කරුමය පඩිසන් දෙයි ද? අහෝසි වෙයි ද? – නිශාන්ත කමලදාස

පෙබරවාරි

3

5:48 පෙ.ව.

admin


කරුමය කියන්නේ පඩිසන් දෙන එකකට ය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන්ම එයින් කියන්නේද හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව ය. පොඩි පරහකට ඇත්තේ තුන්වෙනි නියමයේ මෙන් ප්‍රතික්‍රියාව එකවරම ඇති නොවීමට ඉඩ හසර තිබීම ය.

කරුමය සම්බන්ධයෙන් ඉතාම අසාධාරණ කාරණය ද ඒක ය. පහුවී ක්‍රියාත්මක වන එක ය. 999 ක් මැරූ එකට පඩිසන් දෙන්නට වෙන්නේ අංගුලිමාල නම් මිනීමරුවාට නොව අංගුලිමාල නම් රහතන් වහන්සේ ට ය. අප්සෙට් එක ඇත්තේ එතැන ය. අසාධාරණය ඇත්තේ එතැන ය.

කරුමය පඩිසන් දීමේ සමස්ථ ක්‍රියාවලියම බහු භුතයක්ව ඇත්තේ ද ඒ නිසා ය. සමහර විට මේ ආත්මයේ කරන ලද කර්මයක ප්‍රතිඵල ලැබෙන්නේ ලබන ආත්මයේ ය. නැතිනම් ඊටත් පහුවෙලා ය. නැතිනම් වාර්ෂිකව පොලී ගෙවන බැංකුවක තැන්පතුවක් වගේ ආත්ම ගණනක දි කොටස් වශයෙන් ය. ඒ ද ඒ පිළිබඳ වගේ වගක් නැති ව ය. දැනුම් දීමකින් තොරව ය. යමක් පඩිසන් දුන්නහම ඒ කවර නම් පාප කර්මයක් අරභයා ද යන්න සඳහන් ලියවිල්ලක් අපට ලැබෙන්නේ නැත. කල්ප කාලයකට පහළ වෙන බුදු කෙනෙකු නැතිව ඒ කිනම් කර්මයක ප්‍රතිඵලය දැයි දැනගන්නට වෙන මගක් ද නැත. පව ඩබල් වෙලා දැනෙන්නේ ඒ නිසා ය.

කරුමයේ තවත් අපූරු පැති කඩ කීපයක් තිබේ. ඉන් එකක් නම් එය හිටිහැටියේ අහෝසි වී යාම ය. කිසිදු හේතුවක් නැතිව අතුරුදහන් වීම ය. ඒ කුමක් නිසා දැයි දන්නා කෙනෙකු නැත. බුදුන්ට පවා මග හැරිය නොහැකි යයි කියන (බණට කියන්නේ බුදුන් පවා සිය අවසන් සමයේ සුව කළ නොහැකි හිස රුදාවකින් පෙළුණු බව ය) කරුමය අහෝසි කරන බලවතා කවරෙක් දැයි කොතෙක් කල්පනා කළ ද සිහියට ආවේ නැත.

එක අතකට පව අහෝසි වී යන එක, එය මොන හේතුවකට වුනත්, හොඳ ය. එහෙත් ප්‍රශ්නය එය නොවේ. අහෝසි වන්නේ කර්මය මිසක පව නොවේ. එහි තේරුම පින ද අහෝසි වී යා හැකි බව ය. මල පනින්නේ බොහෝ මහන්සියෙන් රැස් කර ගත් පින් ද මේ ලෙස අතුරුදහන් වී යෑමේ හැකියාව ඇතැයි දැන ගත් විට ය.

එතැනින් නොනැවතී මේ අපූරු යාන්ත්‍රණය, කවදා කෙසේ කුමන තැනක වැඩ කරයි දැයි නොදන්නා මේ මළ ඉලව්ව, තව ප්‍රශ්න ගණනාවක් මතු කරන්නේ ය. මේ යාන්ත්‍රණය කවරකු විසින් හෝ ක්‍රියාත්මක කරන්නේ ද නැතිනම් සිදු වන්නේ ඉබේ ද? උඩ සිට අපේ හැම සිතුවිල්ලක් ම වචනයක් ම ක්‍රියාවක් ම බලා සිටිනා යම් තැනැත්තෙක් ඒ අනුව එක් එක් කර්මයට විපාක නියම කරනවා ද? ඒ ආත්මයේ නැතිව ලබන ආත්මයට කල් දැමීමේ තීරණය ඔහු හෝ ඇය විසින් ගනු ලබන්නේ ද? ඒ කුමන පදනමක් උඩ ද? අහෝසි කරනවා නම් අහෝසි කරන්නේ කුමන නිර්ණායක මත පිහිටා ද?

එසේ වන්නේ නම් ඒ තැනැත්තා සතුව පවතින ඩේටා බේස් එක (දත්ත පද්ධතිය) අතිශයින් දැවැන්ත හා සංකිර්ණ එකක් විය යුතු ය. අප කලින් කි කර්ම විපාක සම්බන්ධ තීරණ පමණක් නොව එහි ඓක්‍යය ද බලා කුමන ආත්ම භවයක කුමන ලෝකයක කවරකු විසින් මේ තැනැත්තා ඉපදවිය යුතු ද යන තීරණය ද ගැනීමට ඊට සිදු වන නිසා ය.

අප අසා ඇති අන්දමට කිසි දු දෙවි කෙනෙකු ද එසේ බලවත් නැත. බුද්ධ ධර්මයේ කියන අයුරින් නම් දෙවියන් අපට වඩා දුර්වල ය. අපට ඒ දෙවියන්ට පින්දෙන්නට සිදු ව ඇත්තේ ද ඒ නිසා ය. ඒ නිසා එය කෙනෙකු විය නොහැකි ය. එසේ නම් එය කිසියම් යාන්ත්‍රණයක් විය යුතු ය. එය එසේම යැයි කියමු. ඉතින් එයට දෙවියන් යැයි කීමේ වරද කුමක් ද? එතරම් සර්ව බලධාරී බලවේගයක් තිබිය දී එය පැත්තකින් තබා දෙවියන් යැයි වෙන කෙනෙකුට කිව හැක්කේ කාට ද?

අප අසා ඇති ආකාරයට සැප ඇති ලෝක ගණනාවකි. දුක ඇති ලෝක ගණනාවකි. අනේ වැරදුනා ය. මේ ලෝකයේ සැප යැයි හැඳින්විය හැකි දෙයක් තිබේ ද? සියල්ල දුක මැ යි. සැප යයි හගින දේ ද දුකක් මැ යි.

කළ හොඳ වැඩ ද අවසාන විශ්ලේෂණයේ දී දුක ම ඇති කරන බැවින් කිව හැක්කේ කළ හොඳ පවා පස්සෙන් එලවන බව ය. නැවත ඉපදීම දුක නිසා දිවිය ලෝකේ ඉපදුනත් ඒ ඉපදීම දුකක්ම වන්නේ ය.

දැන් නම් සියල්ල අවුල් ය. පැටලිලා ය. ලිහන්නට වෙන්නේ බණ අහලාම ය. බණ ට අනුව පවක් හෝ පිනක් නොකර සිටියොත් ඉපදෙන්නට නිමිත්තක් නැත. ඒ නිසා හොඳම වැඩය මුකුත්ම නොකර සිටීම ය. ගල්පර්වතයක් වගේ සිටීම ය. වෙනත් විදියකට කියන්නේ නම් පතෝලයක් වගේ සිටීම ය.

කට වැරදුනාවත් ද? ඒ පවෙන් ඊලග ආත්මයේ පණුවන් විසින් අනුභව කර අවසානයේ දිය සැලියක පැසෙන්නට වන පතෝලයක් වත් වී ඉපදේ ද? දැන් මට බිය ය.

දැන් කරන්නට ඇත්තේ එකම එකකි. ඒ කැළණි විහාරයට යෑම ය. උපන්දා සිට කරපු පවු සමග මේ පවත් ෂේප් කර ගත හැකි එකම මග ඒක ය.

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *