ඒකාබද්ධයේ දෙබිඩි කතා – සී. ජේ. අමරතුංග

දෙසැම්බර්

30

7:50 පෙ.ව.

admin

 

ඒකාබද්ධ විපක්ෂය දිගටම කතා කරමින් හිටියේ ව්‍යවස්ථා මර උගුලක් සම්බන්ධයෙනි. එනම් පළාත් සභාවලට වැඩි බලතල දෙන්න දරන උත්සාහයක් පිළිබඳවය. නමින් විතරක් ඒකීය නමුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට හදන බවට චෝදනා නැඟිණි. එවිට කීවේ මධ්‍යම ආණ්ඩුවට පාලනයක් නැතිකොට පළාත් සභා බලවත් කරන්නට හදනවාය කියාය.

ඒ කතාව එහෙම කියන ගමන්ම ඔවුහු දැන් තවත් කතාවක් කියති. ඒකෙන් කියන්නේ ආණ්ඩුව පළාත් සභා බලතල උදුරාගන්නට හදන බවය. පළාත් බලය යටපත් කරන සුපිරි ඇමැතිවරයෙක් ඇතිකරන්නට යන බවය. ජනාධිපතිතුමාගේ බලයද ඉක්මවා යන බලයක් සහිත සුපිරි ඇමැතිවරයකු ගැන මොවුන් කියන්නේ රටේ ව්‍යවස්ථාව අනුව කොයි ඇමැති පත් කරන්නේත් ජනාධිපතිතුමා විසින් බවද අමතක කරමිනි. මොන පනතින් කුමක් කීවත් ඒ කිසිවකට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභවා යන්නට බැරි බවද අමතක කරමිනි.

විපක්ෂය මෙලෙස දෙපැත්තකින් කියන්නේ එකිනෙකට පටහැනි කතා දෙකක් බව ඔවුනට වැටහෙන්නේ නැත. එකකින් කියන්නේ පළාත් සභා බලවත් කරන ව්‍යවස්ථා උගුලක් ගැනයි. අනෙකින් කියන්නේ පළාත් සභා බලතල පවරා ගන්න බවයි. මෙලෙස ඔවුන් කකුල කටේ දමාගන්නේ ආණ්ඩුවට එරෙහිව කටට එන ඕනෑම දෙයක් කීමේ පුරුද්ද නිසා විය යුතුය.

කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රචාරයෙන් ඔවුනට යම් ජයග්‍රහණයක් අත් වී ඇති බව පෙනෙන්නට තිබේ. එයට හේතුව නම් පළාත් සභා හා ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ද විපක්ෂයේ ප්‍රචාරයේ ගොදුරු බවට පත්වීමය. එයින් ජාතික සංවර්ධන පනත තාවකාලිකව පසුබැස්මකට ලක්ව ඇත. එය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයටද පසුබැස්මක් වීමට ඉඩ නැතුවා නොවේ. ඒ කියන්නේ රටද පස්සට යාමයි. ඉඩ නොදිය යුත්තේ ඒකටය.

සුපිරි ඇමැතිකම

ආණ්ඩුව කියන්නේ සුපිරි ඇමැතිවරුන් බිහිකිරීමක් නව පනතින් සිදුනොවන බවයි. එයින් කෙරෙන්නේ ආයෝජකයන්ට පහසුකම් සැපයීමට ආයතන පද්ධතියක් නිර්මාණය කිරීමයි. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට මෙය විශේෂයෙන් වැදගත්ය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා අනුමැතිය එකම ස්ථානයකින් ලබාදීමත්, ඒ සඳහා රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීමත් අවශ්‍යය. එවැනි ආයතනයකට අවශ්‍ය ප්‍රමාණයේ බලය පැවරීමක්ද සිදුකළ යුතුය.

ආර්ථික සංවර්ධනයේදී මෙබඳු ක්‍රමවේද යොදාගැනීම අවශ්‍ය වන්නේ මෙරට රාජ්‍ය ආයතන බොහොමයක පවතින අලසභාවය නිසාය. වැඩ ප්‍රමාදවීම නිසාය. එමෙන්ම ආයෝජනයක් කිරීමට සැරසෙන ව්‍යාපාරිකයකුට ඒ සඳහා ආයතන විශාල ගණනක රස්තියාදුවීමට සිදුවන නිසාය. එම කාලය ඇතැම්විට වසරක් එකහමාරක් හෝ දෙකක් විය හැකිය. දේශීය ආයෝජකයන් නම් වෙන කරන්න දෙයක් නැති නිසා කෙසේ හෝ කාලය නාස්ති කරමින් මෙම අනුමැතිය ගනු ඇත. විදේශ ආයෝජකයන් එසේ බලා සිටින්නේ නැත.‍ ඔවුනට යන්නට වෙනත් ඕනෑතරම් රටවල් දැන් විවෘතය. ඔවුන් මෙරට නවතින්නේ ඔවුන්ගේ කාර්යය මෙරටදී ඉක්මනින් කර දෙන්නේ නම් පමණකි. නව ආයතන හා ව්‍යුහ අවශ්‍ය වන්නේ ඒකටය.

ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැඟීමේදී රාජ්‍ය ආයතනවල පවතින අලසකම හා ප්‍රතිරෝධය අද ඊයේ ඇති වූ දෙයක් නොවේ. මෙය මෙරට පාලනය කළ බොහෝ ආණ්ඩුවලට මුහුණදීමට සිදුවූ ගැටලුවකි. එයට වරින්වර එකිනෙකට වෙනස් ක්‍රියාමාර්ග හඳුන්වාදීමට සිදුවිය.

නවසිය හැත්තෑව හැත්තෑහත කාලයේදී එවකට පැවැති සමගි පෙරමුණු රජය දේශපාලන අධිකාරිය නම් ක්‍රියාමාර්ගයක් හඳුන්වාදී තිබිණි. එනම් රාජ්‍ය ආයතනවලට නියෝග දී ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලියකි. ඒ කාලයේ කීවේ රාජ්‍ය ආයතනවල නිලධාරිවාදය පරාජය කිරීමට මෙම ක්‍රමය අවශ්‍ය බවයි.

ඉන්පසුව බලයට පත්වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජයයි. එමඟින් විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ සංවර්ධනය කඩිනම් කිරීමට එය අවශ්‍ය බව කියමිනි. එම රජයේ ප්‍රධාන සංවර්ධන ක්‍රමයක් වූ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය නම් බලගතු ආයතනයක් නිර්මාණය කරනු ලැබීය. විදේශ ආයෝජන ලබාගැනීමට මහ කොළඹ ආර්ථික කොමිසම නිර්මාණය කළේය. එදා රාජ්‍ය ආයතන මෙහෙයවාගෙන ආර්ථික සංවර්ධනය වේගවත් කළේ ඒ ආකාරයෙනි.

පසුකාලීනව බලයට පැමිණි ආණ්ඩුවලටද මෙම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවිය. විදේශ ආයෝජකයන්ට පමණක් නොව දේශීය ආයෝජකයන්ටද රාජ්‍ය ආයතන සමඟ ඇතිවන ගැටලු විසඳාදීමට නොයෙකුත් ක්‍රමවේද නිර්මාණය කරන්නට සිදුවිය. ඒ සඳහා යොදාගත් එක ක්‍රමයක් නම් ආයෝජකයන්ගේ ප්‍රශ්න විසඳාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ කමිටුවක් පවත්වාගෙන යාමයි. විවිධ ක්ෂේත්‍රවල වගකීම් දරන ප්‍රබල ඇමැතිවරු එම කමිටුවල සාමාජිකයෝ වූහ.

එබඳු කමිටු හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට මෙම ලියුම්කරුටද අවස්ථාව ලැබිණි. ඒ යුක්තිය පුවත්පත වසා දැමීමෙන් පසුව කෙටි කලක් රැකියාවක් නොමැතිව සිටියදී කුඩා ජල විදුලි ව්‍යාපෘතියකට සම්බන්ධව සිටියදීය.

යල් පිනූ ආකල්ප

ජල විදුලි ව්‍යාපෘති පරිසර හිතකාමී බව පිළිගෙන ඇතත් ඇතැම් රජයේ නිලධාරින් මෙන්ම සමහර පරිසරවේදීන්ද එය සලකන්නේ පරිසරය වැනසීමක් වශයෙනි. එයට හේතුව බලාගාරයක් ගොඩනඟන අවස්ථාවේ යම් පරිසර බලපෑමක් සිදුවීමයි. එසේ වූවද මෙගාවොට් එකක එබඳු බලාගාරයකින් නිපදවන විදුලිය තාප විදුලියෙන් ලබාගතහොත් වායුගෝලයට වසරකට නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය කිලෝ මිලියනයකට වැඩිය. එම ප්‍රමාණය උරාගැනීමට වනයේ ගස් හතළිස් දහසක් අවශ්‍යය. එනම් හෙක්ටයාර් පනහකට වැඩි වනයකි. එහි තේරුම නම් එක් බලාගාරයක් ඉදිකිරීම හෙක්ටයාර් පනහක එනම් අක්කර එකසිය විසිපහක වනයක් වැවීමට සමාන ප්‍රතිලාභ පරිසරයට ලබාදෙන බවය. දැනට මෙරට ක්‍රියාත්මක වන කුඩා විදුලි බලාගාරවල සමස්ත දායකත්වය සිංහරාජ වනය මෙන් වනාන්තර තුනකින් ලැබෙන ප්‍රමාණයට සමානය. එබඳු ව්‍යාපෘති දිරිමත් කිරීම රටටත් ආර්ථිකයටත් එමෙන්ම පරිසරයටත් අතිශයින් ප්‍රයෝජනවත්ය.

කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ මෙබඳු කරුණු සලකා නොවේ. ඔවුන්ට ඔවුන් විසින්ම පනවා ගත් නීති රීති කොන්දේසි ඇත. ඒවායින් බලන්නේ වැඩේ නොකෙරෙන පැත්තට හරවන්නටය. එවැනි දේ ක්‍රියාවට නැඟීමෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. යම් යම් ප්‍රතිලාභ ලැබෙන්නේ නම් මේ තීරණ වෙනස්විය හැකිය.

දේශපාලනයට අවශ්‍ය දෙය

දේශපාලන අධිකාරියට තිබෙන්නේ වෙනත් වුවමනාවකි. ඔවුනට රට සංවර්ධනය කිරීමේ යම් වුවමනාවක් ඇත. රටේ ආර්ථිකය වර්ධනය නොවුණහොත් බැනුම් අහන්නෝ ඔවුහුය. ගැටුම පවතින්නේ එතැනය. කැබිනට් අනුකමිටු ආදිය මඟින් ආයෝජකයන්ගේ ප්‍රශ්න විසඳන්නට හදන්නේ ඒ නිසාය.

මෙම ලියුම්කරු සම්බන්ධ වී සිටි ව්‍යාපෘතියට ඇති වූ ප්‍රශ්නද එබඳු කැබිනට් අනුකමිටුවකට යොමුකිරීමට සිදුවිය. එබඳුම ප්‍රශ්න රැගත් ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් කමිටු ඉදිරියට පැමිණ සිටියහ.

පළමුවරට එම කමිටුව හමුවට මෙම ලියුම්කරු යද්දි එහි ප්‍රධානියා ලෙස සිටියේ අනුර බණ්ඩාරනායක මහතාය. දෙවැනි වර යද්දි මංගල සමරවීර මහතා මුලසුනේ සිටියේය. තෙවැනි වර සිටියේ සරත් අමුණුගම මහතාය. සිව්වැනි වාරයේ සිටියේ ජනාධිපති පදවියට පත්ව සිටි මහින්ද රාජපක්ෂ මහතාය. එදින රජයේ ආයතන රාශියක් මෙන්ම ආයෝජකයෝ විශාල පිරිසක්ද පැමිණ සිටියෝය.

ආයෝජකයන්ගේ ප්‍රශ්න විසඳීමට එක කලෙක ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ එබඳුය. එයද එතරම් සාර්ථක වූවක් යැයි කිව නොහැකිය. ඊළඟට සිදුවූයේ දේශපාලන බලයෙන් රජයේ නිලධාරින්ට නියෝග දෙන සුපිරි ඇමැතිවරුන් බිහිවීමයි. එහිදී වැඩකිරීමේ ක්‍රමවේදය වූයේ නීතිය නොවේ. තර්ජන, ගර්ජන හා කුණුහරුප ආදියයි. රජයේ නිලධාරින්ට සිදුවූයේ හික්මීයන් මෙන් සුපිරි ඇමැතිවරුන්ට කීකරුවීමටය.

බොහෝවිට මෙම සහයෝගය ආයෝජකයන්ට නොමිලේ ලැබුණේ නැත. ඒවාට ගෙවීමට මිලක් තිබිණ. මුලදී ටෙන් ප්‍රසන්ට් විය. පසුව වාර්තා වූයේ ෆිප්ටීන් ප්‍රසන්ට් වී ඇති බවය. විදේශ ආයෝජකයන් බොහෝදෙනකු ආපසු හැරී ගියේ එලෙස මුදල් ගෙවන්නට නොකැමැත්ත නිසා බව කියති.

දැන් එබඳු සුපිරි ඇමැතිවරුන් නැත. එසේ වූවද ආයෝජකයන් මුහුණදෙන ප්‍රශ්නය නොවිසඳුවහොත් වන්නේ තවත් සුපිරි ඇමැතිවරුන් බිහිවීම විය හැකිය. එයට ඉඩකඩ අහුරාදැමිය යුතුය. නීත්‍යානුකූල විධිමත් ආයතන පද්ධතියක් අවශ්‍ය වන්නේ ඒකටය.

නව පනතේ ආයතන පහක ව්‍යුහයක් සඳහන්ය. පළමුවැන්න ජාතික ප්‍රතිපත්ති සම්පාදනයටය. එය කරන්නේ විෂය භාර ඇමැතිවරයා හා ඔහු විසින් පත්කරගන්නා කණ්ඩායමක් මඟිනි. එහි කිසිදු සුපිරිබවක් නැත. එයින් හදන ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන් සම්මතවිය යුතුය. සුපිරි බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. ප්‍රතිපත්ති සම්පාදනයේ බලය ඇත්තේ මධ්‍යම රජයට නිසා මෙයින් පළාත් සභාවලට සිදුවන බලපෑමක්ද නැත.

දෙවැනි නියෝජිතායතනය හදන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමටය. එයටද සුපිරි බලයක් නැති බව පැහැදිලිය.

ඇත්ත තත්ත්වය

නව පනත මඟින් බිහිවන සුපිරිම ආයතනය ග්‍රාමීය නවීකරණ මණ්ඩලයයි. එහි ප්‍රධානියා ජනාධිපතිවරයාය. අගමැති, විෂය භාර ඇමැති, පළාත් මහ ඇමැතිවරු හා ජනාධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයන් හත්දෙනෙක් එහි සාමාජිකයෝ වෙති. පැහැදිලි ලෙසම මෙහි සුපිරි බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පළාත් මහ ඇමැතිවරුන්ටද මෙහි සාමාජිකත්වය ලබාදී ඇත. සියලුම මහ ඇමැතිවරුන් මෙයට සහභාගිවූවිට එයම ඔවුන්ට මහ බලයක් වනු ඇත.

ඊළඟ ආයතනය තිබෙන්නේ ග්‍රාමීය නවීකරණ මණ්ඩලයේ වැඩසටහන් ක්‍රියාවට නැඟීමටය. එය පෙර කී බලයට යටත් ආයතනයකි.

නව පනතින් යෝජිත අනෙක් ආයතනය ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නියෝජිතායතනයයි. විදේශ ආයෝජන සඳහා පහසුකම් සැපයීමද මෙම ආයතනයේ කාර්යයකි. ජනාධිපතිට වඩා බලවත් සුපිරි ඇමැතිවරයෙක් බිහිවන බවට හා පළාත් සභා බලය පැහැරගන්නා බවට විපක්ෂය කරන චෝදනාව අමු පචයක් බව මෙම ව්‍යුහය දෙස බලනවිට පැහැදිලි විය යුතුය. එබඳු බේගල් දෙසා බා රට නොමඟ යැවීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ හුදෙක් බලය ලබාගැනීම හැර රටේ යහපත ගැන අබමල් රේණුවක හැඟීමක් ඔවුන් තුළ නැති නිසා විය යුතුය. ආණ්ඩුවේ වරද වන්නේ මෙබඳු දෑ සිදුවිය හැකි බව කල්පනාවට නොගැනීම හා ඒවාට ඉක්මනින් පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවීමයි. යහපාලන ආණ්ඩුවක් තිබුණාට මේ රටේ යහපත් විපක්ෂයක් නැති බවත් විපක්ෂයක් ලෙස මතුවන්නට හදන්නේ හොරුන්, තක්කඩියන් හා බොරුකාරයන් පිරිසක් බවත් ආණ්ඩුව වහාම තේරුම්ගත යුතුය. ඒ අනුව සියලු ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුය. බොරු බේගල් මඟින් ජනමතය අවුල් කරන්නට විපක්ෂයට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කර ගැනීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රමුඛතාවය විය යුතු බව පෙනෙන්නට තිබේ.

සී. ජේ. අමරතුංග

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *