ඉක්ටා ගැන මවන බිල්ලාට බිය විය යුතු නෑ – හිටපු වාණිජ අධ්‍යක්ෂ කේ.ජේ වීරසිංහ

නොවැම්බර්

24

6:51 පෙ.ව.

admin

යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමෙන් ඉන්දියානු ස්වාධීන වෘත්තිකයන්ට අප රටට ඒමට ඉඩක් ලබා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ. ජේ. වීරසිංහ මහතා අවධාරණය කරයි. ඉදිරියේදී එළැඹෙන නව ගිවිසුම යටතේ ඉන්දියානු ආයෝජනවලට අදාළ වෘත්තිකයන් විනා ස්වාධීන වෘත්තිකයන් අප රට තුළ‍ට කැඳවීමක් සිදු නොවන බව ද අවධාරණය කළ හිටපු වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හඬට අපි සවන් දෙමු.

Q මොකක්ද? මේ එට්කා ගිවිසුම යැයි මුලින්ම පැහැදිලි කරගන්න අපි කැමැතියි.

ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර භාණ්ඩ හා සේවා වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් දෙරට අතර අස්සන් තැබීමට යෝජිත ගිවිසුමක්.

Q මෙවන් ගිවිසුම් රටකට අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව වාර්ෂිකව සියයට 7, 8 ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව වසර කිහිපයක් සිදු වේ යැයි, සිදුකළ යුතු යැයි බලාපොරොත්තු පළකරන රටක්. ඉතිං අපේ රටේ ආර්ථික, සාමාජයික ප්‍රශ්න, අභියෝග සියල්ලටම මෙවන් ආර්ථික වර්ධනයක් තුළින් විසඳුම් ලබාගත හැකියි කියා අප සිතනවා. මේ ආර්ථික වර්ධනය ලබාගන්න නම් අනිවාර්යයෙන්ම ජයගත යුතු ඉලක්ක තිබෙනවා. අපි සම්පූර්ණ කළ යුතු කරුණු තිබෙනවා. ඒ අතර ප්‍රධානම දේ තමයි අපිට අවශ්‍ය ප්‍රමාණවත් ආයෝජන මුදල් තිබීම.

Q මේ අපට අවශ්‍ය ප්‍රමාණවත් ආයෝජන මුදල් රටේ නැති නම්, අපි කළ යුත්තේ කුමක්ද?

අපි රටක් ලෙස වහාම විදේශ සෘජු ආයෝජන සොයාගත යුතුයි. FDI වහාම දිනාගත යුතුයි. මේ වෙළෙඳ ගිවිසුම් මඟින් රටකට සිදුවන්නේ සෘජු විදේශ ආයෝජන දිනාගැනීමට පහසු වීමයි.

Q අප රට ඉදිරියේදී එළැඹීමට නියමිත ප්‍රධාන ගිවිසුම් මොනවාද?

අපි රටක් ලෙස පිහිටා තිබෙන වාසනාවන්ත ස්වභාවික පිහිටීමෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන සේ, ලෝකයේ රටවල් සමඟ වෙළඳාම, ආයෝජන, ආර්ථික සබඳතා දියුණු කරගන්න හැකිවන ආකාරයේ ගිවිසුම්වලටයි අස්සන් තැබීමට කතිකා කර තිබෙන්නේ. ඒ අනුව අපි දකුණු ආසියාව, ආසියානු කලාපය පළමුව ජය ගත යුතුයි.

ඒ අනුව ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙකක් වන ඉන්දියාව සමඟත්, චීනය සමඟත් අපි වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට නියමිතයි. ඒවාගේම සිංගප්පූරුව සමඟත් අපි ගිවිසුමකට යන්න සූදානම්.

Q අපේ රටේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් තවම සකස් කර නැහ නේ ද? ඒවාගේම ජාත්‍යන්තර වෙළෙඳාම දිනෙන් දින පහළට යන ප්‍රවණතාවයක් තිබෙන්නේ. එවන් මොහොතක අපට නව ගිවිසුම්වලට යොමුවීමෙන් අපේක්ෂිත වාසි ලබාගත හැකි වෙයිද?

මෙතැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ රටේ අපනයන වැඩිකර ගන්න, ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගන්න තවම ජාතික වෙ‍ළෙඳ ප්‍රතිපත්තියක් අපට නැහැ තමයි. ඒ නිසා තමයි වත්මන් රජය ජනාධිපතිතුමා, අගමැතිතුමා බලයට පත්වූ වහාම ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කරනවා කිව්වේ.

ඒ අනුව දැනටමත් උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙ‍ෙළඳ අමාත්‍යාංශය යටතේ ඇමැති මලික් සමරවීර මහතාගේ උපදෙස් මත ජාත්‍යන්තරය ජයගත හැකි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් කෙටුම්පත් කරමින් ඉන්නේ. ජාත්‍යන්තර වෙළෙදාම සංවර්ධන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සමන් කැලේගම, ආචාර්ය රවී රත්නායක මහත්වරු විශේෂයෙන් මේ ගැන කටයුතු කරමින් ඉන්නේ.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 මට්ටමේ තිබෙන අපනයන වසර 2020, 2025, 2030 වන විට ක්‍රමිකව සියයට 30 මට්ටමට ගෙන ඒමටයි ඉන් ඉලක්ක කර තිබෙන්නේ. ඒ අනුව පළමුව අපි නව වෙළඳ ගිවිසුම් හරහා රටේ ආර්ථික යටිතල පහසුකම්, මානව උපයෝගීතා පහසුකම් වැඩිදියුණු කරගන්න විදේශීය ආයෝජන දිනාගන්න ඕනෑ. තාක්ෂණය, නව විද්‍යාත්මක දැනුම රටට ලබාගන්න ඕනෑ. ඒ සඳහා තමයි මේ මූලික පියවර තබමින් ඉන්නේ.

අපි රටක් ලෙස නව වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට නියමිත රටවල් එකක්, දෙකක් කියා සීමා විය යුතු නැහැ. අපි ඉදිරියේදී ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව හා ලොව නන් දෙස විසිරුණු රටවල්වල වෙ‍ෙළඳපොළ, ආයෝජන අවස්ථා දිනාගන්න කටයුතු කළ යුතුයි.

Q අපි වැඩි වශයෙන් ඉන්දියානු, ශ්‍රී ලංකා ගිවිසුම ගැන කතා කරමු. මේ යටතේ ඉන්දියානුවන්ට රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණිය හැකිද?

ලෝක වෙ‍ළඳ සංවිධානයේ සේවා ලිහිල් කරන මූලධර්ම අනුව සේවා සැපැයීම සඳහා දේශසීමා හරහා පුද්ගලයින්ට සංසරණය විය හැකි මාදිලි 4 ක් තිබෙනවා. ඒ තමයි අන්තර් සමාගම් ස්ථාන මාරුවීම පදනම මත, සේවා කොන්ත්‍රාත් පදනම් කරගත් සේවා සැපයුම් මත, ව්‍යාපාරික පැමිණීම් මත හා ස්වාධීන වෘත්තිකයින් සේවාවන් සඳහා පැමිණීම මතයි. නමුත්! එට්කා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට එන ඉන්දීය ආයෝජන හා සම්බන්ධ වෘත්තිකයින්ට හැර ස්වාධීනව මේ රටට වෘත්තිකයින්ට පැමිණීමට ඉඩ දීමට අප එකඟතාවය පළකරන්නේ නැහැ.

Q ඉන්දීය ආයෝජනවලට අදාළව අපේ රටට වෛද්‍යවරු, ඉංජිනේරුවරු ආවොත් අපි කුමක් කළ යුතුද?

ඒ අන්දමට මේ රටට එන ඉහළ වෘත්තිකයින්ගේ වෘත්තීය භාවය පිළිබඳව අපේ වෘත්තීය සභාවල අවසරය ලබාගැනීම කළ යුතුයි. එය ලෙහෙසියෙන් ආවට, ගියාට ලබාගන්න බැරි ලෙස අපි කටයුතු කළ යුතුයි. ඇත්තටම අපේ රටේ ඒ අංශයේ දැනට පවතින අඩුපාඩුත් අපි ඉදිරියේ සකස් කර ගත යුතුයි. අපි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. එවිට ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ.

Q එට්කා ගිවිසුමෙන් විවෘත වන සේවාවන් මොනවාද?

එට්කා ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ඉන්දියාවට විවෘත වීමක් සිදුවන්නේ නැහැ. එට්කා මඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයෝ දිරිමත් කිරීමයි. ඉන් අපේ රටේ ඇතිවන නව ආයෝජන, ව්‍යාපාරවලට අපේ රටේ ශ්‍රමිකයින්ට වාසි ලැබීමයි අපි බලාපොරොත්තු වන්නේ.

Q මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අවස්ථා අහිමි වෙනවාද?

කිසිසේත්ම නැහැ! ඉන්දීය ආයෝජන වැඩිවීමෙන් රටේ ආර්ථිකයේ ප්‍රසාරණයක් සිදුවෙයි කියා අපි සිතනවා. ඒ හරහා අපේ අයට අලුතින් රැකියා අවස්ථා උදාවෙන එකයි සිදුවන්නේ.

Q එතකොට ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේ රැකියා අවස්ථා හිමිවෙයිද?

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේ ආයෝජන සිදුකරන්න වැඩි ඉඩක් මින් ලැබෙනවා. ඒ තුළ අපේ රටේ අයට එහේ ගිහින් කර්මාන්ත, ව්‍යාපාර ඇරඹිය හැකියි. දැනටමත් අපේ රටේ නිෂ්පාදකයෝ ඉන්දියාවට ගොස් එහි වෙළඳපොළ දිනාගනිමින් ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක්. මාස් හෝල්ඩින්ස්, දම්රෝ, වගේ ආයතන එහේ දැනටමත් සාර්ථකව ව්‍යාපාර කරනවා.

Q ඉන්දියානුවෝ අපේ රටට ආවොත් අපේ රටේ ව්‍යාපාර බිඳ වැටෙයිද?

නැහැ. එසේ සිදුවීමක් වන්නේ නැහැ. විදේශීය ආයෝජකයෝ රටට ඒමෙන් අපේ තරගකාරීත්වය වැඩි වෙනවා. ඒ තුළින් අපේ අය වඩ වඩාත් දියුණුවීමයි සිදුවන්නේ. අපි මේවාගේ දේට බියවෙන්න හොඳ නැහැ. දැන් සමහරු මවන බිල්ලෝ ගැන අප සිතන්න හොඳ නැහැ. අපි නිතරම සුබවාදීව කටයුතු කරන්න ඕනා.

සංවාද සටහන

 

ජයසිරි මුණසිංහ – දිනමිණ

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *