ආර්ථික පලාපල – කරුණාරත්න අමරතුංග

ජනවාරි

3

6:17 පෙ.ව.

admin

 

අතීතයේ සිටම ගොඩගැසුණු ආර්ථික අභියෝග කීපයකට 2017 වසර තුළදීත් මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. නව වසරේ ආර්ථික කේන්දරය කවර සුබ අසුබ උදාකර වන්නේ ද?

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූදා ඩී. එස්. සේනානායක මහතා පැවසුවේ “සිංහල, දමිළ, මරක්කල, මැලේ සහ බර්ගර් ආදි සියලු දෙනා එක්ව මේ රට හදාගත යුතු” බවයි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කීවේ “දේශපාලන නිදහස පමණක් නොව, ආර්ථික නිදහස ද අත්කර ගැනීමට ක්‍රියා කළ යුතු” බවයි.

මේ නායකයන් දෙදෙනාගේ සංකල්පනා මත බිහිවූ දේශපාලන පක්ෂ දෙකකින් සැදුම්ලත් ආණ්ඩුවක් දැන් රටේ බිහිවී තිබේ. “ජාතියකට කලාතුරකින් ලැබෙන අවස්ථාවන් උදාවන්නේ යැයි ද, එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැන්මට පසුබට නොවිය යුතු යැයි ද ඉන්දියා අගමැති ශ්‍රී නේරු ප්‍රකාශ කර තිබේ.

2017 වසරට මුහුණ දෙන ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන සඳහා ඇති ලොකුම අභියෝගය ජාතින් අතර එකමුතුභාවය ඇති කිරීමයි. දේශපාලන ස්ථාවරත්වයකට එය ද එක් හේතුවකි. අසල්වැසි ඉන්දියාව මෙන්ම චීනය ද එම රටවල දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට බොහෝ කාලයක් කැපකළ රටවල්ය. ඇමෙරිකා එක්සත් ජනපදයට ද සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට බොහෝ කාලයක් ගතවිය. ජනපද අතර ඇතිවූ ගැටුම් සමතයට පත් කිරීමට ජේම්ස් මොන්රෝ ජනාධිපතිවරයාට දැඩි තීන්දු හා තීරණවලට එළැඹීමට සිදුවිය. ආර්ථික සංවර්ධනයේ මුදුන්මුල දේශපාලන ස්ථාවරත්වයයි.

ආනයන බර

1948 ලෝක තත්ත්වයට වඩා අද ලෝක තත්ත්වය වෙනස් ය. පැරැණි ප්‍රශ්න නව මුහුණුවරක් සහිතව හිස ඔසවා තිබේ. ආර්ථිකයේ වෙළෙඳ හිඟය හා ගෙවුම් ශේෂය අද බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ‍රටවල් අතර කෙරෙන ආනයන හා අපනයන කටයුතුවලදී අපනයනයට වඩා ආනයනයේ බර වැඩිව තිබේ. ඉන්දියා ශ්‍රී ලංකා ආනයන – අපනයන පරතරයේ වැඩි වාසිය ඉන්දියාවටය. ඒ එක් උදාහරණයක් පමණි.

2015 වර්ෂයේ ඉන්දියාවෙන් කරන ලද ආනයන වටිනාකම එක්සත් ජනපද ඩොලර් දසලක්ෂ 4268ක් වුවත්, ශ්‍රී ලංකාව ඉන්දියාවට අපනයනය කළ භාණ්ඩ ප්‍රමාණයේ අගය එ. ජ. ඩොලර් 643කි. වෙළෙඳාමේ වැඩි වාසිය එනිසා ඉන්දියාවටය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෑ අතර මිරිස්, ලොකුලූනු සහ අර්තාපල් ආදි ආහාර ද්‍රව්‍ය මුල්තැනක් ගනී. මෙයින් පෙනෙන්නේ දේශීය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරගත්තා නම් ඉන්දියා සහ ශ්‍රී ලංකා වෙළෙඳ පරතරය මෙතරම් පුළුල් නොවන බවයි. ලූනු ආනයනය සඳහා පමණක් 2015 වැය කළ මුදල එ. ජනපද ඩොලර් දසලක්ෂ 122කි. එම වසරේම සහල් ආනයනය සඳහා එ. ජනපද ඩොලර් දසලක්ෂ 135කි. සීනි සඳහා රුපියල් දසලක්ෂ 34164ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් දසලක්ෂ 253ක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය පුළුල් නොකළ නිසාය.

උක් වගාවට සුදුසු ඉඩම් තිබියදීත්, දේශීය සීනි නිෂ්පාදනය සමස්ත පාරිභෝජනයෙන් සියයට 10කි. දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මගින් 2017 වසරේදීවත් ආනයන වියදම් අඩුකරගැනීමට උනන්දුව වැඩි කළොත්, අපනයන ආදායම වැඩිවී වෙළෙඳ පරතරය අඩුකර ගත හැකිවනු ඇත.

පසුගිය වසරේ දේශීය වී නිෂ්පාදනය මෙතෙක් ශ්‍රී ලංකාව ලබාගත් දැවැන්තම වී අස්වැන්නයි. එහෙත් 2017 ජනවාරි දෙවන සතිය වනවිට විදේශීය සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට නියමිතය. හේතුව මේ මාස් කන්නයේ වගාකරනු ලබන්නේ කුඹුරු ප්‍රමාණයෙන් සියයට 70ක් පමණි. ඉඩෝරය නිසා මේ තත්ත්වය ඇතිවිය. ශේක්ෂ්පියර් කවියා කීවාක් මෙන් ‘වරද ඇත්තේ අප අතමය, තාරකාවල නොවේ…’

ආනයනය සහ අපනයනය අතර ඇති පරතරය පිළිබඳ අනවරත සටන පටන්ගත්තේ 1957 සිටය. එම වසරේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් දසලක්ෂ 350.5ක් වූ අතර ආනයනය සඳහා වූ වියදම එ. ජ. ඩොලර් 370.4කි. ඒ වනවිට ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 4.76කි. 2015 වසර වනවිට ආනයන වියදම එ. ජ. ඩොලර් දසලක්ෂ 18934.6කි. අපනයන ආදායම එ. ජ. ඩොලර් දසලක්ෂ 10504.9කි. ඇමරිකා ඩොලරයට ශ්‍රී ලංකා රුපියල් 144.60කි. මේ වනවිට එය තවත් ඉහළ ගොස් ඇත.

රටේ ආදායම වැඩිකර ගැනීමේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් වන්නේ සංචාරක කර්මාන්තය සහ විදේශ රැකියා නියුතුවූවනගේ ප්‍රේෂණයන්ය. සංචාරක කර්මාන්තයෙන් 2016 වසර ශ්‍රී ලංකාවට වාසිසහගතය. ස්කැන්ඩිනේවියානු රටවලින් සංචාරකයන් ගෙන්වා ගැනීම, YATCH යාත්‍ර සංචාරකයන් ගෙන්වා ගැනීම ආදී වශයෙන් නව පියවර රාශියක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ප්‍රවර්ධන වැඩසටහන් ද රාශියකි.

ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය තුළ යහපත් ප්‍රතිරූපයක් දැන් ගොඩනැගී තිබේ. ජාතින් වශයෙන් හෝ ආගමික වශයෙන් ගැටුම් ඇතිවුවහොත් සංචාරක කර්මාන්තයට එය ඍජුවම බලපානු ලබයි.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය වන්නේ අයි. එස්. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමයි. මේ වැඩපිළිවෙළ ඍජු ක්‍රියාමාර්ග (DIRECT ACTIONS) සහිත වන්නේ නම් එම කලාපීය රටවල තත්ත්වය යළි උණුසුම් වෙතැයි විදේශීය විශ්ලේෂකයෝ බිය පළකරති. එසේම චීනය පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ද ඊට එරෙහිව චීනයේ ප්‍රතික්‍රියා ගැන ද දැන් දැන් පළවන විග්‍රහ එතරම් ආර්ථිකයට සනීපදායක නැත.

දීර්ඝ පසුබෑමකට පසු අපේ තේ කර්මාන්තයට හුස්ම වැටෙන්නට පටන්ගත්තේ තුර්කිය සහ ඉරානය තේ වෙළෙඳ පොළට පිවිසීමත් සමඟය. මැදපෙරදිග අවුල්වීම ශ්‍රී ලංකා තේ වෙළෙඳ පොළට ද, විදේශ ශ්‍රම වෙළෙඳ පොළට සහ සංචාරක කර්මාන්තයට ද ඍජු බලපෑමක් කරයි.

ඇමෙරිකානු ආයෝජන සහිත කර්මාන්තශාලා වෙනත් රටවලට ගෙනයෑම ඇමෙරිකාවේ රැකියා හිඟයට හේතුවකැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. ඇමෙරිකාවේ MAZDA මෝටර් රථ කම්හල් සංකීර්ණය වඩා ලාබ ලබනු පිණිස මෙක්සිකෝවට ගෙනයෑමට සූදානමින් සිටියේ ය. එහෙත් පසුව එම සමාගම එම තීරණය වෙනස් කෙළේය.

පසුගිය නොවැම්බර් 18 වනදින NIKKEI ASIA REVIEVS ප්‍රකාශනය ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් 2017 ලෝක ආර්ථිකයට බලපාන අන්දම විග්‍රහ කෙළේය. 2017 වසර තුළ නැවත ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ දැමීමට හොඳටම ඉඩ ඇතැයි ඇමෙරිකා ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළකරති. එසේ වුවහොත් එය ඍජු විදේශ ආයෝජනයට ඍජුවම බලපායි. හේතුව විදේශ ආයෝජන හකුලා ගැනීමේ අනතුරයි.

ශ්‍රී ලංකාව ඍජු විදේශ ආයෝජන ඇදගැනීම් සඳහා දැඩි සටනක නිරතව සිටී. මේ සටනේ යෙදී සිටින සෙසු කලාපීය තරගකරුවන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතාන්, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානයයි. ඍජු ‍විදේශ ආයෝජන විෂයෙහි මේ රටවල් 8 එක කලාපයක් ලෙස සැලකේ.

සෘජු විදේශ ආයෝජන

විදේශ ආයෝජන ඇදගැනීම සඳහා මේ සෑම රටක්ම විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ, පහසුකම් සහ නීති ලිහිල් කිරීම් ආදියේ නිරත වෙති.

විදේශ ආයෝජන ‍රටක සංවර්ධනයට මොනතරම් බලපෑමක් කරන්නේ ද කිවහොත් ශ්‍රී ලංකාවේ 4,70,000 දෙනා රැකියා කරන්නේ ඍජු විදේශ ආයෝජනයන් මගින් ධාවනය වන කර්මාන්තයන්හිය. රටේ ආනයනයෙන් සියයට 50කට වඩා ඔවුනගේ නිෂ්පාදකයෝය. ආයෝජන ඇදගැනීම සඳහා දිවයින පුරා කර්මාන්ත කලාප 45ක දොරවල් ආයෝජකයන් සඳහා විවෘතය.

ශ්‍රී ලංකාව 2016 වසරේදී ඍජු විදේශ ආයෝජන වශයෙන් ඩොලර් බිලියන 5ක් ඇදගැනීමට ඉලක්ක ගත කර සිටියේ ය.

කලාපීය තරග අනුව නම් ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ. 2014 ඍජු විදේශ ආයෝජනයට සාපේක්ෂව 2015 ඍජු විදේශ ආයෝජනය අඩුය. මහ මැතිවරණ දෙකක් එම වසරේ පැවැත්වීම නිසා රටේ දේශපාලන ස්ථාවරත්වය ගැනවූ ආයෝජක තැතිගැන්ම එයට හේතුවී යැයි ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව (2015) කියයි.

එසේනම් ඍජු විදේශ ආයෝජන ඇදගැන්ම සඳහා 2017 වසර දේශපාලන ස්ථාවරත්වයකින් තිබිය යුතුය. අස්ථාවර දේශපාලන තත්ත්වයකින් යුතු රටකට ආයෝජකයන් එන්නේ නැත. මෙය ඍජු විදේශීය ආයෝජනයේදී හැඳින්වෙන LOCATION SELECTION තත්ත්වයට බලපාන්නකි.

එක්සත් ජාතින්ගේ WIR නම් වාර්තාව ඍජු විදේශීය ආයෝජන ගැන සඳහන් කරන්නකි. මේ වාර්තාව UNCTAD හා සම්බන්ධය. මෑතකදී එය සඳහන් කෙළේ ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තය සඳහා ඍජු විදේශ ආයෝජන ඇදී එන බවයි. එම නිසා ඉන්දියාවේ කාර්මික නිෂ්පාදන අංශය වර්ධනය වන බව ද එම වාර්තාව කියයි.

මෙකී කලාපයෙන් පිටත වියට්නාමය, ඉතියෝපියාව සහ ඉන්දුනීසියාව ඍජු විදෙස් ආයෝජන ඩැහැගැන්මක නිරතවන බව ආයෝජක උපදෙස් මාධ්‍යය නිතර සිහිපත් කර දෙයි.

ලබන වසරේ ශ්‍රී ලංකා තේ අපනයන අංශය දියුණු කිරීම සඳහා ක්‍රියා කිරීමට ද නියමිතය. පසුගිය තේ වෙන්දේසි රාශියකින් පැහැදිලිවම දක්නට ලැබුණේ ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ නව ප්‍රබෝධයක් ගොඩනැ‍ඟෙන අන්දමයි.

ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ

ලිබියාව සහ ඉරානය යන රටවල් දෙක ශ්‍රී ලංකා තේ සඳහා උනන්දු වන බව බ්‍රෝකර් වාර්තා මගින් පැහැදිලිවේ. මිසරය තේ මිශ්‍රකිරීමේ ව්‍යාපාරයට සැරසෙන බවත්, ඩුබායි මැදිකරගත් නව ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළක් ගොඩනැ‍ඟෙන බවත් තේ කර්මාන්ත අංශයේ කතාබහයි.

සංඛ්‍යා ලේඛනවලට අනුව ලිබියාව ශ්‍රී ලංකාවෙන් මිලට ගන්නා තේ ප්‍රමාණය පසුගිය කාලය තුළ වැඩිකර තිබේ. 2016 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලසීමාවේදී ලිබියාව ශ්‍රී ලංකා තේ මිලදී ගැනීම් සියයට 21කින් වැඩිකර තිබේ.

තේ කර්මාන්තයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ලොව පුරාම ඒ පිළිබඳ ප්‍රචාරයක් දෙන වැඩසටහනක් ද 2017 මැයි මාසයේ දී ක්‍රියාත්මක වේ. නව වෙළෙඳ පොළ ඉලක්ක කරගත් මේ වැඩපිළිවෙළට ලැබෙන ප්‍රචාරය ද ලබන වසරේ තේ කර්මාන්තය මගින් දියුණුවට හේතුවිය හැකිය.

එහෙත් තේ කර්මාන්තය ඇතුළු සෙසු නිෂ්පාදන අංශයන්හි ඇතිවන වැඩවර්ජන හා විරෝධතා මගින් නම් රටේ ආර්ථික සෞඛ්‍යය තත්ත්වය නරක අතට හැරෙනු මිස වෙනත් ආර්ථික සුගතියක් නැත.

2015 වසරේ තේ කර්මාන්තයේ ඇතිවූ වැඩවර්ජන සංඛ්‍යාව 31කි. එමගින් අහිමිවූ මිනිස් දින ගණන 70697කි. සමස්තයක් ලෙස ගත්කළ වැඩවර්ජන 51 කින් රටට අහිමිවූ මිනිස් ශ්‍රම දින ගණන 82294කි. 2016 එසේ අහිමිවූ දින ගණන තව ඉදිරියේදී එළිදැක්වෙනු ඇත.

රටේ විදේශ වත්කම් රැකගැනීම මෙන්ම, විදේශ ආයෝජන රැකගැනීම ද එකසේ වැදගත්ය. තම ආයෝජන අනතුරකට පත්වෙන ලකුණු පහළවෙත්ම ඒවා වෙනත් ස්ථාවර ආයෝජන වෙත යොමු කිරීම ආයෝජක රටාවයි. පසුගිය කාලය තුළ ද ක්නට ලැබුණු නරකම දෙයක් නම් ආයෝජන ඉවත්කර ගැනීමයි. 2015 වසරේ දී මෙලෙස ආයෝජන ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. (පිට 23)

විදේශ ආයෝජන ඉවත් කර ගැනීමට හේතුවන කරුණු රාශියකි. ගෝලීය ආර්ථිකයේ විවිධ ප්‍රවණතාවන් ද එයට බලපානු ලබයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළින් ද විදේශ ආයෝජන ඉවත්කර ගැනීම් පසුගිය කාලයේ දිස්විය.

ඇමෙරිකානු පෙඩරල් සංචිත බැංකුව සිය පොලී අනුපාත ඉහළ දැමීම මගින් විදේශ ආයෝජන ආපසු ගලායාමක් සිදුවේ. නැගීඑන රාජ්‍යයන්හි රාජ්‍ය සුරැකුම් පත් කෙරෙහි වන විදේශීය ඉල්ලුම එනිසා මන්දගාමී වන බව ද පිළිගත් සත්‍යයකි. නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ගැන අනාවැකි පළකරන්නෝ ඇමෙරිකා බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමක් සිදුවන බව ද කියයි. 2017 සිදුවන ගෝලීය ආර්ථික වෙනස්කම්වලට ද මුහුණදීමට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම සිද්ධවේ.

මූල්‍ය විනය, දූෂණය මැඩීම සහ පාඩු ලබන රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල පිළිබඳව ද ඍජු තීරණ ගැනීමට ආධාර දෙන ආයතන ද ආණ්ඩුවට ටියුෂන් දීම 2017 වසරේත් සිදුවන බව නම් ඒකාන්තය.

කරුණාරත්න අමරතුංග 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *