ග්ලයිෆොසේට්, වකුගඩු රෝගයට හේතුවක් වේ ය යන තර්කයට කිසිදු පදනමක් නෑ – ජාතික විද්‍යා ආයතනයේ සභාපති මහාචාර්ය විජයකුමාර්

සැප්තැම්බර්

4

4:36 ප.ව.

admin

“අප ආයතනය, හේතුව හඳුණා නොගත් රජරට වකුගඩු රෝගයට පාදකවිය හැකි සහ ඉදිරිපත් වී ඇති හේතුන් විනිශ්චය කරනු ලබන අතර මෙතෙක් කර ඇති හේතු විනිශ්චයන්ට අනුව එයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත. ග්ලයිෆොසේට් ඇතුලත් නොයෙකුත් කෘෂි රසායනයන් මෙන්ම ෆොලෝරයිඞ්, ආසනික්, කැඞ්මියම්, ජලයේ කිවුලතාවය හා අයනතාවය මෙම වකුගඩු රෝගයට පාදකවිය හැකි බවට වන මතයන් හුදු කල්පිත පමණක් වන අතර මේ දක්වා සිදුකළ පිළිගත් පර්යේෂණ දත්තයන්ට අනුව, නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි බව අප ආයතනයේ අදහස”යැයි ශ්‍රී ලංකා ජාතික විද්‍යා ආයතනයේ සභාපති සම්මානනීය මහාචාර්ය විජය කුමාර් මහතා ප්‍රකාශ කරයි .

ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.”වකුගඩු රෝගයට පාදකවේ යැයි යන මතයෙහි පිහිටා ග්ලයිෆොසේට් නමැති වල් නාශකය තහනම් කළ බව අපි දනිමු. මෙම මතයට තුඩු දී ඇත්තේ මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වල් නාශකය පිළිකා රෝගය සෑදීමට පාදක විය හැකි යැයි යන මතයෙහි පිහිටා, මැලතියෝන් සහ ඩයසිනෝන් නමැති තවත් කෘමි නාශකයන් දෙකක් සමග පිළිකා රෝගය සෑදීමට පාදකවීමේ වර්ගිකරණයේ 2 ඒ කාණ්ඩයට යෙදීම සේ පෙනේ. එහෙත් රජරට වකුගඩු රෝගීන්ට පිළිකා රෝගි තත්ත්වයක් ඇති බව වාර්තා වී නොමැත. ඒ අනුව මේ වාර්ගිකරණය වකුගඩු රෝගයට අදාළ නැත.”

“ලංකාවේ හෝ පිටරට කරන ලද අධ්‍යයනයන්ගෙන් වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් හේතුවක් වන බව මෙතෙක් තහවුරු වී නොමැත. වකුගඩු රෝගය පවතින ලංකාවේ උතුරු මැද පලාතේ බීමට ගන්නා ජලයෙහි පවතින ග්ලයිෆොසේට් ප්‍රමාණය ඉතා අල්පවන අතර, එය ජාත්‍යාන්තර අනුමත ප්‍රමාණයට වඩා ඉතා අඩු අගයකි. එපමණක් නොව අම්පාර, පුත්තලම සහ යාපනය වැනි රජ රට අවට එවැනිම කෘෂිරටාවන් ඇති ප්‍රදේශවලින් මෙන්ම තෙත් කලාපයේ ද මෙම රෝගි තත්ත්වය දක්නට ඇත්තේ ඉතාම සුළු වශයෙනි. රජරට ට වඩා ඉතා අධික ලෙස ග්ලයිෆොසේට් භාවිතා කරන පලාත් ලෙස හැඳින්විය හැකි තේ වගාකරන ප්‍රදේශ වලින් ද මෙම රෝගය වාර්තා වී නොමැත. කරුණු මෙසේ හෙයින් ග්ලයිෆොසේට්, වකුගඩු රෝගයට හේතුවක් වේ යන තර්කයට කිසිදු පදනමක් නැත.”

“දැනට ඇති හේතු සාධක අනුව, වහා අවධානය යොමුකළ යුතු කරුණු 3ක් සඳහන් කිරීමට අපි කැමැත්තෙමු. එම කරුණු 3 නම්, පළමුව රජරට වකුගඩු රෝගය පැතිර ඇති පලාත් වල සියලූ ජනයාට බීමට සුදුසු ජලය සැපයිය යුතු ය. කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවන් හරහා කෘෂි රසායනික අනිසි භාවිතයේ විපාක හා ඒවා නිසි අයුරින් භාවිතා කිරීම පිළිබඳ දැණුවත් කිරීම දෙවැන්න ය. තුන්වැන්න වන්නේ අඩු ගුණාත්මක භාවයෙන් යුතු කෘෂිරසායනික ලංකාවට ආනයනය කිරීම වැළැක්වීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ය.”

“මෙවැනි උග්‍ර අවස්ථාවන් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විද්‍යා පර්යේෂණයන් වැඩි දියුණු කිරීම සඳහා ආණ්ඩු පසුබට වීම ය. ග්ලයිෆොසේට් තහනම සමඟ විද්‍යාව හා තාක්ෂණය සඳහා වන පර්යේෂණ වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමට රජය මන්දගාමි නොවේ යැයි අපි විශ්වාස කරමු.”

ශ්‍රි ලංකා ජාතික විද්‍යා අයතනයේ සභාපතිවරයා වන සම්මානනීය මහාචාර්ය විජය කුමාර් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ය.

මහින්ද රත්නායක

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *