ඔන්න බොලේ කරත්තෙ යනවා – මහින්ද රත්නායක ආණ්ඩුව ඇදගෙන යාමට සිදුව තිබෙන්නේ ජනතාවටයි

නොවැම්බර්

16

9:53 ප.ව.

admin

වත්මන් ආණ්ඩුවත්  බරකරත්තයක් වාගේ ය. උපහාසාත්මක උපමාවක් වන මෙය, බර කරත්තයෙන් සංකේතවත් වන්නේ අකාර්යාක්ෂමතාවය ය. යල්පැන ගිය යන්නට ද මේ උපමාව යොදාගත හැක. බර කරත්ත ධාවනය වන්නේ  යාන්ත‍්‍රික බලයෙන් නොව සත්වයින්ගේ බලයෙනි. ආණ්ඩුව බරකරත්තයක් බව මා කීවේ ඒ අර්ථයෙනි. යාන්ත‍්‍රිකව ධාවනය නොවන මේ ආණ්ඩුව ද ධාවන කළහැකි හැකි වන්නේ සත්වයන් වන මිනිසුන්ට ය. පසුගිය මාස 4 තුළ විවිධ බලවේගයෝ තමන් කැමති දිසාවට මේ ආණ්ඩුව පදවාගෙන යන්නට තැත් කළ හ. එහි ප‍්‍රතිඵලය වූයේ  මොන දිසාවකටවත් නොයා ආණ්ඩුව එකතැන නතරවීම ය.  බලය තව ටිකක් යෙදුවොත් තමන්ගේ දිසාවට ආණ්ඩුව පැදවිය හැකි බව  ආණ්ඩුව තුළ සිටින ජාවාරම්කාරයෝ කල්පනා කළ හ.   විපක්ෂයේ ජාවාරම්කරුවන් ඇවන්ට්ගාඞ් සිද්ධිය හරහා තිලක් මාරපනට සහ විජේදාස රාජපක්ෂට සහාය දීමට පැමිණියේ ඒ අනුව ය.

මාස හතරක් පුරාවට නිසොල්මනේ බලා සිටි ජනතාව ඔවුන්ගේ දිසාවට කරත්තය  ඇදෙන්නට දුන්නේ නැත. නොව මාස හතරක් එකතැන නතර වී තිබුණු කරත්තය ඉදිරියට ඇදෙන්නට පටන්ගත්තේ ය.   ඇවන්ට්ගාඞ් සිද්ධියට එරෙහිව ජනතාව එල්ල කළ පීඩනයත් සමග මහින්ද රාජපක්ෂගේ සිට සියළුම දූෂිතයින් පිළිබඳ කෙරෙන පරික්ෂණ දැන් කඩිනම් වී  ඇත. රාජ්‍යයේ රෝදවලට තිරිංග දමාගෙන සිටි   රාජ්‍යයේ  ඉහළ  නිලධාරින් 13  දෙනෙකු ඉවත් කිරීමට සුදානම් බව ද වාර්තා වේ.

රාජ්‍යයේ අවශ්‍ය ප්‍රතිසංවිධානය

පවතින රාජ්‍ය යන්ත‍්‍රණය ඉවත්කර නව යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරගැනීමෙන් තොරව ජනතාවගේ අභිලාෂයන් ඉටුකරගත නොහැකි බව වාමාංශිකයෝ කියති. මෙම අදහස් වැරදි බව යමෙකුට කිවහැකි නමුත් පවතින රාජ්‍යය කිසියම් ප‍්‍රතිසංස්කරණයකට හෝ භාජනය නොකර ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීමට නොහැකි බව නම් උක්ත සිදුවීම් වලින් මොනවට පැහැදිළි ය. සැබවින්ම පසුගිය මාස හතරක කාලය තුළ මොනම ආකාරයකටවත් රාජ්‍ය යන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරගැනීමට නායකයින් දෙදෙනාටම අපහසු වූ බව ප‍්‍රකට සත්‍යයකි. රාජ්‍යයේ දූෂිත නිලධරය, දූෂිත දේශපාලනඥයින්  සමග තිබෙන සම්බන්ධය මොනතරම් බලවත් ද යන්න එයින් ප‍්‍රකට විය. අපේක්ෂිත පරිවර්තනය කර ගැනීමට නම් හැකි ඉක්මනින් රාජ්‍ය ව්‍යුහය ප‍්‍රතිසංස්කරණය කළයුතුවේ.

ජනතාව දුන් පණිවිඩය

මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී ජනතාව ජනාධිපතිට හා අගමැතිට ප‍්‍රභල පණිවිඩයක් දුන්නේ ය. ඒ පණිවිඩයෙන් කියැවුනේ වෙනදා මෙන් ආණ්ඩුවට කොන්ත‍්‍රාත් එක භාර දී තමන් ගෙදරට වී සිටිමට සුදානම් නැති බව ය.  තීන්දුව පාර්ලිමේන්තුවට භාරකළ ජනාධිපතිවරයාට ජනකාය දුටුවිට  විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කරන බව සපථ කිරීමට සිදුවිය. සාධාරණ සමාජය පිළිබඳ සෝභිත හිමියන්ගේ බලාපොරොත්තුව ඉටුකරන බව අගමැතිවරයාට කීමට සිදුවූයේ ද ඒ නිසාවෙනි. නායකයින් දෙපල ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන බව නැවත නැවතත් කියන්නට සිදුවන්නේ වෙනදා මෙන් ජනතාව නිහඬව සිටීමට සූදානම් නැති බව දැණෙන නිසා ය.

අක‍්‍රියව තිබූ ආණ්ඩුව ක‍්‍රියාත්මකවීමේ අනික් ප‍්‍රතිඵලය වී ඇත්තේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තම ග‍්‍ර‍්‍රහණයට ගැනීමට ජනාධිපතිවරයා සමත් වීම ය. වෙනත් පක්ෂ සහ කණ්ඩායම් පවත්වන රැුස්වීම්වලට සහභාගිවීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රිවරුන්ට දැන් තහංචි පනවා තිබේ. මෙයින් ද පෙනීයන්නේ ආණ්ඩුව ක‍්‍රමානුකූලව ශක්තිමත් වන බව ය.  ආණ්ඩුව ජනතාවගේ පීඩනයට ලක්වන ප‍්‍රමාණයට ආණ්ඩුව ස්ථාවර වෙනවා පමණක් නොව මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිවාදි නඩය දුර්වල වන්නේ ය. රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂ සන්ධානය ශක්තිමත් වූයේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කළකිරෙන ප‍්‍රමාණයට ය. මේ නිසා ආණ්ඩුවේ ක‍්‍රියාකාරත්වය පවත්වාගෙන යන අතරම තම මිතුරු බලවේග අමනාපකර නොගැනීමට තරම් ආණ්ඩුව  උපායශිලි විය යුතු ය.

අර්ථසාධකයේ ප්‍රශ්නය

උදාහරණයක් ලෙෂ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සම්බන්ධයෙන් අගමැතිවරයාගේ යෝජනාව ගතහැක. රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහිව පළවෙනි වෙඩි මුරය පත්තුවූයේ අර්ථසාධක මුදලට අත තැබීමට ගොස් ය. අගමැතිවරයා කියන ආකාරයට එම අරමුදලේ රුපියල් ටි‍්‍රලියනයක් හෙවත්  දසදහස් ප‍්‍රකෝටියක් තිබේ.  එය ශි‍්‍ර ලංකාවේ ඇති සියලූම පොද්ගලික බැංකුවල වත්කමට ආසන්න මුදලක් බව කියැවේ. ඉතාමත් තද කොන්දේසි සහිත පනතක් යටතේ ස්ථාපිත කරඇති ඒ අරමුදල මහ බැංකුවේ සුරක්ෂිතව පවතී. ශ‍්‍රමයේ අතිරික්තයක් වන මෙම මුදල ගොඩනැගී ඇත්තේ කම්කරුවන්ගේ ලේ, කඳුළු සහ දහඩියෙනි. මේ මුදලෙන් කොටසක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල යෙදවීමෙන් කම්කරුවන්ට ප‍්‍රතිලාභ අත්කර දෙයි. තවත් සීමිත මුදලක් කොටස් වෙළඳ පොලේ ද ආයෝජනය කෙරේ. පනතේ ඇති එක කොන්දේශියක් වන්නේ බ්ලූ චිප් හෙවත් අවදානමක් නැති සමාගම්වල කොටස් ලබාගතයුතු බව ය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ගේ පාලන සමය තුළ ඉහළ මිල ගණන්වලට තම හිතවතුන්ගේ පාඩු ලබන සමාගම්වල මේ මුදල් ආයෝජනය කළේය. මෙයින් වූ පාඩුව රුපියල් කෝටි ගණනකි.

අගමැතිවරයා කියන්නේ නිළධාරින්ට හා දේශපාලනඥයින්ට අත පෙවිය නොහැකි ආකාරයට ඒ අරමුදල් දෙක එක්කර  අරමුදලක් ගොඩනගන බව ය. දැන් පවතින ක‍්‍රමය තුළ දේශපාලනඥයින්ට   ඒ මුදල් අපහරණය කළහැකි හෙයින් මෙසේ කරන බවයි ඔහු අගවන්නේ. එසේ නම් එය තිබෙන ආකාරයටම තිබෙන්නට හැර දේශපාලනඥයින්ට අපහරණය කළ නොහැකි ආකාරයට ඒ පනත සංශෝධනය කළ හැක. මෙහි ඇත්ත කථාව වන්නේ වත්කම් හිගයක සිටින ආණ්ඩුවට වත්කම් සොයාගැණිම ය. අරමුදල සුරක්ෂිතකර, වඩාත් ඵලදායි ලෙෂ එය ආයෝජනය කරන්නට හා ඒ මගින් දැනට වඩා කම්කරුවන්ට ප‍්‍රතිලාභ දෙන්නට වත්මන් ආණ්ඩුව අදහස් කරනවා වෙන්නට ද පුළුවන. එසේ නම් කළ යුතු වන්නේ ඒ කරන්නට යන දේ කුමක් ද යන්න වෘත්තිය සමිති දැනුවත් කිරීම ය. ඒ තුළින් කම්කරුවන් ද දැණුවත් වේ. සැබවින්ම ආණ්ඩුවටත්  උපකාරයක්  වන සහ කම්කරුවන්ටත් ප‍්‍රතිලාභයක් ලැබෙන බව ඒත්තු ගන්වන්නට ආණ්ඩුවට හැකිනම් දෙපාර්ශවටම එකගතාවයකට ඒමට අපහසුවක් නැත.

වරද්දා නොගත යුතුය

එසේ නොකර මේ ප‍්‍රතිසංස්කරණය කරන්නට ගියහොත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ආණ්ඩුව නිර්මාණ කරගන්නට පුළුවන. ජාතිවාදයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රිය බලවේග විරසක කරගැනීම මේ මොහොතේ එතරම් සුභදායක නැත. ඉදිරියේ දී ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ  වැඩකටයුතු ද ආරම්භ කිරීමට නියමිතය. මෙහි දි ජනවාර්ගික ප‍්‍රශ්නය මගහැර යා නොහැක. මෙහිදි ජාතිවාදින් තම සුපුරුදු කලබලය ඇත්කරනවා නොඅනුමාන ය. දේශපාලන විසඳුමකට කවදත් පක්ෂ  කම්කරු පංති සංවිධන සතුරන් කර නොගැනීමට තරම් ආණ්ඩුව ප‍්‍රවේශම් වියයුතුව ඇත.

මේ ආණ්ඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මෛත‍්‍රි- රනිල් ආණ්ඩුවකි. මැති ඇමතිවරු වැඩිදෙනා කල්පනා කරන්නේ තම තමන්ගේ පක්ෂ වල ආණ්ඩු පිහිටුවා ගැනීමට ය. රට මුහුණ දී ඇති වත්මන් අර්බුදයෙන්  බෝට්ටුව නොසොල්වා ගොඩ යායුතු බවට අවබෝධයක්  ඇත්තේ නායකයින් දෙදෙනාට පමණි. ශ‍්‍රිලනිපයේ හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඔවුනොවුන්ට කරගන්නා චෝදනාවලින් පෙනෙන්නේ රට තිබෙන තැන ගැන ඔවුන්ට මෙලොව අවබෝධයක් නොමැති බව ය. අවාසනාව  වන්නේ නායකයින්ට යමක් වරදින්නේ නම් නිවැරදි මාවතට ගැනීමට තරම් දක්ෂ කැබිනට් සගයන් නොමැතිවීම ය. එසේ සිටින්නේ නම් ආණ්ඩුව මෙයිට වඩා උපායශිලි වනු ඇත.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *