අප අතර සිටින සැබෑ සූරාකන්නන් හඳුනා ගනිමු: – අජිත් පැරකුම් ජයසිංහ

අප්‍රේල්

21

9:04 පෙ.ව.

admin

ලංකාවේ වාමාංශිකයන් විශේෂයෙනුත්, පොදු සමාජයත් පොලිසියට වෛර කරන්නට කැමති ය. ඇතැමුන් පොලිස්කාරයන්ට බනින්නේ ධනපති පංතියේ කටු කන, පීඩිතයන් මත බුරා පනින බල්ලන් ලෙස හඳුන්වමිනි.

පොලිසිය තරම් ම නිර්දය ලෙස පීඩිත අසරණයින්ට පහර දෙන, ඔවුන්ට මානසිකව ද අඩන්තේට්ටම් කරන, දූෂණ වංචාවල යෙදෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් අමානුෂික ලෙස පීඩාවට පත් කරන්නේ අසරණ දරුවන් ය. ඒ වනාහි විදුහල්පතිවරු හා ගුරුවරු ය.

වාමාංශිකයන් ඔවුන් ධනවාදයේ කටු කන බල්ලන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙත්, ඇත්තම කියනවා නම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් යනු ධනවාදයේ නරක ම කටු කන බල්ලන් පිරිසකි. හේතුව සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි, ධනපති හා මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ලංකාවේ ධනවාදී පාලන ක්‍ර‍මය ලංකාව මත පවත්වාගෙන යාමට අවශ්‍ය අන්දමින් ඉතා ම නරක ලෙස ළමා මනස විකෘති කර සමාජය හැඩගස්වන්නේ මෙම වෘත්තික කණ්ඩායම විසිනි.

බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති.

එපමණක් නොව, නිසි ලෙස ඉගැන්වීමේ කාර්යය නො කිරීමෙන් ඔවුහු මහජන මුදල් නාස්ති කරති. වැරදි දේ ඉගැන්වීමෙන් පවත්නා අධානග්‍රාහිත්වය ආරක්ෂා කරති. ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරති. සමස්තයක් ලෙස ධනවාදයට සේවය කරති.

මොවුන්ට රජයෙන් ගෙවන්නේ හිඟන වැටුපකි. එහෙත්, ගුරු වෘත්තියේ නියැලි වැඩි දෙනෙක් තම වෘත්තීය තත්වය වර්ධනය කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග නො ගෙන, එම තත්වය දඩමීමා කරගෙන අතිශය කෘෘර සූරාකෑමක යෙදෙති. එසේ කරන්නේ විවිධාකාරයෙන් දරුවන් හා මව්පියන් බියට හා අනාරක්ෂිත තත්වයට පත් කර ඔවුන් ටියුෂන් පංතිවලට ගෙන්වාගෙන විශාල වශයෙන් මුදල් සූරාකෑමෙනි.

නිදහස් අධ්‍යාපනය වෙළඳපොළකරණය කරන ප්‍රධාන ප්‍රතිගාමී වෘත්තීය බලවේගය ගුරුවරු ය. ඔවුන් වානිජකරණය පැත්තෙන් දොස්තරලාට දෙවෙනි වන්නේ ආදායම් වෙනස්කම් හේතුවෙන් පමණි. භයානකත්වය පැත්තෙන් ඔවුන් දොස්තරලාට වඩා විනාශකාරී ය. මන්ද, දොස්තරලා මෙන් නොව, ගුරුවරු සමාජය විනාශ කරන්නේ පරම්පරා පිටින් ය. ගුරුවරුන් සමාජයට කරන හානියේ තරමට සාපේක්ෂව සැලකූ කල පොලිස්කාරයන් වනාහි නිකම් පණුවන් පිරිසකි.

ලංකාවේ ගුරුවරුන් සමාජයට කරන හානිය පූජකයන් හා මාධ්‍ය විසින් කරන හානියටත් වඩා භයානක ය. අනාගත පරම්පරාවන් මේ සමාජයට අනුගත කරන ප්‍රධාන ම බලවේගය ගුරුවරු ය. ඔවුන් අතර පුද්ගල ව්‍යතිරේඛ තිබිය හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් වෙනස් පුද්ගලයන් සිටිය හැකි ය. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල අධ්‍යාපනය තුළ පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහි දැනුවත් අරගලයක් කරන කිසිදු ගුරු ව්‍යාපාරයක් නැත.

ගුරු වෘත්තිකයන් අතරින් ද ප්‍රතිගාමී ම කොටස වන්නේ විදුහල්පතිවරු ය.

වාමාංශිකයන් මෙම ප්‍ර‍තිගාමී ස්ථර සුරතල් කරන්නේ නො මග ගිය ජනතාව ලෙස ය. නොමග යාම කාගේවත් අයිතිවාසිකමක් නො වේ. මොළේ පාදාගැනීමේ වගකීමක් සමාජයට ඇත. ගුරුවරුන් කරන කාර්යය අප මෙතරම් නිර්දය ලෙස විවේචනය කරන්නේ එහෙයිනි.

මෙම සටහන වනාහි ලංකාවේ සමාජය හඳුනා ගැනීම සඳහා අලුත් කවුළුවක් විවෘත කිරීමට දරණ උත්සාහයේ කොටසකි. ලංකාවේ වාමාංශිකයන් විසින් බටහිරින් ණයට ගත් අච්චුවක් තුළට මනසින් ලංකාව ඔබාගෙන කර තිබෙන විකෘති විග්‍රහය තුළ ලංකාවේ සමාජය පිළිබඳ නිර්මානය වී ඇත්තේ ව්‍යාජ චිත්‍රයකි.

අප නගන මූලික තර්කය වන්නේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය නම් සමාගම දැවැන්ත සූරාකන්නකු බව හා එහි අකාර්යක්ෂම සේවකයන් ද එම සූරාකෑමෙහි පංගුකරුවන් වන බවයි. ලංකාවේ පාලක පංතිය හා දේශපාලන ක්‍ර‍මය නිර්මානය වන්නේ මොවුන්ගෙනි. ලංකාවේ සමාජ කාලකන්නිකම නිර්මානය කිරීම සඳහා රජයේ සේවකයෝ දැවැන්ත දායකත්වයක් සපයති. එපමණක් නොව, එම කාලකන්නිකම පවත්වාගෙන යාමටත්, තමන්ට වාසිදායක සමාජ විපර්යාස වෙනුවෙන් පමණක් සමාජ අරගල යොමු කිරීමටත් ඔවුහු විශාල දායකත්වයක් සපයති.

ලංකාවේ වාමාංශික පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සිර වී තිබෙන්නේ මෙම රාමුව තුළ ය. ඔවුන් අසාර්ථක වී තිබෙන්නට ප්‍රධාන හේතුවත් එයයි. මන්ද, සූරාකන්නන් පිරිසක් පදනම් කර ගනිමින් සූරාකෑමට එරෙහිව සමාජ අරගලයක් නිර්මානය කරන්නට යාම හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වැනි දෙයක් නිසා ය.

සිය පංති විග්‍රහය ම මූලික වශයෙන් වැරදි බව තේරුම් ගැනීමෙන් තොරව වමට අලුත් වන්නට බැරි ය. එතෙක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය යනු හුදු භාෂාත්මක අවකාශයක් පමණක් වීම වැළැක්විය නො හැකි ය. එහි ඇත්තේ භාෂාවක්, එම භාෂාව මත පදනම් වූ ව්‍යාජ සංකල්ප සමුදායක් හා ව්‍යාජ ක්‍රියාකාරිත්වක් පමණි.

මෙම පදනම ප්‍රශ්න කළ විට දියෙන් ගොඩ දැමූ මාළුන් සේ ඔවුන් අසරණ වන්නේ ඒ නිසා ය.

එහෙත් වාමාංශික භාෂා අවකාශය අභියෝගයට ලක් කිරීම දේශපාලනිකව අත්‍යවශ්‍ය ය.

වමට බුදු සරණයි! දෙවි පිහිටයි!

(අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka බ්ලොග් අඩවියෙනි )

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *