ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම් ගැන ඇත්ත – සී.ජේ.අමරතුංග එට්කා ගැන කියන බොරු

නොවැම්බර්

15

8:24 පෙ.ව.

admin

‘එට්කා’ යන්න දැන් බොහෝ දෙනා දන්නා වචනයකි. ශ්‍රී ලංකා රජය ඉන්දියාවත් සමග අත්සන් කරන්නට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම වන ‘එට්කා’ ගැන පසුගිය කාලයේ දිගින් දිගට වාද විවාද සිදුවී ඇත.

එසේ වුවද තවමත් කතාබහ වන බොහෝ දෙයින් පෙනෙන්නේ ඒ පිළිබඳ පවතින සැක සංකා ආදියයි. රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය පියවරක් ලෙස රජය සලකන ‘එට්කා’ ගිවිසුම ඇතැමුන්ට පෙනී ගොස් ඇත්තේ මහා ව්‍යසනයක් ලෙසිනි. වෘත්තීයවේදින් අතර ඇතැම් පිරිසක් මෙයට දිගින් දිගට විරුද්ධ වන්නේ එයින් රටට වන විනාශයක් ගැන කියමිනි. එයට රජය පැත්තේ පිළිතුරු දී ඇතත් ඒවා ප්‍රමාණවත් තරම් සමාජ ගතවී නැති බව පෙනෙන්නට ඇත. එනිසාම ‘එට්කා’ විරෝධය තවමත් තරමක් ශක්තිමත්ව පවතියි.

ඇතැම් විට මෙම ගිවිසුමට විරෝධය පාන්නේ අනියත බියකින් බව පෙනෙන්නට තිබේ. මෙම ගිවිසුමෙන් මෙරට වෙළෙඳපොළ ඉන්දියානු ශ්‍රමිකයන්ට විවෘත කරන බව එබඳු එක් දුර්මතයකි. එසේ නොකරන බව රජය කීවද එය පිළිගන්නට සූදානම් නැති පිරිසක් දිගටම විරෝධ පාමින් සිටිති. මෙය තමන් විසින්ම මවාගත් බිල්ලෙකුට විරුද්ධ වීමකි. ඇතැම් පිරිස් එලෙස කරන්නේ දේශපාලන අරමුණු නිසා විය හැකිය.

ඉන්දියාවත් සමග අත්සන් කරන්නට යන මෙම ගිවිසුමට විරුද්ධ වන්නන්ගේ ඒකාකාරී තර්ක මාලාවක් ද හඳුනාගත හැකිය. එහි පදනම වන්නේ ඉන්දියාවත් සමග වෙළෙඳ ගිවිසුමකින් ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් නැත යන්නයි. ඉන්දියාවත් සමග 2000 වසරේදී අත්සන් තබා දැනට ක්‍රියාත්මක වෙළෙඳ ගිවිසුමෙන්ද ශ්‍රී ලංකාවට අවාසි වූ බව ඔවුහු කියති. එයට හේතුව ලෙස පෙන්වන්නේ මෙම කාලය තුළ දෙරට අතර වෙළෙඳ පරතරය වැඩි වී තිබීමයි.

වෙළෙඳ ගිවිසුම් සකසන ආර්ථික විද්‍යාඥයන් පිළිබඳවද ඉහත කී විවේචකයන්ගේ විරෝධය ප්‍රකාශ වී ඇත. ඔවුන් ගිවිසුම් ගහන්නේ කිසිවක් අධ්‍යයනය නොකර බව විවේචකයෝ කියති. ඔවුන් අහන්නේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යවන්න තිබෙන්නේ මොනවාද? කියාය. “අපට යවන්න තිබෙන්නේ මොනවාද? කියාය” අපට යවන්න තියෙන්නෙ කරුංකා විතරයි. කරුංකා යවන්න වෙළෙඳ ගිවිසුම් ඕනැදැ’යි එබඳු විවේචකයෝ ප්‍රසිද්ධියේ විමසන්නේ පණ්ඩිත මානී ආකාරයෙනි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යැවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇති බව මොවුන් නොදන්නා බව පෙනෙන්නට ඇත. ඒ ගැන අධ්‍යයනයක් කර නැති බවද පැහැදිලිය.

ඉන්දු ලංකා වත්මන් වෙළෙඳ ගිවිසුම අසාර්ථක බව කියන මෙම විවේචකයෝ එට්කා ගිවිසුම සැකසීමද ගිවිසුමේ නිර්මාණකරුවන්ටද භාරදී තිබීම ගැනද චෝදනා කරති. එම ආර්ථික විද්‍යාඥයන් අසාර්ථක පිරිසක් බවද නව ගිවිසුමක් සැකසීමද ඔවුනටම භාරදීම තවත් අසාර්ථක ගිවිසුමකට පාර කැපීමක් බවද ඔවුහු කියති.

මෙම කණ්ඩායමේ තවත් තර්කයක් නම් වෙළෙඳ ගිවිසුම් සකසන්නට හෝ ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවයි. එසේ නොමැතිනම් සිදුවන්නේ විනාශයක් බව ඔවුහු කියති. එබඳු ජාතික ප්‍රතිපත්තියක් සකසන්නට පවා ඔවුහු ඉදිරිපත් වෙති. මොවුන්ට කන්දීමක් ලෙස රජය මේ වනවිටත් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙක කෙටුම්පතක් සකස් කොට එය සාකච්ඡාව සඳහා යොමුකොට ඇත. කෙසේ වෙතත් විවේචකයන් එයින්ද සෑහීමට පත් වී නැත.

‘එට්කා’ ගිවිසුමට විරුද්ධ වන පිරිසගේ තර්කවලට ඇතැම් විද්වතුන් පිළිතුරු සපයා ඇතත් ඒවාට සවන්දීමට සූදානමක් ඇති බවත් පෙනෙන්නට නැත. එබඳු එක් පිළිතුරකදී මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා ප්‍රකාශකොට තිබුණේ නිතරම මෙරටට වෙළෙඳ වාසියක් ලබා ගැනීම වෙළෙඳ ගිවිසුම්වල අරමුණක් නොවන බවයි. එමෙන්ම ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සාර්ථක ගිවිසුමක් බවද ඒ මහතා පෙන්වා දී තිබිණි.

ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග මෙන්ම චීනය හා ජපානය සමග ද ඇත්තේ වෙළෙඳ අවාසියකි. චීනය හා ජපානය සමග වෙළෙඳ ගිවිසුම්ද නැත. එම වෙළෙඳ අවාසියද පසුගිය කාලයේ වර්ධනය වී ඇත. ඒ අපට අවශ්‍ය බොහෝ භාණ්ඩ එම රටවලින් මිලදී ගැනීමට සිදුව ඇති නිසාය.

අනෙක් අතට භූතානය, යුරෝපා සංගමය හා අමෙරිකා එක්සත් ජනපදය සමග අපට ඇත්තේ විශාල වෙළෙඳ වාසියකි. අපගේ නිෂ්පාදන සඳහා තිබෙන වෙළෙඳ පොළ ඇත්තේ එහිය. එම රටවල අපට ජී.එස්.පී. සහනය ලබා දී ඇත්තේ හා ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ලබා දෙන්නට යන්නේ ඔවුන්ට දැනටමත් විශාල වෙළෙඳ අවාසියක් තිබියදීය. වෙළෙඳාම ගැන ලෝකය කල්පනා කරන්නේ එහෙමය. අපගේ ඇතැම් වෘත්තීයවේදීන්ට නොතේරෙන්නේ එයයි.

‘එට්කා’ ගිවිසුමට විරුද්ධ වන්නන්ගේ තර්ක සියල්ලෙහි පදනම ඉන්දියාව සමග වෙළෙඳාමෙන් අප රටට වාසියක් නොවන බව හා දැනට ක්‍රියාත්මක වෙළෙඳ ගිවි‍සුමෙන්ද ශ්‍රී ලංකාවට විශාල අවාසියක් සිදුවී තිබෙන බවයි. එම ප්‍රකාශය ද කරුණු හදාරා සිදු කරන්නක් ද යන්න සැක සහිතය.

ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ වෙළෙඳාමේ වර්ධනය ගැන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කළ අධ්‍යයනයක් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. 2000 වසරේ සිට 2013 දක්වා කාලයට අදාළව සිදුකර ඇති එම අධ්‍යයනය මගින් එම වෙළෙඳාමෙන් අපරටට ඇති වී ඇති වාසි හඳුනාගත හැකිය.

එම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කළ අපනයන ප්‍රමාණය 2000 වසරේදී ඩොලර් මිලියන 55.6ක සිට 2013 වන විට ඩොලර් මිලියන 543.3ක් දක්වා වැඩි වී ඇත. එයින් ඩොලර් මිලියන 354.8ක් වෙළෙඳ ගිවිසුම යටතේ කළ අපනයනයන්ය. මුළු අපනයන ප්‍රමාණයේ වැඩිවීම එකට දහසකි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කළ ආනයනයන්ද මෙම කාලයේ වැඩි වී ඇත. 2000 දී ඩොලර් මිලියන 600ක් වූ ආනයන ප්‍රමාණය ඩොලර් මිලියන 3092ක් දක්වා පස් ගුණයකින් වැඩි වී ඇත. එසේ වුවද එයින් වෙළෙඳ ගිවිසුම යටතේ කළ ආනයනවල වටිනාකම ඩොලර් මිලියන 393.4 ක් පමණකි. ඉතිරි සියල්ල තීරු බදු යටතේ කළ ආනයනයන්ය.

2000 වසරේදී දෙරට අතර වෙළෙඳ පරතරය එකට දහයකි. 2013 දී එය එකට පහකි. ඒ බදු ගෙවා භාණ්ඩ ද ඇතුළත්වය. වෙළෙඳ ගිවිසුම යටතේ ගනුදෙනු වලදී දෙරට සිටින්නේ අඩු වැඩි වශයෙන් සමාන මට්ටමකය. ඇතැම් වසරවල වාසිය ශ්‍රී ලංකාවටය. තවත් වසරකදී ඉන්දියාවට වාසිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කළ අපනයන පිළිබඳ වර්ගීකරණයක්ද ඉහත කී අධ්‍යයනයේ සඳහන් ය. ඒ අනුව සියයට දහයක් බෝට්ටු නිෂ්පාදනය වන අතර සත්ත්ව ආහාර සියයට නවයක් ලෙසද ගම්මිරිස් සියයට අටක් ලෙසද රෙදිපිළි සියයට හයක්ද අත්වැසුම් සියයට හයක්ද, වයර් හා කේබල් සියයට හයක්ද වශයෙන් ඉදිරියෙන් තිබේ. ඇතැම් වෘත්තීයවේදීන් මහ ලොකුවට කියූ කරුංකා යවා ඇත්තේ සියයට එකකි. එයට හිමිව ඇත්තේ විසි පස්වන ස්ථානයයි. “කරුංකා යවන්න වෙළෙඳ ගිවිසුම් ඕනෑදැ’යි ප්‍රශ්න කළ වෘත්තිකයන් මෙම කරුණු නොදැන සිටීම ගැන ලජ්ජා විය යුතුය.

2013 වසරේදී ඉන්දියාවට මෙරටින් යවා ඇති කුළු බඩුවල වටිනාකම ඩොලර් මිලියන 89කි. රබර් නිෂ්පාදන ඩොලර් මිලියන 22කි. සත්ත්ව ආහාර මිලියන 38ක වයර් සහ කේබල් මිලියන 33කි. තඹ නිෂ්පාදන මිලියන 7.5කි. නැව් සහ බෝට්ටුවල වටිනාකම ඩොලර් මිලියන 57.8 කි. ඇඟළුම් යවා උපයාගත් මුදල ඩොලර් මිලියන 34 කි. කඩදාසි නිෂ්පාදනයෙන්ද ඩොලර් මිලියන 24.4ක් උපයාගෙන ඇත.

මෙලෙස විවිධාකාර භාණ්ඩවලට දැන් ඉන්දියානු වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට විවෘතව ඇත. මෙයින් පෙනී යන්නේ ‘එට්කා’ ගිවිසුමට එරෙහිව හඬ නඟන ඇතැම් වෘත්තීයවේදීන්ගේ මූලික තර්කයම එනම් ඉන්දියාව සමග වෙළෙඳාමෙන් අප රටට වාසියක් නැති බව හා දැනට ක්‍රියාත්මක ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුමද අසාර්ථකය යන්න බිඳ වැටී ඇති බවයි. ඉහත කරුණුවලින් තහවුරු වන්නේ එම ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සාර්ථක වී ඇති බවයි.

වෘත්තීයවේදීන්ගේ අනෙක් තර්ක ද මේ සමගම අනාථවන බව පෙනෙන්නට ඇත. මෙබදු සාර්ථක ගිවිසුමක් සාකච්ඡා කොට සකස් කළ ආර්ථික විද්‍යාඥයන්ම මීළඟ ගිවිසුම ද සකස් කිරීම භාරදීම වඩාත් නිවැරදි බව දැන් පෙනී යන තත්ත්වය යි. අනෙක් අතට මෙම සාර්ථක ගිවිසුම අත්සන්කොට ක්‍රියාවට නැඟුවේ වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියත් නොමැතිවය. එසේනම් ජාතික ප්‍රතිපත්තියක් නැතිනම් වෙළෙඳ ගිවිසුම්වලින් විනාශයක් ඇතිවන බවට වන ප්‍රකාශයද පුස්සක් වෙයි.

මෙයින් පෙනී යන්නේ තවමත් කෙටුම්පත්කොට අවසන් නොවූ ඉන්දු ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට විරුද්ධ වීමට ඇතැම් වෘත්තියවේදීන් ගොඩ නැඟූ තර්ක පදනම් විරහිත බවයි. ඔවුන් ඒ මත ප්‍රකාශකොට ඇත්තේ ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව බවද පැහැදිලි ය.එය වඩාත් හොඳින් පෙනෙන්නේ ‘කරුංකා’ ගැන කළ ප්‍රකාශයකි. දැන්වත් ඔවුන් මෙම පදනම් විරහිත තර්ක විතර්ක අතහැර දැමිය යුත්තේ රටේ යහපත වෙනුවෙනි.

ඉදිරි ගිවිසුමකදී ලබාගත යුතු සහන පිළිබඳවද අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යයනයේ සඳහන්ය. ඇඟළුම්, ගම්මිරිස්, කපාපු පොල්, වනස්පති ආදියට පනවා ඇති කෝටා ඉවත් කර ගැනීම, ඇතැම් භාණ්ඩ සඳහා ඇති … තීරු ගාස්තුවද ඉවත් කර ගැනීම, තවත් භාණ්ඩ සඳහා වෙළෙඳ පොළ විවෘත කර ගැනීම ඒ අතර වෙයි. එමෙන්ම මෙරටින් ඉන්දියාවට අපනයනය කළ හැකි තවත් භාණ්ඩද හඳුනාගෙන ඇත.

සෝස් වර්ග, විනාකිරි දමා සැකසූ පිපිඤ්ඤා, ගර්කින් හා ළූණු, ජෑම්, පලතුරු හා එළවළු යුෂ, ජෙලටින්, විනාකිරි, බිස්කට්, චොකලට්, සිසිල් බීම, අයිස් ක්‍රීම්, සකස් කළ මස් ආදිය එයට ඇතුළත්ය. එමෙන්ම වෙළෙඳාමේදී ක්‍රියාත්මක වන තීරු බදු නොවන වෙනත් බාධක ඉවත් කර ගැනීමද අලුත් වෙළෙඳ ගිවිසුමක් මගින් සිදුවිය යුතුය. ‘එට්කා’ ගිවිසුමෙන් එබඳු කරුණු පිළිබඳවද සැලකිල්ල යොමුවනු ඇත. මෙබඳු වෙළෙඳ ගිවිසුම්වල අවශ්‍යතාව එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැති විද්වතුන් බොහෝ දෙනකුගේ අදහසයි. එය දැන් අප රටේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වී ඇත. එබැවින් නිසි අධ්‍යයනයකින් තොරව මතුපිටින් බලා එළඹෙන නිගමන ඔස්සේ එවැනි ජාතික අවශ්‍යතාවයකට අකුල් හෙළීම වරදකි. එය දේශද්‍රෝහී ක්‍රියාවකි.

සී.ජේ.අමරතුංග

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *