ආණ්ඩු පෙරළන ‘නරිවාදම’ – සී.ජේ.අමරතුංග

ජනවාරි

5

7:47 පෙ.ව.

admin

 නව වසර ආරම්භ වන විටම අසන්නට ලැබුණේ ආන්දෝලනාත්මක කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ 2017 දී ආණ්ඩුව පෙරළන බවකි. එනම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බවකි. ඉඩක් ඇත්නම් රාජපක්ෂ මහතා එය කරන්නට උත්සාහ දරන බව නම් පැහැදිලිය. දැන් පවතින යහපාලන ආණ්ඩුව සෑදී තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති ප්‍රධාන පක්ෂ දෙකකින් හා කුඩා පක්ෂ කිහිපයකින් නිසා මේ කියන වැඩේ කරන්නට පුළුවන් කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් ආණ්ඩුව පෙරළන කතාව ගණනකට නොගත් බවක් පෙනෙන්නට තිබිණි. ඒ මහතා කියා තිබු‍‍ණේ මේ මස මැදදී තමා ඩෙවෝස් බලා යන බව හා හැකිනම් තමා රටේ නැති අතර ආණ්ඩුව පෙරළා පෙන්වන ලෙසයි.

එසේ වුවද ආණ්ඩුව ඇතුළත ගැටුම් බරපතළ වී ඇති බවක් ද පෙනෙන්නට තිබුණි. කාලයක් තිස්සේ ගැටුමක් පැවැතියේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙනි. එහිදී වංචාවක් සිදුවී ඇති බව ශ්‍රීලනිප ප්‍රබලයින් කීවද එජාපයේ පිරිස එම අදහස නොපිළිගනිති. මෙය දිගින් දිගට ඇදී යන්නේ දෙපාර්ශ්වයේ මත ගැටුමක් වශයෙනි. කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එය පැහැදිලිව පෙනෙන්නට තිබිණ. දැන් එය නීතිපතිට යොමුකොට ඇතත් සමහර දේශපාලනඥයන් චෝදනා නගන්නේ එය ද ප්‍රශ්නය යට ගැසීමේ මාර්ගයක් වශයෙනි.

මෑතකදී තවත් බරපතළ ගැටුමක් ලෙස මතු වූයේ ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳ තරගයයි. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම් දරන්නේ අගමැතිවරයා බව කවුරුත් දන්නා කාරණයකි. එහි අනෙක් වගකිව යුත්තා මලික් සමරවික්‍රම ඇමැතිවරයාය. සංවර්ධන පනත කැබිනට් මණ්ඩලයෙන් සම්මතකොට පළාත් සභාවල අනුමැතිය සඳහා යවා තිබියදී ශ්‍රීලනිපයේ ප්‍රබල මැති ඇමැතිවරුන් කියන්නට පටන් ගත්තේ මෙය අගමැතිවරයා හා මලික් සමරවික්‍රම ඇමැතිවරයා අතට සුපිරි බලයක් ලබාගැනීම සඳහා ඉදිරිපත්කොට ඇති පනතක් වශයෙනි. ශ්‍රීලනිපයට බලය හිමි පළාත් සභා හතකින් හා උතුරු පළාත් සභාවෙන්ද පනත පරාජය කරනු ලැබීය. එය පෙනී ගියේ ශ්‍රීලනිපයෙන් එජාපයට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ ප්‍රහාරයක් වශයෙනි.

ඉල්ලා අස්වීම

ප්‍රියංකර ජයරත්න මහතා තමන් දැරූ රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම තවත් පැත්තකින් වූ වර්ධනයකි. ඒ සමග කියැවුණේ ඉදිරි දිනවල තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට යන බවයි. මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එවා තිබූ පිරිසක් මෙලෙස ඉවත්කර ගනිමින් ජනාධිපතිවරයා වෙත පීඩනයක් එල්ල කිරීමට යන බවටද කට කතා පැතිර ගියේය. තවත් කතාවකින් කියැවුණේ මෙම මෙහෙයුම සඳහා ප්‍රකෝටි ගණනක මුදලක් වෙන්කොට ඇති බවයි. මෙම කතාවල සත්‍යතාවයක් ගැන කිසිදු සාක්ෂියක් නැතත් මේවා ආණ්ඩු පෙරළන කතාව තහවුරු කරන්නට විපක්ෂයෙන් ප්‍රචාරය කරන කතා බව පෙනෙන්නට තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ජනාධිපතිවරණයෙන් පසුව එවකට පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හිමිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කළ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන ලෙසයි. ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා මෙරට විදෙස් ජනමාධ්‍යවේදීන් සමග ප්‍රකාශ කොට තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැතිකම භාරගන්නට තමන්ගේ අකමැත්තක් නැති බවයි. ඒ අතර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දැන් සෑහෙන කාලයක සිට කියන්නේ එජාපයෙන්ද මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් තමන් සමග එක් වන්නට සූදානමින් සිටින බවයි.

විපක්ෂයේ කියුම් කෙරුම්වලින් එක දෙයක් පැහැදිලිය. එනම් ආණ්ඩුව පෙරළීම කෙසේ වෙතත්, තමන්ට එසේ කළ හැකි බවත්, එසේ කිරීමට සැලසුමක් ඇති බවත් ප්‍රචාරය කිරීමයි. එය ඔවුන්ගේ දේශපාලනය සඳහා අවශ්‍යය. අනුගාමිකයන්ගේ ධෛර්ය රඳවා ගැනීම සඳහා එවැනි දේ කීම අත්‍යවශ්‍යය. මේ වර්ෂයේ දී තමන් ආණ්ඩුව පෙරළන බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඒකය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය කියන දෙයින් මහජනයා කලබලයට පත්වන්නේ නැත. ඔවුන් එවැනි දේ කීම මහජනයාට සාමාන්‍ය සිදුවීමකි. මහජනයාට යම් චකිතයක් ඇති වන්නේ ආණ්ඩුව තුළ සිදුවන දේ පිළිබඳවය. ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් එජාපයටත් අගමැතිවරයාටත් එරෙහිව කරන ප්‍රකාශ පිළිබඳවය. කැබිනට් මණ්ඩලය සම්මත කළ පනත පළාත් සභාවලින් පරාජය වීම පිළිබඳවය. මේ සියල්ල කරන අය සිටින්නේ ජනාධිපතිවරයා නායකත්වය දෙන පක්ෂයේ වීම මහජනයාගේ යම් කැළඹීමකට හේතු විය හැකිය.

යුග දෙකක වෙනස

සමහරු හිතන්නේ මෙය අතීත සිදුවීම් නැවත සිදුවිය හැකි අවස්ථාවක් වශයෙනි. එනම් 2004 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය එජාප ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිවරයා රනිල්ගේ ආණ්ඩුව පෙරළා දමන්නට ඉඩ ඇති බවය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර ගන්නා විට මහජනයා එලෙස කල්පනා කිරීම ද සාධාරණය.

එසේ වුවද අද පවතින්නේ 2004 දී මේ රටේ තිබූ තත්ත්වය නොවන බව මුලින්ම අප තේරුම් ගත යුතුය. එදා පැවැතියේ අද වැනි සම්මුතිවාදී ආණ්ඩුවක් නොවේ. පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපතිවරියක් පත්වී සිටි අතර ප්‍රතිවාදී පක්ෂය වන එජාපයෙන් අගමැතිවරයකු පත්ව සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය සමගය. ඒ අනුව එදා පැවැතියේ ගැටුම උරුමයක් කරගත් ආණ්ඩුවකි.

එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය පත්ව සිටියේ පොදුජන එක්සත් පෙරමුණේ ඡන්දයෙනි. ඇය බලයේ සිටියේ එජාප ඡන්ද ලබාගෙන නොවේ. එමෙන්ම දෙපාර්ශ්වයට පොදු වැඩ පිළිවෙළක් හෝ ජනවරමක් ද හිමිව තුබුණේ නැත.

අද පවතින්නේ වෙනස් තත්ත්වයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයේ සිටින්නේ එජාපයේ ඡන්ද ලබා ගනිමිනි. එතුමාට ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඡන්දය එදා හිමිවූයේ නැත. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, රනිල් වික්‍රමසිංහ මහතාටත් එදා ජනාධිපතිවරණයේදී පොදු ජනවරමක් ලැබිණි. ඒ ජනවරම ලැබුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන සඳහා එකට වැඩ කරන්නටය. එම ජනවරමට පයින් ගැසීම ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. එසේ කරන්නට නම් ඒ සඳහා ප්‍රබල හේතු අත්‍යවශ්‍යය. එබඳු තත්ත්වයක් අද දකින්නට නැත. ළඟදී උදාවන බවක් ද පෙනෙන්නට නැත.

බල සංයුතිය

එමෙන්ම ජනාධිපති තනතුරේ එදා තිබූ බලය හීනවී ඇති බවද තේරුම් ගත යුතුව ඇත. එදා චන්ද්‍රිකා ජනාධිපතිනිය එජාප ආණ්ඩුව පෙරළා දැමුවේ මහ මැතිවරණයකට යාම මගිනි. එසේ නැතිව ඔලු මාරුවකින් නොවේ. එසේ වුවද දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව දැන් ජනාධිපතිවරයාට මැතිවරණ කැඳවීමේ බලය නැත. ජනාධිපතිවරණයකට යා හැක්කේ 2020 දී ය.

පාර්ලිමේන්තුවේ සැකසුමේ අංක ගණිතය අනුව බැලුවද ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩු වෙසනකට ඉඩකඩක් කිසිසේත් පෙනෙන්නට නැත. දේශපාලන යථාර්ථය එයයි.

අනෙක් අතට දේශපාලන බල පෙරැළියක් ක්‍රියාවට නැගීමට නම් ඒ සඳහා දේශපාලන සාධකද මෝරා තිබිය යුතුය. එමෙන්ම ජනතාවට ඉදිරිපත් කළ හැකි විකල්ප වැඩ සැලැස්මක්ද තිබිය යුතුය. අද වනවිට යහපාලන ආණ්ඩුව පිළිබඳව මහජනයාගේ යම් කලකිරීමක් ඇති බව සත්‍යයකි. ඒ කලකිරීම ඇත්තේ යහපාලනයෙන් පොරොන්දු වූ වැඩ පිළිවෙළ හරියාකාරව ඉටුනොවීම පිළිබඳවය. මහජන දේපළ පරිහරණයේදී තවමත් පවතින ප්‍රශ්න පිළිබඳව. හොරුන්ට, දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය හා දුර්වලතා ගැනය. දූෂිතයන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීම එයට පිළිතුර වන්නේ නැත. නඩු පිට හා ඇප පිට සිටින දේශපාලනඥයන් පෙරටුකොට ගෙන මෙම තත්ත්වයට විකල්පයක් සෙවිය නොහැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැති වෙන්නට මහින්ද රාජපක්ෂ මහතා දකින සිහිනය සිහිනයක්ම වන්නේ ඒ නිසාය.

දේශපාලන පෙරැළියකට තීරණ ගන්නට පෙර ජනාධිපතිතුමා තවත් දේ ගැන සලකා බලනු නිසැකය. ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කරන්නේ එජාප බලය පෙරළා ජනාධිපතිතුමාට බලය අරන් දෙන්නට නොවේ මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙනෙන්නටය. කුමන හෝ හේතුවකින් එය සාර්ථක වුවහොත් මෛත්‍රීට සිදුවන්නේ මහින්දගේ රූකඩයක් ලෙස නැටවෙන්නට විය හැකිය. එබඳු තත්ත්වයකට වැටෙන්නට කිසිවකු සූදානම් වන්නේ නැත.

ශ්‍රී ල නි ප ශක්තිය

අනෙක් අතට සිය දේශපාලන ක්‍රියාමාර්ග මගින් මේ වනවිට ශ්‍රීලනිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ශක්තිමත් වී අවසානය. මේ වනවිට ඔහු සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ කේවල් කිරීම්වලට යටවන තත්ත්වයක නොවේ. තත්ත්වය එසේ නම් කෙනෙකුට ප්‍රශ්න පැනනැගිය හැක්කේ ආණ්ඩුවේ ඇතුලේ විවෘත ගැටුමක් පැනනැගී ඇත්තේ ඇයි? යනුවෙනි.

මෙම ගැටුමට මුල පුරා සිටින ඇතැම් ඇමැතිවරුන්ට නම් එජාප ආණ්ඩුව පෙරළා දමා ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගීමට ඇත්ත වුවමනාවක් තිබිය හැකිය. ජනාධිපති මෛත්‍රී ළඟට පසුව පැමිණි මොවුන් වැඩි දෙනකු ජනවාරි අට ජනවරමට සම්බන්ධ වූ‍වෝ නොවෙති. ඔවුන් හිටියේ මහින්ද රාජපක්ෂ කඳවුරේය. පසුව යහපාලනයට එක් වුවද ඔවුන් තුළ යහපාලන වුවමනාව තිබේද යන්න සැක සහිතය.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇමැතිකම් කරනවිට තිබූ වරප්‍රසාද බොහොමයක් අද ඔවුනට නැත. එදා සියල්ල තිබුණේ දේශපාලනයටත් දේශපාලකයන්ටත් යටත් තත්ත්වයකය. නිලධාරී තන්ත්‍රය පොලීසිය, අධිකරණය ස්වාධීන නොවීය. ටෙන්ඩර්, කොන්ත්‍රාත් දීම හිතුමතේ කළ හැකිව තිබිණි. එයින් ලැබෙන ඵල ප්‍රයෝජන ගැන කිවයුතු නැත. දැන් මොවුන් ඇමැතිකම් කළද එකී වරප්‍රසාද නැත. ඔවුන් හිතන්නේ මෙය එජාප ආණ්ඩුවක් නිසා සිදුවූවක් කියා විය හැකිය. එවිට සිදුවන්නේ එජාපය හා වෛර බැඳ ප්‍රශ්න පටලවා ගැනීමය. එය මෙම ප්‍රශ්න මෙලෙස මතුවීමට හේතුවක් විය හැකිය.

මෙම දේශපාලන ක්‍රියාවලිය පසුපස ඊටත් වඩා ප්‍රබල හා සියුම් හේතු තිබෙන බවද තේරුම්ගත යුතුව ඇත. එය නම් එජාපය හා මෙබදු ගැටුමක් අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායමටද අවශ්‍යව තිබීමයි. එය අවශ්‍ය වන්නේ රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නට නොව ශ්‍රීලනිපය තුළ ජනාධිපතිතුමාගේ බලය වර්ධනය කරන්නටය.

යථාර්ථය වැටහීම

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීට එල්ල කරන එක් චෝදනාවක් නම් ශ්‍රීලනිපය එජාපයට යටත් තත්ත්වයට පත්කොට ඇති බවයි. එය එසේ නොවන බව පෙන්නුම් කළ හැකි වන්නේ මෙබදු ප්‍රශ්නවලදී ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීම මගින්ය. සංවර්ධන පනතේදී සිදුවූයේ එවැන්නකි. මතුපිටින් ප්‍රහාරය එල්ල වන්නේ රනිල්ටය. එසේ වුවද යටින් ප්‍රහාරය එල්ල වන්නේ මහින්දටය. ශ්‍රීලනිපය තුළ ඉතිරිව තිබෙන මහින්දගේ බලය දුර්වල කරන්නටය. අනෙක් අතට ශ්‍රීලනිපාක්ෂිකයාට දැන් තවත් පණිවිඩයක් ලැබී ඇත. එනම් ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදිය හැකිනම් එය කළ හැක්කේ මහින්දට නොව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට යන්නයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රශ්නය දෙස ඉතා සැහැල්ලුවෙන් බලන්නේත්, ආණ්ඩු පෙරළන කතාව උපහාසයෙන් බැහැර කරන්නේත් මෙම දේශපාලන යථාර්ථය තේරුම්ගෙන සිටින නිසා විය හැකිය. රාජිත සේනාරත්න මහතා මේ ගැන කියා තිබුණේ ආණ්ඩුව හෙල්ලෙන බව ඇත්ත වුවත් හෙල්ලෙන සියල්ල වැටෙන්නේ නැති බවයි.

ලොකුවට චණ්ඩිකම් කතා කරන උදවිය එසේ කරන්නේ බැරිකම වසා ගැනීමට බව ගම්වල ජනයා දනිති. මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ තත්ත්වයද ඒකය. හැමදාම කතා කරන්නේ මහා ලොකු කෙරුමන් විලසිනි. නිතරම තර්ජන ගර්ජනය. එසේ වුවද දැන් මොවුන් කිසිවක් කළ නොහැකි කයිවාරුකාරයන් පිරිසක් වී ඇති බව පැහැදිලිව පෙනී යන තත්ත්වයකි. ආණ්ඩුව පෙරළන්නට කතා කළාට සිදුවෙමින් තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නන්නත්තාර වීමය. මොවුන්ගේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි ඉදිරි කාලයේදී කාටත් දැකගත හැකිවනු ඇත.

සී.ජේ.අමරතුංග

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *