ආර්ථික විප්ලවය නවීකරණයට – කරුණාරත්න අමරතුංග

නොවැම්බර්

5

9:12 පෙ.ව.

admin

 


ඉදිරියේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික උපාය මාර්ග කවරේද? පසුගිය කාලය පුරාම ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ආයෝජකයෝ මේ ප්‍රශ්නයට පිළිතුරු දැන ගැන්මට උත්සුක වූහ.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයකින් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයුවේය.

ඉදිරි ආර්ථික උපාය මාර්ග අතර DOING BUSINESS INDEX නම් දර්ශකයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගැන්මට ශ්‍රී ලංකාව කටයුතු කරන බව අගමැතිවරයා අවධාරණය කෙළේ ය. ඔහු පවසා සිටියේ එම දර්ශකයේ 01 සිට 70 දක්වා වන පරාසයකට පිවිසීමට උත්සාහ දරන බවත්, 2020 වනවිට එම ඉලක්කය කරා ළඟා වීමට කටයුතු කරන බවත්ය.

ඉහත කී ආර්ථික දර්ශකය අද ලෝකය පුරාම ආකර්ෂණීය දර්ශකයකි. සියලුම දේ වෙනස් වන්නාක් මෙන්ම ආර්ථික සංවංර්ධනයේ උපාය මාර්ගද ආර්ථික මිනුම් දඬු හා ආර්ථික දර්ශනවාදයද වෙනස් හැඩතල ඔස්සේ දිනපතා ප්‍රතිනිර්මාණය වෙයි.

එදා දේව භාෂිත මෙන් පිළිගැනුණු ආර්ථික මතවාද රාශියක ‘පොතු ගැලවීම්’ දක්නට ලැබේ. ලෝක බැංකුවේ ආශිර්වාදයෙන් වැඩිවියට පත් වූ DOING BUSINESS INDEX දර්ශකය හඹා යෑම අද සියලු රටවලට පොදු ලක්ෂණයකි.

චීනය මෙන්ම රුසියාවද අප්‍රිකාවේ අඩුම සංවර්ධනයක් සහිත සෝමාලියාව ද එම දර්ශනයේ ඉහළ තැනකට ඒමට උත්සාහ දරයි. මේ දර්ශකයේ 2017 වසර සඳහා සකස් කළ වාර්තාව ද පසුගිය සතියේ 25 වනදා ප්‍රකාශයට පත්වීම විශේෂත්වයකි. එම වාර්තාව පවසන අන්දමට 2017 ශ්‍රී ලංකාව ස්ථාන ගතවන්නේ 110 වන ස්ථානයේය. එහෙත් 2016 ශ්‍රී ලංකාව ස්ථාන ගතව තිබුණේ ඒකක 3ක් ඉදිරියෙහි එනම් 107 වන ස්ථානයේය. 2017 අංක 01 ස්ථානය හිමිකර ගෙන ඇත්තේ නවසීලන්තයයි. මෙයින් කියැවෙන්නේ ව්‍යාපාර ආරම්භ කිරීමට ලොව අංක 01 හිමි රට බවට 2017 දී නවසීලන්තය දැනටම සහතිකය ලබා ඇති බවයි.

ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා 2016 වසරේදී අංක 01ට සුදුසුකම් ලැබුවේ සිංගප්පූරුවයි. 2017 වසරේ එම රට දෙවන ස්ථානයටත්, ඩෙන්මාර්කය තුන්වන ස්ථානයටත් ස්ථානගතව තිබේ. එම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින්නේ 110 වන ස්ථානයේය. ආණ්ඩුව උත්සාහ දරන්නේ 2020 වනවිට මෙම දර්ශකය තුළ අංක 01 සිට 70 දක්වා වන කාණ්ඩයකට ඇතුළත්වීමටය.

අද පිළිගත් ආර්ථික බලවේග බවට පත් ඇති චීනය මෙන්ම රුසියාව ද මෙම දර්ශකයේ ඉහළ ස්ථානයකට පිවිසීමට උත්සාහදරති. 2017 වසරේ මේ දර්ශකයේ ප්‍රමුඛ ස්ථාන හිමිකරගෙන ඇති රටවල් 10 අනුපිළිවෙළින් මෙසේය. අංක 01 නවසීලන්තය 02 සිංගප්පූරුව 03 ඩෙන්මාර්ක් 04 හොංකොං 05 දකුණු කොරියාව 06 නොර්වේ. 07 එක්සත් රාජධානිය, 08 එක්සත් ජනපදය 09 ස්වීඩනය 10, මැසිඩෝනියා අන්තිම ස්ථානය අත්කරගෙන ඇත්තේ සෝමාලියාවයි. රටවල් 190 ක් මේ දර්ශකයට ඇතුළත්ය.

කර්මාන්ත නවීකරණය

වාෂ්ප බල ශක්තිය සොයා ගැනීම කාර්මික විප්ලවයේ පළමුවන අදියරයි. මේ වනවිට කාර්මික විප්ලවය ගමන් කරන්නේ එහි සිව්වන අදියරේය. ශ්‍රී ලංකාවේ වාෂ්ප යන්ත්‍ර භාවිතා ව ඇරැඹුණේ වතුවගාව සහ මිනිරන් කර්මාන්තය සමගය. සෙමින් පරිණාමයට පත්වන ශ්‍රී ලංකාවේ කර්මාන්ත විප්ලවය නවීකරණයවීම සඳහා නවතම ලොවට සරිලන පරිදි එය යාවත්කාලින කළ යුතුවේ. ඒ සඳහා එක මෙවලමක් වන්නේ ද ඉහත කී DOING BUSINESS INDEX දර්ශකයයි.

අද ආයෝජකයන් සහ කර්මාන්ත කරුවන් සිය කර්මාන්ත හා ආයෝජන කවර නම් දිසාවකට යොමු කරවන්නේ දැයි නිගමනය කිරීමේ දී පාඩම් පොතක් ලෙස භාවිතාවට ගන්නා වැදගත් නිර්ණායකයක් වන්නේ ඉහත කී දර්ශකයයි. මේ හැර තවත් නිර්නායක දර්ශක කීපයක් තිබේ.

ඒවා අතර INDEX OF ECONOMIC FREDOM සහ CORRUPTION PERCEPTIONS INDEX ප්‍රධානය ඍජු විදේශ ආයෝජන උකහා ගැනීමේ දී බලපාන දර්ශක හා නිර්නායක ද තිබේ. එහිදී සපයා ඇති යටිතළ පහසුකම්, බදුවිරාම, දේශපාලන ස්ථාවරත්වය, ආයෝජන සුරක්ෂිත භාවය සහ මිනිස් අයිතිවාසිකම් සමග ඉහත කී දර්ශකය ද සලකා බලා තීරණ ගැනීම අද ව්‍යාපාරික රටාවයි.

ව්‍යාපාර පසුබිම

ව්‍යාපාරික හා ආර්ථික සංවර්ධනමය කාර්යයන්හිදී DOING BUSINESS දර්ශකය කරළියට පැමිණ තවම වසර විස්සක්වත් ගෙවී නැත. මේ දර්ශකයට මූලාශ්‍රය කරගත් ලියවිල්ල 2001 දී මුල්වරට ප්‍රකාශයටපත් කරන ලද්දේ SIMEON DJANKOR සහ ANDREI SHLEIFER විසිනි. ඔවුන් දෙදෙනාම ‍මේ නව මතවාදය ඉදිරිපත් කළ පසුව තවත් ආර්ථික විද්‍යාඥයන් 85ක් විසින් මේ මතවාදයට කරුණු එකතුකර එය පෝෂණය කරන ලදැයි වාර්තාවේ. ලෝක බැංකුව මෙම දර්ශකය පිළිගත්තේ 2003 වසරේ සිටය.

දර්ශකයේ එක් නිර්නායකයක් වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ගතවන කාලය, අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සඳහා වන පිරිවැය, අවශ්‍ය අවම මුලධනය ආදියයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී දීර්ඝ වටවන්දනාවක යා යුතුය යන්න ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ චෝදනාවකි. ව්‍යාපාරික ඉදිකිරීම්, දේපොළ ලියාපදිංචිය, ණය පහසුකම් ලබා ගැනීම්, කුඩා ආයෝජක රැකවරණය, බදු ගෙවීම්, රටින් රට වෙළෙඳාමට ඇති පහසුව,කොන්ත්‍රාත් (ගිවිසුම්) කාර්යක්ෂමතාව, කම්කරු පහසුකම් යනාදිය ගැන සැලකිලිමත් වීම අද ව්‍යාපාරික හා ආයෝජක අංශයේ මුල් පියවරයකි. එහෙයින් ඔවුහු ව්‍යාපාරික හා ආයෝජකයෝ මෙම දර්ශකය භාවිතා ‍ කොට සුදුසු රටක් සොයා ගනිති.

එම දර්ශක‍යේ 1 සිට 70 දක්වා 2020 දී ස්ථානගතවීම සඳහා ආණ්ඩුව විසින් විශාල වැඩ කොටසක් ඉටු කළ යුතුවේ. ඒ අතර අණ පනත් හා රෙගුලාසි සංශෝධනය කළ යුතු ස්ථානද තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් බංකොලොත්වීම පිළිබඳ නීතිරිතිවල යම් වෙනසක් කළ යුතු යැයි ආණ්ඩුව කලක සිටම හඳුනාගෙන තිබුණි.

කඩිනම් පියවර

ශ්‍රී ලංකාව දැනටම එම දර්ශකයේ මුල් තැනකට ඒම සඳහා පියවර කීපයක්ම හඳුන්වා දී තිබේ. ආයතන සඳහා විදුලි බලය ලබා දීමේ දී ශ්‍රී ලංකාව කඩිනම් පියවර හඳුන්වා දී තිබේ. එසේම ඉලැක්ට්‍රොනික් ගිණුම් භාවිතාව ඉලැක්ට්‍රොනික් ප්‍රේෂණ භාවිතාව, දේපොළ අයිතිය කඩිනමින් වෙනස් කිරීම ආදි ව්‍යාපාරික හිතවාදි පියවර දැනටම හඳුන්වා දී ඇත.

චෙක් ජනරජය ව්‍යාපාරික දර්ශකයේ 2015 දී ස්ථානගතව තිබුණේ අංක 44 ටය. එහෙත් එය නොකඩවා ව්‍යාපාරික බැමි ලිහිල් කිරීම සමග 2016 දී 36 වන අංකයට ඉදිරියට පැමිණ තිබේ. එය 2017 වසර වනවිට අංක 27 ට ස්ථානගතවන බව දැනටම පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අග්නිදිග ආසියා රටවල් සමග දැඩි තරගයක නිරත නොවී මේ ඉලක්කය සපුරා ගත නොහැක. භූතානය 2017 අංක 73 තුළ ස්ථානගතව සිටී. දැනට අංක 70 ස්ථානගතව සිටින්නේ පැනමා රාජ්‍යයයි. අප ඒ තැනට පත්වීමට නම් ඉන්දියාව (අංක 130) නේපාලය (අංක 107) ආදි සෙසු රටවල් සමග ඊට වඩා වැඩි වේගයකින් ගමන් කළ යුතුවේ.

ඔක්තෝබර් 25 වනදා ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඉකුත් සමයේ DOING BUSINESS දර්ශකයට ඉවහල් වන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කර ඇත. ශ්‍රී ලංකාව, ක්‍රොඒෂියා, කෙන්යා , මුරුතානියා සහ යුක්රේන් ද්විත්ව ගිවිසුම් පිළිබඳ ප්‍රතිසංස්කරණ සිදුකර තිබේ. එසේම ශ්‍රී ලංකාව ඇතැම් අංශයන්හි මුද්දර බදු වෙනස් කර ඇත.

ජාතික ප්‍රතිපත්තියක්

ලෝක බැංකු වාර්තාවේ 184 වන පිටුවේ ඒ ගැන කරුණු දක්වා තිබේ. එහිම 240 වනපිටුවේ ද ශ්‍රී ලංකාව පිළිබඳ තවත් විස්තර ඇත. ඒ අනුව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ඉදිකිරීම් බලපත්‍ර අංශයන්ගෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

රටවල් 137 ක් ව්‍යාපාරික අංශයේ දියුණුවට හිතවාදි ප්‍රතිසංස්කරණ සිදු කර ඇතැයි එම වාර්තාව පවසයි. ශ්‍රී ලංකාව 2016 දී 2015ට සාපේක්ෂව ඒකක 06කින් ඉදිරියට පැමිණියේ ය.

ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා නව නීති රීති අවශ්‍ය බව විශ්වාස කරන ආණ්ඩුව ඒ සඳහා සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. ඔක්තෝබර 25 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ කෙටුම්පත ගැන සාකච්ඡා විය. පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පසුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමටත් එහිදී තීරණය විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වන සියලු විෂයයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ක්‍රියා කිරීමට එම පනතින් කටයුතු සැලසේ.

ප්‍රාග්ධන වෙළෙඳ පොළ ශක්තිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීම ද ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක දී අත්‍යවශ්‍ය කාර්යයකි. මෑතක සිට ආසියාවේ රටවල් රාශියක් සිය ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත්කරන ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

ආණ්ඩුවේ උපාය මාර්ගය වන්නේ සියල්ලන්ට සමානව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කර කොටස් නිකුත්කරන්නන්, ආයෝජකයන්, වෙළෙඳ පොළ ආයතන සහ අතරමැදියන් අතර විශ්වාසය තහවුරු කිරීමටය. මෙමගින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ ශක්තිමත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. “2016 – 2020 ප්‍රාග්ධන වෙළෙඳ පොළ උපාය මාර්ගය අනුගමනය කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

එහෙයින් 2017 වසරේ දී ආර්ථික දර්ශක කීපයක වෙනස්වීම් ධනාත්මක වන බව විශ්වාස කිරීමට පිළිවන. ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ පසුගිය හය මාසයක ආර්ථික ක්‍රියා කලාපය සාර්ථක ගමන් මගකැයි සිය අලුත්ම වාර්තාවෙන් ද පවසා තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පිලිපීන ව්‍යාපාරික කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා පිලිපීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ව්‍යාපාරික සාකච්ඡාවේදී අදහස් දැක් වූ රවි කරුණානායක මුදල් ඇමැතිවරයා 2017 අයවැය ලේඛනය පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් ආයෝජනයට පොළඹවන අයවැයකැයි ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා‍වේ ආයෝජනය කිරීම සඳහා තවදුරටත් බලා නොසිටින ලෙස ද එයට සුදුසුම කාලය එළඹෙන බවද ඇමැතිවරයා කීය. එහෙත් ශ්‍රී ලංකාව නිතර ප්‍රතිපත්ති වෙනස් කිරීම ආර්ථික සැලසුමක් සකස් කිරීමට බාධාවකැයිද මේ තත්ත්වය ආයෝජකයනට බාධාවකැයි ද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු එහිදී පැවසීය.

කරුණාරත්න අමරතුංග – දිනමිණ

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *