එන්රිකේ ඉග්ලේසියාස් පිළිබඳ ගීතය සහ රංගනය- සරත් ද අල්විස්

ජනවාරි

9

5:54 ප.ව.

admin

“සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලු දෙයකටම, ලාලිත්‍යය සහ ප්‍රමෝදය දායාද කරයි.”
– ප්ලේටෝ

අඳුරු අතීතය මතක් කර දීම, ස්වකීය විවේචකයන්ට වර්තමාන පාලකයන් සපයන සුපුරුදු පිළිතුර බවට පත්ව ඇත. ඇත්ත. අන්තර්ජාලයට දැන් නිදහසේ අවතීර්ණ විය හැක. මහජන විරෝධාකල්පවලට නිදහස ලැබී ඇත. ප්‍රජාතන්ත්‍ර-විරෝධී රාජ්‍ය ක්‍රමයේ අඬුපඬු ගලවා ඇත. ආපදාවක් ඇති වේදෝ යන බියෙන් සැකෙන් තොරව දැන් අපි ලියමු. කියමු. ඒ වෙනස ඇති වුණේ, ‘ගැලවුම්කාරයාට’ තුන්වැනි වාරයකුත් දීම ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට, රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රතිඥාව දුන් ‘ප්‍රතිසංස්කාරකයෙකු’ පත්කර ගැනීමත් සමගයි.

සාධාරණ සමාජයක්

එය සිදු වුණේ කෙසේද? එය සිදුවුණේ පුරවැසියන්ගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි. එම මෙහෙයුම ඒකාබද්ධ කෙළේ, ‘සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ’ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අසාමාන්‍ය නායකත්වයේ පුරෝගාමීත්වයෙනි. එය සාර්ථක කෙළේ ජනතාවයි. එකී ගෞරවය අප දෙන්නේ, ‘ජනතාව වන අපිට’ ය. වෙන කිසිවෙකුට නොවේ.

සෝභිත හිමියන්ගේ දූත මෙහෙය වුණේ, මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු පත්කර ගැනීම නොවේ. ඔහුගේ ප්‍රකාශිත අරමුණ වුණේ, ‘සාධාරණ සමාජයකි’. සිවුරක් දරාගෙන ඉතා වේගයෙන් ගිහි ශාන්තුවරයෙකුගේ කීර්තියක් දිනා ගැනීමට උන්වහන්සේට හැකි වීම, මීට වසරකට කලින් ඇති වූ දේශපාලනික විපර්යාසයේ වැදගත් ලක්ෂණයකි.

මේ ආ-ගිය කතා ලියුම්කරුගේ කල්පනාවට ආවේ, පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිගේ කතාවකට සවන්දෙද්දී ය. ‘ප්‍රේමය සහ රතිය’ නැමැති සංගීත ප්‍රසංගයටත්, තනපටයක් වීසි වීමේ හුටපටයකටත් එරෙහිව ජනාධිපතිවරයා අම්පාර නගරයේදී කළ දෙහි කැපිල්ල මොහු උඩ පැනගෙන අනුමත කෙළේය. මඩු වලිගයෙන් තැලිය යුතු බවට එහිදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට එරෙහිව නැගී සිටි විවේචකයන් පසුගිය ආණ්ඩු කාලයේ නම් මෙසේ කෑකෝ ගසනු නැතැයි කී ඔහු, එසේ විණි නම් ‘ගෝඨාගේ මදාවියන්’ ඒ ගැන වගබලාගනු ඇතැයි ඉඟි කෙළේය.

අසාද් සාලිගේ ප්‍රකාශයට අපූරු ආකාරයකින් සම්පාතව, කොළඹ පුරපති මුසාමිල්ද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීය. ජනවාරි 8 වැනි දා තෙක් බලය හෙබැවූ ඔහුගේ උඩු රැවුල්කාර පැරණි හාම්පුතාගේ අනුශාසකත්වයෙන් ඔහු වැජඹුණු අගනුවර, මින් මතු කිසි දවසක ඉහත කී සංගීත ප්‍රසංගයේ සංවිධායකයන්ට ප්‍රසංග පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බව ඔහු එහිදී කීය. ඔහුගේ පුරපති විශිෂ්ඨතා ගැන මතක තියාගෙන සිටි මිලියනයකට ආසන්න අගනගර වැස්සෝ ඔහුගේ බිරිඳට මනාප ඡන්ද 20,000 ක්වත් නොදී පසුගිය ඡන්දයෙන් පරාජය කළහ.

සිංහල බෞද්ධ සාරධර්ම ඛාදනය වීම ගැන ධර්මිෂ්ඨ කෝපයට පත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සුළු ජාතික දේශපාලඥයන් දෙන්නෙකු විසින් එසේ ආරක්ෂා කරනු ලැබීමට යටින් ඇති අනුප්‍රාසය පැහැදිළි ය. ඔබේ නිදහස් අයිතීන් ස්ථාපිත කොට තිබේ. එබැවින් කෘතඥ වන්න.

ජනාධිපතිවරයා ‘වෙබ්කාරයන්ට’ පිඹීම

ප්‍රසංගය පැවති ස්ථානයෙන් ඉතා ඈතක සිට ඒ ගැන තියුණු විවේචනයක් කළ ජනාධිපතිවරයා ඊට දින කිහිපයකට පසු නැවතත් ඒ මාතෘකාවට පිළිපන්නේය. ඔහු කෙරෙහි සයිබර් අවකාශයේ සිට එල්ල වන විවේචන සැළකිල්ලට ගනිමින් ඔහු කීවේ, මේ ‘වෙබ්කාරයන්’ හෙළුවෙන් පාරේ යාමට ඉල්ලන බවකි.

එය නම් ඇත්තෙන්ම මුස්පේන්තු ප්‍රකාශයකි. ඔහුට ඔහුගේ ඇමති එස්. බී. දිසානායක ගැන අමතක විය. පසුගිය ජනාධිපතිවරණයේදී මේ ඇමතිවරයා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගැන කීවේ, ‘බිම දාලා, පාගලා, රෙදි ගලවලා, පාරේ ඇවිද්දවිය යුතු’ බවකි.

දේශපාලඥයාට වඩා සාමාන්‍යයෙන් ඉදිරියෙන් සිටින ඡන්දදායකයා පසුගිය මහ මැතිවරණයේදී ඔහුව පරාජය කරමින් හොඳ පාඩමක් ඉගැන්නුහ. එහෙත් ප්‍රතිසංස්කාරක ජනාධිපතිවරයා එම පුද්ගලයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. ඔහු ප්‍රයෝජනයට ගත්තේ, ජනතා කැමැත්ත මගහැර යා හැකි නීතිමය අවසරයකි.
පුවත්පත් වාර්තා සත්‍ය නම්, එක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පුරුෂ ශක්ති වර්ධනය සඳහා වැඩි මාත්‍රාවකින් ශක්තිකාරක ගැනීමෙන් අවාසනාවන්ත අකරතැබ්බකට මුහුණදී තිබේ. අපේ ජාතිය පත්ව ඇති මේ විපත මොකක්ද ‘අපේ හාමුදුරුවනේ’ යැයි කෙනෙකුට ඇසිය හැක. එතැන කතාවක් තිබේ. ජනාධිපතිවරයාගේ මුල් තරවටුව කෙළේද ‘අපේ හාමුදුරුවන්’ ඉදිරිපිට ය.

හිටපු ජනාධිපතිවරියක් නිරුවතින් මහ පාරේ ඇවිද්දවීමේ තර්ජනය හෝ ඖෂධ සාරයෙන් වයසක දේශපාලඥයෙකු පුරුෂ ශක්තිය කෙලින් කර ගැනීම හෝ ‘අපේ හාමුදුරුවන්ට’ කියන්ට තරම් ආඬපාලි නොවුණි.
මෙය, ජංගි ගැන හෝ තනපට ගැන හෝ සයිබර් ලේඛකයන්ගේ නිරුවත ගැන හෝ කාරණයක් නොවේ. එන්රිකේ ඉග්ලේසියාස්ගේ අතේ තනපටයක් තිබෙනු අපි දුටුවෙමු. එය වීසි කෙළේ කවුදැයි නොදුටුවෙමු. එසේම, එළියේ තිබූ තන් දෙකක් අප දුටුවේද නැත.

එබැවින් අප මෙසේ ඇසිය යුතුය: ‘ජනාධිපති කෝපයේ පදනම් තර්කනය කුමක්ද?’ සෙල්ලක්කාර කෙල්ලක් වේදිකාවට නැග, ස්පාඤ්ඤ ජාතික ප්‍රේම ගායකයෙකුගේ මුව සිප ගැනීම තුළ ඇති ඔය කියන අසභ්‍යත්වය කුමක්ද? මාතංග සහ දිට්ට මංගලිකා පිළිබඳ ලාලසාමය බෞද්ධ කතාව අපට අමතකද?

පශ්චාත් යටත්විජිත සිංහල සංස්කෘතිය

නැත. මේ අපේ පශ්චාත් යටත්විජිත සිංහල සංස්කෘතියයි. මම හඬමි. මට මිනිපිරියන් පස් දෙනෙකු සිටී. ගැහැනුන් සිටින්නේ වැදීමට සහ ගෙවල් හැදීමට පමණද? ඔවුන්ගේ ලිංගිකත්වය ‘අපේ හාමුදුරුවන්ගේ’ අධීක්ෂණයට යොමු කරන්නේ ඇයි? සිංහල බෞද්ධ කෙල්ලන් යනු, බහුමානික ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක වශයෙන් උසස් සිංහල බෞද්ධ වරිගයක් ප්‍රජනනය කරන, සුජනක පෙරටුගාමී බලඇණියක්ද?

අප ආපසු සාධාරණ සමාජයක් දිසාවට පිවිසිය යුතු නැත්ද? එනම්, සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ පොරොන්දු දිසාවට යොමු විය යුතු නැත්ද? සෝභිත හිමියන්ව අමතක කොට ජනවාරි 8 වැනි දා ජයග්‍රහණයන් ස්ථායි කරගත නොහේ. 1978 සිට 2015 දක්වා වන ඔහුගේ මහජන ක්‍රියකාරී ඉතිහාසය, අදාළ සන්දර්භය තුළ වටහා ගත යුතුව ඇත. ආරම්භක ෆැසිස්ට්වාදයකට එරෙහිව දශක තුනක් තිස්සේ සටන් කරන අතරේ, සටන්කාමී භික්ෂුවකගේ සිට ලෞකික ශාන්තුවරයෙකු බවට ඔහු පරිවර්තනය විය.

ගෝත්‍රික ක්ෂතියෙන් ගොඩ ඒමට තවමත් යත්න දරන ශ්‍රී ලාංකීය ජාතියේ සැබෑ ‘අපේ හාමුදුරුවෝ’ එතුමෝ ය. අනිත් ‘හාමුදුරුවරු’ උන්වහන්සේගේ සිහිකල්පනාව ගැන එදා ප්‍රශ්න කරද්දී, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතර සාමාජිකයෝ එතුමන්ට ‘අපේ හාමුදුරුවනේ’ යැයි කට පුරා කීහ.

එතුමන් පිළිබඳ මතකය හෝ සමාජයට එතුමන් සැලසූ සම්මාදම, අපේ සමකාලීන දේශපාලන ඉතිහාසයේ පාද සටහනක් වීමට අප ඉඩ නොතැබිය යුතුය. සෝභිත හිමියන් නායකත්වය දුන්නේ, පෞර ව්‍යාපෘතියකට මිස, ගෝත්‍රික නිස්සරණක සෙවණ පතන පටු පසුබැසීමකට නොවේ.

සිංහල බෞද්ධ සදාචාරය

අපේ නායකයන් සිංහල බෞද්ධ ආචාරධර්ම පිළිබඳ ප්‍රශ්නය සැලකිල්ලට ගන්නේ විශේෂිත වූ සන්දර්භයක ය. අපේ පුරාතන පුරුෂාර්ථ ඔවුහූ සංඝ සාසනයට භාර කරති. මෙය අලුත් දෙයක් නොවේ.

“ආසියාවේ ආලෝකයට” පෙරවදනක් ලියන ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මෙසේ කියයි: “ගෞතම බුදුන්ගේ මුල් ධර්මතාවන්ගේ තේජස සහ උත්කෘෂ්ටතාව තක්සේරු කළ යුත්තේ, එම ධර්මතාවන්ගේ ආනුභාවය මත මිස, ඒවා අර්ථකථනය කරන්නන් මත නොවේ. ‘බෞද්ධ සහෝදරත්වය’ හෙවත් සංඝයාගේ පදනම් මතින් ව්‍යුත්පන්න ඒ කුසීත ආලවට්ටම් පන්සල මගින්ද නොවේ.”

ශ්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් ඔහුගේ වීරකාව්‍ය පබැඳූ කාලයට වඩා, මේ කුසීත ආලවට්ටම් නඩය අද දේශපාලනික වශයෙන් බලවත් ය. කුසීත භාවය සහ ආචාර සමාචාර සරුවපිත්තලයට අමතරව, ඔවුන්ගේ ක්ෂේත්‍රයෙනුත් ඉතා ඈතට විහිදෙන බලපෑමක් සහ අධිකාරයක් ඔවුහූ තමන් වෙනුවෙන් අද ඉල්ලා සිටිති. බහුතරයේ හිතලු බහුතරයක හිත් දිනා ගනු වස්, ‘ගැලවුම්කාර’ පූර්වාගාමියා අභියෝග කිරීමේ ව්‍යාපෘතියකට, ‘ප්‍රතිසංස්කාරක’ ජනාධිපතිවරයා, හිතාමතාම, දැනුවත්ව සහ සැලසුම් සහගතව, අවතීර්ණව සිටී. ප්‍රහාරයට ලක්ව තිබෙන සිංහල බෞද්ධ සාරධර්ම කෙරෙහි වන ඔහුගේ උග්‍ර කැක්කුම, අභාග්‍ය සම්පන්න ය. සදාචාර සාරධර්ම රැක ගැනීම, හැඟීම්බර ව්‍යායාමයක් වන විට, සාධාරණ සහ අපක්ෂපාතී වන්නේ කවරේද යන්න නිශ්චය කර ගැනීමේ තර්කනය අපෙන් මගහැරේ.
එය, ගෝලීය සම්බන්ධතා ජාල යුගයක, බරපතල ප්‍රතිගාමී පියවරකි. ජනාධිපති සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අභිභවා යාමේ සටනට පිවිසීම තුළ අද පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමේ ව්‍යාපෘතියේ ‘වහලෙකු’ බවට ය. වහලෙකු තුන් ආකාර වෙතැයි ඇරිස්ටෝටල් කීය: එනම්, ඔහු මෙවලමකි. තමාගේම නොවන්නෙකි. විචාර ඥානය නැත්තෙකි.
2016 ජනවාරි 06 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ

එන්රිකේ ඉග්ලේසියාස් පිළිබඳ ගීතය සහ රංගනය
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *