කෝප් නිර්දේශ: ‘ඊ. පී. එෆ්. පිළිබඳ වහා පරික්ෂණයක් පැවැත්විය යුතුය- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන (අවසාන කොටස)

නොවැම්බර්

11

8:06 ප.ව.

admin

පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව

මේ අනුව බලන විට, ප්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන ලද ආයෝජනයන් ගැන පූර්ණ විමර්ශනයක් කළ යුතු බවයි. ‘සේවක අර්ථසාධක අරමුදල’ පවතින්නේ ‘කෝපා’ හෙවත් ‘රාජ්‍ය ගිණුම් කමිටුව’ යටතේ මිස ‘කෝප්’ හෙවත් රාජ්‍ය ව්‍යවසාය කමිටුව යටතේ නොවන නිසා, එවැනි පරීක්ෂණයක් කෙරෙන්නේ පාර්ලිමේන්තුව හරහා නම් එය පැවරෙන්නේ ‘කෝපා’ වෙතටයි.

එසේ වෙතත්, දැනටමත් ‘කෝපා’ වෙත බොහෝ රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල බර පැටවී තිබේ. මේ නිසා එම පරීක්ෂණ කාර්යය පාර්ලිමේන්තුව හරහා කෙරෙන්නේ නම්, එය කළ යුත්තේ විශේෂයෙන් පත් කෙරෙන තේරීම් කාරක සභාවක් මගිනි. ඒ සඳහා, සුදුසු පරිදි, පළපුරුදු ආයෝජන විශ්ලේෂකයන්ගේ සහායද ලබා ගත යුතුව තිබේ.

‘සේවක අර්ථසාධක අරමුදලේ’ විප්‍රකාර සංවිධාන ව්‍යුහය

1958 දී ‘සේවක අර්ථසාධක අරමුදල’ පිහිටුවන අවස්ථාවේ එය ස්ථානගත කෙරුණේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යටතේ ය. එසේ කිරීම ගැන එදා බොහෝ විරෝධතා තිබුණි. මහ බැංකුව ඇතුළෙන් මෙන්ම පිටතින්ද එම විරෝධතා මතු වුණි.

එදා සිටි මහ බැංකු අධිපති, ශ්‍රීමත් ආතර් රණසිංහ, “සිහිවටන සහ ආවර්ජනා” නැමැති ඔහුගේ ස්වයං-චරිතාපදානයේ සඳහන් කරන පරිදි, මෙහි භාරකාරත්වය මහ බැංකුවට පවරා ගැනීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇති විය හැකි නිසා එය නොකළ යුතු බවට අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට දන්වා සිටි බව දැක්වේ. අනතුරුව, තවත් මහ බැංකු අධිපතිවරයෙකු වූද, පසුව සෙනේට් සභා මන්ත්‍රීවරයෙකු වූද, එන්. යූ. ජයවර්ධන මේ කරුණම මතු කරමින්, තමන්ට කළ නොහැකි කර්තව්‍යයන් මහ බැංකුවට පැවරීමෙන්, එය රජයේ තවත් දෙපාර්තමේන්තුවක් බවට පත් නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඒ සියලු විරෝධතා නොතකා හල ආණ්ඩුව, ලෝකයේ කිසි තැනක නැති ආකාරයේ විකාර සංවිධාන ව්‍යුහයක් තුළ ‘සේවක අර්ථසාධක අරමුදල’ පිහිටුවීය. එම ව්‍යුහය තුළ, ද්විත්ව වගකීමක් සහිත ආයතනයක් බවට ‘සේවක අර්ථසාධක අරමුදල’ පත් කෙරුණි.

මෙම ක්‍රමය තුළ, ‘සේවක අර්ථසාධක අරමුදල්’ පනත ක්‍රියාවේ යෙදැවීම, මධ්‍යම ආණ්ඩුවේ එක් දෙපාර්තමේන්තුවක් වන කම්කරු කොමසාරිස්වරයාට පැවරූ අතර, බැඳියාවන් අතර ගැටුමකින් නිදහස්ව රටේ පොලී අනුපාත ප්‍රතිපත්තිය තීරණය කරනු ලැබීම අපේක්ෂා කළ රටේ පවතින මූල්‍ය අධිකාරිය වන මහ බැංකුවට, එම අරමුදලේ කළමනාකාරීත්වය සහ භාරකාරීත්වය පැවරීය.

අගමැතිවරයාගේ තර්කය වුණේ, මේ අරමුදල කළමනාකරණය කිරීමේ වගකීම පැවරිය හැකි වෙනත් ආරක්ෂාකාරී රාජ්‍ය ආයතනයක් තමන්ට සොයාගත නොහැකි බවයි. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට, අගමැතිවරයා තමන්ගේම සෙනේට් සභා සාමාජිකයාට එදා දන්වා ඇත්තේ මෙය තාවකාලික පිළියමක් පමණක් වන බවයි. එම තාවකාලික පිළියම අද ස්ථිර ක්‍රමයක් බවට පත්ව ඇති අතර ‘සේවක අර්ථසාධක අරමුදල’ මහ බැංකුවේ බූදලයක් බවටම පත්ව ඇත.

මූල්‍ය මණ්ඩලයේ දුෂ්කර කර්තව්‍යය

මේ නිසා, මූල්‍ය මණ්ඩලයට සිදු වුණේ දුෂ්කර කර්තව්‍යයකට කර ගැසීමටයි. එක පැත්තකින්, පවතින ක්‍රමය තුළ තමන්ට පැවරී ඇති කිසිවකින් අගතියට පත් නොවී රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසා ගැනීමේ වගකීම ඊට පැවරෙයි. මොනම පෞද්ගලික ව්‍යාපාරයක් හෝ බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් තමන් සන්තකයේ තබා නොගත යුතු බවට, මූල්‍ය නීති පනතේ විශේෂ වගන්තියක් ඇතුළත් කොට ඇත්තේ ඒ නිසා ය.

අනිත් පැත්තෙන්, ‘සේවක අර්ථසාධක අරමුදලේ’ සාමාජිකයන්ට ඉහළම ලාභයක් ලැබෙන පරිද්දෙන් කටයුතු කිරීමටත් ඊට සිදුව තිබේ. ඒ අනුව, ‘සේවක අර්ථසාධක අරමුදල’ සඳහා කරන ඕනෑම ආයෝජනයකදී, මීට කලින් කී වගකීම නොසළකා හැරීමට මූල්‍ය මණ්ඩලයට සිදු වෙයි.

1958 දී එය ප්‍රශ්නයක් නොවුණි. මන්ද යත්, එදා පැවති එකම ආයෝජන ක්ෂේත්‍රය වුණේ ආණ්ඩුවේ සුරැකුම් පත් අංශය පමණක් බැවිනි. එහෙත් අද ගජරාමෙට කටයුතු කරන කොටස් වෙළඳපොළක් තිබේ. සමාගම් බැඳුම්කර, ණයකර වෙළඳපොළ සහ වාණිජ පත්‍රිකා වෙළඳපොළ ආදී, ආණ්ඩුවේ සුරැකුම් පත් වෙළඳපොළෙන් පිටස්තර ක්ෂේත්‍ර ගණනාවක් ඊට අයත් වෙයි. ‘සේවක අර්ථසාධක අරමුදල’ එම අංශවල ආයෝජනය කිරීම, අනිවාර්යයෙන්ම බැඳියාවන් අතර ගැටුමකට හේතු වන්නේය.

මූල්‍ය මණ්ඩලය තමන් වෙතම පනවා ගන්නා ස්වයං-සංයමයන්

‘සේවක අර්ථසාධක අරමුදලේ’ වගකීම් ඉටු කිරීමේදී මේ ප්‍රශ්නය ජය ගැනීම සඳහා මූල්‍ය මණ්ඩලය ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තේය. ඒ අනුව, තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ‘සේවක අර්ථසාධක අරමුදල්’ ප්‍රතිපත්තිය අතර චීන මහා ප්‍රාකාරයක් බැඳ ගැනීමට ඊට සිදු විය. එක සීමාවක් වුණේ, පෞද්ගලික සමාගමක් නිකුත් කරන කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 5 කට වැඩි වටිනාකමක් සඳහා ‘සේවක අර්ථසාධක අරමුදල’ ආයෝජනය නොකළ යුතු බවයි. හේතුව, එසේ සියයට 5 කට අඩු වටිනාකමක් සඳහා ආයෝජනය කළ විට, එම සමාගමේ කළමනාකරණ කටයුතුවලට සහභාගී වීමෙන් වැළැකී සිටීමට ඊට හැකි වන බැවිනි. ඒ අනුව එය හුදෙක් නිශ්ක්‍රීය ආයෝජකයෙකු වන්නේය. තවත් සීමාවක් වුණේ, මූල්‍ය මණ්ඩලය විසින් නියාමනය කෙරෙන කිසි මූල්‍ය ආයතනයක කොටස් ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් මිළදී ගත යුතු නැති බවයි. ඊට හේතුව වුණේ, එවැනි මූල්‍ය ආයතනවල අභ්‍යන්තර තොරතුරු ‘මූල්‍ය මණ්ඩලය’ දැනගෙන සිටිය හැකි වීමත්, එවැනි තැනක තමන්ම ආයෝජනය කරන විට ඒ මගින් වෙනත් වෙළදපොළ සහභාගීකරුවන් වෙත වැරදි පණිවිඩයක් නිකුත් විය හැකි වීමත් ය.

උදාහරණයක් වශයෙන් ගතහොත්, ‘සේවක අර්ථසාධක අරමුදල’ යම් මූල්‍ය ආයතනයක ආයෝජනය කරන විට, ඔවුන් එසේ කරන්නේ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ පූර්ව දැනුමක් සහිතව යැයි වෙනත් ව්‍යාපාරික ලෝකයා අනුමාන කළ හැකිය. ඒ අනුව, එම ව්‍යාපාරයේ තමන්ටත් ආරක්ෂා සහිතව ආයෝජනය කළ හැකි බව ඔවුන් සිතීමට ඉඩ තිබේ. අනිත් අතට, ‘සේවක අර්ථසාධක අරමුදල’ යම් ව්‍යාපාරයකින් ඉවත් වන විට, ඒ මගින්ද වැරදි පණිවිඩයක් වෙනත් ව්‍යාපාරික අංශ වෙත නිකුත් විය හැකිය. එනම්, එකී මූල්‍ය ආයතනය තුළ අනාගතයේ ඇති විය හැකි ආපදා තත්වයක් ගැන කලින් දැනගෙන ‘සේවක අර්ථසාධක අරමුදල’ එයින් ඉවත් වී යැයි කෙනෙකු සිතිය හැකි බැවිනි.

තවද, තමන්ගේ ආයෝජන පසුපස ඇතැම් මූල්‍ය සමාගම් පිළිබඳව වන පූර්ව දැනුමක් තිබී ඇතැයි යම් දවසක ‘සුරැකුම් සහ විනිමය කොමිසමේ’ දෝෂ දර්ශනයට තමන් ලක්වීමේ අවදානමින් ගැලවී සිටීමේ අවශ්‍යතාවක්ද මූල්‍ය මණ්ඩලයට තිබුණි.

සේවක අර්ථසාධක අරමුදල හරහා පෞද්ගලික බැංකු ජනතාකරණය කිරීම

මේ පූජණීය වාරණයන් 2010 න් පසු මූල්‍ය මණ්ඩලය උල්ලංඝණය කෙළේය. ඒ, පෞද්ගලික සමාගම් තුළ සියයට 5 ට වැඩි ආයෝජනයන් කිරීමෙනි. ඇතැම් ආයතන පාලනය කර ගත හැකි වන මට්ටමේ ආයෝජනයන් සඳහා ඉදිරිපත් වීම තුළිනි.

ඒ අනුව, ‘සේව්‍ය භාරකාර අරමුදල’ සහ රක්ෂණ සංස්ථාව වැනි රාජ්‍ය අංශයේ වෙනත් අරමුදල් භාවිත කරමින්, පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන වක්‍රාකාරයෙන් ජනතාකරණය කිරීමට, පැවති ආණ්ඩුවත් සමග එක්ව මූල්‍ය මණ්ඩලය කටයුතු කෙළේය.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශය සමග එක්ව, ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු කළමනාකරණය කිරීමට කටයුතු කළ මූල්‍ය මණ්ඩලය, ඒවායේ අධ්‍යක්ෂවරුන් පත් කිරීම සහ සභාපතිවරුන් නම් කිරීම ආදියටත් අත ගැසුවේය. මෙය, මූල්‍ය මණ්ඩලයේ පාලන ප්‍රතිපත්තිවලට මෙන්ම එහි ව්‍යවස්ථාපිත වගකීම්වලටත් ඉඳුරා පටහැනි ය. මෙසේ මුදල් මණ්ඩලය තමන්ගේ නීතිරීති උල්ලංඝනය කරමින් රටේ පවතින පෞද්ගලික බැංකු පාලනය කිරීමට කර ගැසුවේ මන්ද යන්න පිළිබඳ පරීක්ෂණ කළ යුතුව තිබේ.

නව යහපාලන ආණ්ඩුව පත්වීමත් සමගම, මේ ලිපි මාලාවේ කලින් ලිපියකදී, ‘සේවක අර්ථසාධක අරමුදල’ පුද්ගලික බැංකු ව්‍යාපාරවලින් වහා ඉවත්ව එම බැංකුවල කටයුතු ඔවුන්ට කරගෙන යාමට ඉඩ දිය යුතු බව මේ ලියුම්කරු පෙන්වා දී තිබේ. එහෙත් අළුත් ආණ්ඩුව කෙළේ, එතෙක් එම පෞද්ගලික බැංකුවලට කලින් ආණ්ඩුවෙන් පත් කොට සිටි අයවළුන් ඉවත් කොට තමන්ගේ නියෝජිතයන් එම තනතුරුවලට පත් කිරීමයි.

මේ නිසා දැන්වත්, 2010 න් පසු ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ආයෝජනයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන අතරේම, පෞද්ගලික මූල්‍ය අංශයෙන් ‘සේවක අර්ථසාධක අරමුදල’ වහා ඉවත් විය යුතුව තිබේ.

2016 නොවැම්බර් 07 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ
කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි
‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ වහා පරික්ෂණයක් පැවැත්විය යුතුය
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස)
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *