්වය යනු මෙය හැර වෙන කුමක් ද?

ළමයින්ගේ ලෝකය ඉදිරියේ හෝ ගානා පොකුණ චිත්‍රපටය විසින් නිර්මානය කරන වීර චරිත වනාහි ඉතා සාමාන්‍ය මිනිස්සු ය. වයස අවුරුදු නවයක් හා හයක් වන මගේ දියණියන්ගෙන් මම ඔවුන් කැමති ම චරිතය කුමක්දැයි ඇසූ විට ඔවුන් කීවේ උක්කුං බවයි. ඔවුන් ගුරුවරියට කැමති වූයේ දෙවෙනියට ය. උක්කුං සාමාන්‍ය ළමයෙකි. ගුරුවරිය අප බලාපොරොත්තු වන අන්දමේ සුදු පාට, සුකුමාර ලලනාවක් ද නො වේ. ඇය තරමක් ගොරහැඩි ගති පැවතුම් ඇති කාන්තාවකි. ඇය මුලින් ම දුටු විට අන්ධ දැරිය අසන්නේ ඇය සුදු ද කළු ද කියා ය. ඇය කළු බව දැන ගත් විට ළමයකු කියන්නේ එහෙනම් ඇය මේ පාසලෙන් මාරු වී නො ගොස් ඔවුන් සමග රැඳී සිටිනු ඇති ය කියා ය. මේ වනාහි සංස්කෘතිකමය වශයෙන් කෙතරම් ගැඹුරින් විග්‍රහ කළ හැකි කියමනක් ද?

ළමයින්ගේ ලෝකයේදී තාත්තා ළඟට ඊළඟ වීරයන් වන්නේ පෙර පාසලේ හෝ පාසලේ ඔවුන්ට උගන්වන ගුරුවරියන් ය. හෝ ගානා පොකුණ චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මානය කරනු ලබන්නේ මේ වීර චරිතයයි. හෝ ගානා පොකුණේ ගුරුවරිය සුපිරි වීර චරිතයක් ලෙස ගොඩනගනු ලැබේ රියදුරා නැති බස් රියේ රියදුරු අසුන ළඟ වාඩි වී, රිය පණ ගන්වන ඇය පසුපස හැරී කියන කියමන වන “මාව විශ්වාස කරලා එන්න” යන කියමන ද ගැඹුරු අරුත් දනවන්නකි.

ජයලත් මනෝරත්න නම් නළුවා විසින් නිර්මානය කරනු ලබන ජස්ටින් නම් චරිතය බස් රියේ රියදුරා ලෙස වාඩි කළා නම් විනෝද සාගරයක් නිර්මානය කරන්නට පුළුවන්කම ඇති බව  දැන දැන ම අධ්‍යක්ෂවරයා එසේ නො කර ගුරුවරිය රියදුරු අසුනට නංවයි. වර්තමාන සමාජ, සංස්කෘතික හා අධ්‍යාපන අර්බුදය මැද ගුරුවරියගෙන් බලාපොරොත්තු වන්නේ සම්මතයන් පිටු දකින, අසාමාන්‍ය වීර චරිතයකි. වර්තමාන සමාජයේ ගුරුවරිය වීරත්වයට නැගීම වනාහි අතිශය දේශපාලනික වූ කාර්යයකි. ලංකාවේ රෝගී සමාජය සුවපත් කිරීමෙහිලා හා වෙනස් කිරීමෙහි ලා ගුරුවරියට තිබෙන වගකීම අති විශාල ය.

හෝ ගාන පොකුණ චිත්‍රපටය ආරම්භ වන්නේ මහ මුහුද අසලිනි. වෙරළේ ජීවිතයෙන් අංශු මාත්‍රයක් පෙන්වූවත්, එහිදී අපට මුහුද දකින්නට ලැබෙන්නේ නැත. චිත්‍රපටයේ ආරම්භය කම්මැලි ප්‍රවේශයකි. එහෙත්, එය වැදගත් දේශපාලන සාකච්ඡාවකට වැඩිහිටි ප්‍රේක්ෂකයා අවදි කරයි. සුළු ධනේශ්වර ඊනියා විප්ලවවාදියකු වන සරසවි සිසුවා හා දුෂ්කර පාසලක උගන්වන්නට පත්වීමක් රැගෙන යන ගුරුවරිය අතර සංවාදය සමාජවාදී දේශපාලනයේ න්‍යායවාදී මහේක්ෂ තලය හා ප්‍රායෝගික ක්ෂුද්‍ර තලය අතර දිග්ගැසුණු සංවාදය

අතර දිග්ගැසුණු සංවාදයයි. සමාජය වෙනස් කිරීම ආරම්භ කළ යුත්තේ කොතැනින් ද, අධ්‍යාපනය එහිදී කෙතරම් වැදගත් ද, සුළු ධනේශ්වර අපේක්ෂා ඇති සරසවි සිසුන් එතැනදී කෙතරම් සමාජවාදී ද යන කාරණා ගැන චිත්‍රපටය අපගේ අවධානය යොමු කරයි.

ගුරුවරිය මේ මහේක්ෂ සමාජවාදී දේශපාලන තලයෙන් මිදී ක්ෂුද්‍ර‍ දේශපාලනය වෙත යන්නී ය. න්‍යාය වෙනුවට භාවිතාව වෙත යන්නී ය. පොතේගුරුවාදීව විකල්ප පිළිබඳ සංවාද කරනවා වෙනුවට භාවිතාව තුළින් හැදෑරීම හා විකල්ප නිර්මානය වෙත ඇය අප කැඳවයි.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුරු වෘත්තියට පිවිසෙන බොහෝඋපාධීධාරීන් ග්‍රාමීය, දුෂ්කර හා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ඉගෙන ගන්නා පාසල්වල සේවය කරන්නට අකැමැති ය. ඔවුන් ගුරු

වෘත්තිය තෝරා ගන්නේ ද වෙනත් උසස් යයි සම්මත රැකියා නො ලැබුණ විට ය. එහෙත්, ගුරුවරයාගේ භූමිකාව වනාහි සමාජ විපර්යාසයෙහිදී අතිශය වැදගත් එකකි. එය යළි නඟා සිටුවිය යුතු ය.

චිත්‍රපටය අවසානයේ ළමයින් ප්‍රීතියෙන් සෙල්ලම් කරද්දී අර යකඩ ගුරුවරිය හඬා වැටෙන දර්ශනය චිත්‍රපටයේ කූටප්‍රාප්තියයි. ඒ හඬා වැටීම සමස්ත සමාජයේ ම හෘදය සාක්ෂියට කරන ආමන්ත්‍රණයකි. වැඩිහිටි මිනිසුනි, ඔබ අප මේ කරමින් සිටින්නේ කුමක් ද?

ටයිටස් තොටවත්ත 1979දී හඳයා පෙන්වන විට පැවසුවේ එය වයස අවුරුදු අටේ සිට අසූව දක්වා කාටත් උචිත නිර්මානයක් බවයි. ඒ කතාව හෝ ගානා පොකුණටත් අදාළ ය. හඳයා නිර්මානය කරමින් ටයිටස් තොටවත්ත ලංකාවේ ළමා සිනමාව ඔසවා තැබූ තලයෙන් ඉදිරියට එය ගෙන යන්නට ඉන්දික ෆර්ඩිනැන්ඩු සමත් වී ඇතැයි මට  සිතේ

අජිත් පැරකුම් ජයසිංහ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *