කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි ඊ.පී.එෆ්’. පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන (පළමු කොටස) පසුගිය වසර 6 ද පරික්ෂා කළ යුතුයි

නොවැම්බර්

9

7:12 පෙ.ව.

admin

2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016 මැයි මාසය දක්වා ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්‍රියාකාරීත්වයට අදාළව සිදු වී ඇති බවක් පෙනෙන ආයෝජන අක්‍රමිකතා, නොහොබිනා කම්, අවකල් ක්‍රියා සහ එහි සාමාජිකයන්ට අත්කර දී ඇති පාඩු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, කෝප් කමිටු ප්‍රධාන වාර්තාවේ මෙන්ම, පාද සටහන් සහිත විසම්මුතික වාර්තාවේද එක සේ නිර්දේශ කොට තිබේ.

සේවක අර්ථසාධක අරමුදල එළියේ වෙළඳපොළෙන් (ද්විතීයික වෙළඳපොළෙන්)
වැඩි මිළට මිළඳ ගැනීම

මේ නිර්දේශය පදනම් වන්නේ, විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මතයි. ස්වකීය සාමාජිකයන්ට වාසිදායක මිළකට, ඇතුළේ වෙළඳපොළෙන් (ප්‍රාථමික වෙළඳපොළෙන්) ආණ්ඩුවේ බැඳුම්කර මිළදී ගැනීමේ වගකීම පසෙක ලා, අවස්ථා කිහිපයකදීම ‘සේවක අර්ථසාධක අරමුදල’ ඊට වඩා වැඩි මිළකට එළියේ වෙළඳපොළෙන් (ද්විතීයක වෙළඳපොළෙන්) එම බැඳුම්කර මිළදී ගැනීමේ අක්‍රමිකතාව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට පාදක වී තිබේ.

එළියේ වෙළඳපොළට වඩා අඩු මිළකට ඇතුළේ වෙළඳපොළෙන් එම බැදුම්කර මිළදී ගැනීමෙන් ‘සේවක අර්ථසාධක අරමුදලේ’ සාමාජිකයන්ට යහපතක් සිද්ධ කිරීම මේ මගින් මගහැර තිබේ. ඇත්ත වශයෙන්ම, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ නැමැති ව්‍යාපාරික සමාගම 2016 ජනවාරි මාසයේ මෙවැනි එක් ගනුදෙනුවකට සම්බන්ධ වූ සිද්ධියක් ගැන, මහ බැංකුව අභ්‍යන්තරයෙන් කළ පරීක්ෂණ වාර්තාවක් රහසින් එළියට පිට වූ අවස්ථාවකදී දැක ගත හැකි විය.

පිට වූ අභ්‍යන්තර විමර්ශන වාර්තාවෙන් හෙළි වූ දේ

එම විමර්ශන වාර්තාව මෙසේ කියයි: “පර්පෙචුවල් ටේ‍රෂරීස්’ නැමැති සමාගම ‘සේවක අර්ථසාධක අරමුදල’ සමග 2016 ජනවාරි මාසයේ කරන ලද ගනුදෙනුවකදී ලබා ගත් ධන ලාභ පිළිබඳ විමර්ශනයකදී නිරීක්ෂණය කළ කාරණයක් වන්නේ, ප්‍රාථමික වෙළඳ පොළෙන් මෙම සමාගම 2016 ජනවාරි 08 වැනි දා මිළදී ගත් බැඳුම්කර සහ ‘පෑන් ඒෂියා බැංකුවෙන්’ මිළදී ගත් බැඳුම්කර, එසේ මිළදී ගත් දා සිට දින 14 ක් ඇතුළත සෑහෙන අඩු පොළියකට ‘සේවක අර්ථසාධක අරමුදලට’ විකුණා ඇති බවයි. මේ සුරැකුම් පත් ඊට වඩා වැඩි පොළී අනුපාතයකට ප්‍රාථමික වෙන්දේසියයේදී ‘සේවක අර්ථසාධක අරමුදලට’ කෙලින්ම මිළදී ගත හැකිව තිබියදී, මෙසේ ඉතා කෙටි කාලයක් තුළ, ඊට වඩා අඩු පොලියකට ද්වීතිය වෙළඳපොලේ ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගමෙන් මිළදී ගැනීම ගැන ‘මුල්‍ය මණ්ඩලය’ සොයා බැලිය යුතු බව අපට නිර්දේශ කළ හැකිය.”

පොම්ප කිරීමේ සහ වීසි කිරීමේ කිරීමේ තැරැව්කාරයෙකු බවට
‘සේවක අර්ථසාධක අරමුදල’ පත්වීම

මේ සඳහන් කරන්නේ, 2041 ජනවාරි 1 වැනි දා කල් පිරෙන 25 අවුරුදු භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුවක් ගැනයි. මහ බැංකුවේ වෙඞ් අඩවියට අනුව, මේ බැඳුම්කරයේ ස්ථාවර වාර්ෂික පොලී අනුපාතය සියයට 12 කි. ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම රුපියල් 100 ක් වටිනා මේ බැඳූම්කරයක් මහ බැංකුවෙන් මිළදී ගෙන ඇත්තේ රුපියල් 98 කටයි. ඉන් පසු, දින 14 ක් ඇතුළත එම බැඳුම්කරයක් රුපියල් 111 ක මිළකට මේ සමාගම ‘සේවක අර්ථසාධක අරමුදලට’ විකුණා තිබේ.

එහෙත් මහ බැංකු දත්තවලට අනුව, මේ බැඳුම්කරයක ද්විතීය වෙළඳපොළේ වටිනාකම එක දිගටම පහළ ගොස් ඇත. සතියක් ඇතුළත රුපියල් 108 ක් දක්වා පහළ ගොස් ඇති එම මිළ, මාසයකදී රුපියල් 101 දක්වා පහළ වැටී තිබේ. මාස දෙකක් ඇතුළත එහි වටිනාකම, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම එය මිළදී ගත් මුදලට හෙවත්, රුපියල් 98 දක්වා පහළ වැටී ඇත. එම මිළ මට්ටමේ යම් කාලයක් පැවති එම බැඳුම්කරය ඔක්තෝබර් මාසය අවසන් වන විට රුපියල් 97 දක්වා, එනම්, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම එය මිළදී ගත් මිළටත් වඩා පහළ ගොස් තිබේ.

මේ ගනුදෙනුවෙන්. ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම අති විශාල ලාභයක් උපයාගෙන ඇති බව පැහැදිළි ය. අනිත් පැත්තෙන්, මෙසේ පහළ වැටෙන මිළ ගණන් තුළ එක දිගටම පාඩු ලබමින් සිටි ‘සේවක අර්ථසාධක අරමුදල’, 2016 ඔක්තෝබර් මාසය වන විට, එම ගනුදෙනුවෙන් ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම උපයා ගත් ලාබයටත් වැඩි පාඩුවක් අත්විඳ ඇත. මන්ද යත්, එම මිළ මේ වන විට, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම විසින් මිළ දී ගත් මිළටත් අඩු මට්ටමකට වැටී ඇති බැවිනි.

මේ වසර අවසන් වන විටත් මිළ ගණන් මෙසේම පැවතුණහොත්, ‘සේවක අර්ථසාධක අරමුදලට’ අත්විඳීමට සිදු විය හැකි විශාල අලාභය පැහැදිළි කර දීමට මහ බැංකුවේ ‘මූදල් මණ්ඩලයට’ නොහැකි වනු ඇත. එම නිසා, මෙම ගනුදෙනුව සිදු කළ ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ව්‍යාපාරික අංශය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතුව තිබේ.

ප්‍රධාන කෝප් වාර්තාව සහ විසම්මුතික වාර්තාව තුළ පවතින ඒකමතිකත්වය

විසම්මුතික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 9 දෙනා විසින් අනුමත කරන ලද වාර්තාවේ පාද සටහන් අංක 26 සහ 29 තුළ, ‘සේවක අර්ථසාධක අරමුදලේ’ අතීත උපාය මාර්ග සහ භාවිතාවන් පිළිබඳව විමර්ශනය කිරීමේ අවශ්‍යතාව නැවතත් මතු කොට ඇත.

පාද සටහන් අංක 26 තුළ, ප්‍රධාන කෝප් වාර්තාවේ සඳහන්, 2015 පෙබරවාරි මාසයේ බැඳුම්කර වංචාවට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති නිරීක්ෂණයකට අවධානය යොමු කෙරේ. එහි මෙසේ සඳහන් වෙයි: “මහ බැංකුව රුපියල් බිලියන 1 ක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව ප්‍රකාශ කොට තිබියදී, ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සමාගම, එමෙන් පහළොස් ගුණයක් හෙවත් රුපියල් බිලියන 15 ක් සඳහා ලංසු ඉදිරිපත් කිරීම ඉතා අසාමාන්‍ය ය. මේ මුදලින් රුපියල් බිලියන 2 ක් සඳහා ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ සෘජුව ලංසු ඉදිරිපත් කොට ඇති අතර, ඉතිරි රුපියල් බිලියන 13 ක මුදල ඉදිරිපත් කොට ඇත්තේ, ඔවුන් වෙනුවෙන්, ලංකා බැංකුව විසිනි.

විගණකාධිපතිවරයාගේ මෙම නිරීක්ෂණය, ඉහත කී විසම්මුතික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ප්‍රතික්ෂේප කොට නැත. එපමණක් නොව, එම වංචාවට ‘සේවක අර්ථසාධක අරමුදලත්’ පාර්ශ්වකරුවෙකු වී තිබිය හැකි බවද තවදුරටත් ඔවුහූ පෙන්වා දෙති. ඒ ගැන සඳහන් වන ඔවුන්ගේ පාද සටහන මෙසේ ය: “පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගම මේ සා දැවැන්ත ලාභයක් උපයාගෙන ඇත්තේ, ප්‍රාථමික වෙළඳ පොළෙන් මිළදී ගත් බැඳුම්කර පසුව ද්විතීයික වෙළඳ පොළේ විකිණීමෙනි. මෙවැනි අති විශාල ලාභයක් උපයා ගැනීම සඳහා ‘සේවක අර්ථසාධක අරමුදල’ වැනි රාජ්‍යය සතු ආයතන සහාය වී ඇති ආකාරය ගැනත් පරීක්ෂණ පැවැත්විය යුතු බව කමිටුවේ අදහසයි. එසේ ඔවුන් සහාය වී ඇත්නම්, එවැනි ආයෝජන තීරණ පසුපස ඇති තාර්කිකත්වය කුමක්දැ යි සොයා බැලිය යුතුය. එම බැඳුම්කර ඊට වඩා අඩු මුදලකට කෙලින්ම ප්‍රාථමික වෙළඳපොළෙන් මිළදී ගත හැකිව තිබියදී, ‘සේවක අර්ථ සාධක අරමුදල’ ද්විතීයික වෙළඳපොළෙන් වැඩි මිළකට ඒවා මිළඳී ගත්තේ මන්දැ යි සොයා බැලිය යුතුය.”

2016 බැඳුම්කර ගනුදෙනුවට අදාළව ‘සේවක අර්ථසාධක අරමුදල’ ගැන විසම්මුතික කණ්ඩායම තුළ පැවති එම සැකය, රහසින් පිට වූ ඉහත සඳහන් කළ මහ බැංකු පරීක්ෂණ වාර්තාව මගින්ද සනාථ කොට තිබුණි. ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්‍රියාකාරකම්, ප්‍රථම මහ බැංකු බැඳුම්කර නිකුතුව දක්වාම සොයා බැලිය යුතු බවත් මේ විසම්මුතික කණ්ඩායම යෝජනා කරති.

විසම්මුතික වාර්තාව:
‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්‍රියාකාරීත්වය 2010 දක්වා විමර්ශනය කරනු

විසම්මුතික වාර්තාවේ පාද සටහන් අංක 29 තුළ, ප්‍රධාන වාර්තාවේ ඇතුළත් කොට ඇති, විගණකාධිපතිවරයාගේ එක් නිරීක්ෂණයක් ගැනද සඳහන් වෙයි. ප්‍රාථමික වෙළඳපොළේදී අඩු මිළකට මිළදී ගත හැකිව තිබූ බැඳුම්කර, ද්විතීයික වෙළඳපොළෙන් වැඩි මිළකට මිළදී ගැනීම මගින් ‘සේවක අර්ථසාධක අරමුදල’ තමන් වෙත පාඩුවක් සිදු කරගෙන ඇතැයි එම නිරීක්ෂණයේ සඳහන් ය. ‘සේවක අර්ථසාධක අරමුදල’ තිබෙන්නේ මහ බැංකුවේ ‘මුදල් මණඩලය’ යටතේ නිසා, විගණකාධිපතිවරයා පෙන්වා දෙන පරිදි, මෙය ප්‍රශ්නාර්ථකාරී ආයෝජනයකි.

පාද සටහන් අංක 26 තුළ මේ කාරණය ගැන විසම්මුතික කණ්ඩායමත් කතා කරන නිසා, විගණකාධිපතිවරයාගේ ඉහත කී නිරීක්ෂණය ඔවුන් ප්‍රතික්ෂේප නොකරන බව පෙනේ. ඊටත් එහාට යමින් ඔවුන් කියන්නේ, ‘සේවක අර්ථසාධක අරමුදලේ’ එම චර්යාව පසුගිය වසර 6 ක කාලය තිස්සේම කරගෙන ගොස් ඇති බවයි.

මේ අනුව, විසම්මුතික කණ්ඩායමේ ප්‍රශ්නය වන්නේ, අද පවා එම හැසිරීම දකින්ට ලැබීමයි. එබැවින්, මේ රටේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික ජීවිතය වෙනුවෙන් නීත්‍යානුකූලව ‘සේවක අර්ථසාධක අරමුදල’ තුළ ඉතිරි කරන ධනය, ආරක්ෂකාරී සහ බුද්ධිමත් ආයෝජනයන් තුළ යෙදවෙන බවට වගබලාගන්නා විශේෂ විධිවිධාන පැනවිය යුතු බවට එම කණ්ඩායම සිය පාද සටහන තුළ තර්ක කොට තිබේ.

එම පාද සටහනේ සඳහන් පරිදි, අද කෝප් කමිටුවේ සිටින ඇතැම් සාමාජිකයන් විසින්ම, 2010-2013 අතර කාලයේ මෙයාකාරයෙන්ම සිදු වූ අනුවණ බැඳුම්කර ආයෝජනයන් සම්බන්ධයෙන්ද විවේචන ඉදිරිපත් කොට තිබේ. එබැවින්, ‘එම ආයෝජන ගැනත් සොයා බැලිය යුතු බවට’ එම පාද සටහනේ නිර්දේශ කෙරේ.

(ඉතිරි කොටස ඊළඟට)

2016 නොවැම්බර් 07 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ

කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි
‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස)
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *