අපේ කාලයේ වීරවරිය

ඔක්තෝබර්

24

7:33 පෙ.ව.

admin

සීතා රංජනී

ශාන්ති දිසා­නා­යක

වියළී ඉරිතලා ගිය පොළොව තෙමාලන වර්ෂාව ගොවි හද පමණක් නොව ළමා ළපටි කොයි කාගේත් සතුට වඩවයි. කෙමෙන් වියැකී ගිය හරිත පැහැය යළිත් සෙමින් ලැගුම් ගන්නා තුරුලතාවෝ ප්‍රමුදිතව රඟන්නාක් බඳුය.

ගොවි බිමත්, ජලයත්, අස්වැන්නට නිසි මිලක් පමණක් ඉල්ලන ගොවියෝ උකටලී බව හැර පියා යුහුසුළු වන අපූරුව බලන්නට ලස්සනය.

අස්වැසුණ සිතෙහි සාමය උදුරාගන්නට දුරකතනය සමත් නොවේ. දුරකතනයක් නම් නාද විය යුතුව නොවැ. සැබැවින්ම ඒ ඇමතුම මා කිසිසේත් අපේක්ෂා නොකළ එකකි.

ඇය!

අපේ කාලයේ වීරවරිය

යුක්තිය, සාධාරණත්වය හා සංහිඳියාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සීතා රංජනී!

මම විමතියෙන්ද සොම්නසින්ද ශෝකයෙන්ද උතුරා ගියෙමි. දිගු කලක් මුළුල්ලේ ඇය රෝගීව පසුවන බව දැන දැනත් කිසිවක් කර කියාගන්නට අසමත්වීම පිළිබඳව මම ලැජ්ජාවට පත්වීමි. මේ නොනවතින ජීවන අරගලය යුතුකම් හා වගකීම් පවා අමතක කරවන හැටි!

සීතා රංජනී මාධ්‍යවේදිනිය සිවිල් ක්‍රියාකාරිනිය මගේ ලියවිලි අගය කළාය. රුදුරු රෝගයකින් පෙළෙමින් වුව ඇය සිය අපහසුතා හා වේදනාවන් නොසලකා ස‍හෝදර ලේඛිකාවක අගය කරන්නට තරම් උදාර හදවතකින් හෙබියේය. මම මොහොතකට ගොළුව ගියෙමි.

ඇය තවමත් පොත පත කියවන හා වැඩෙහි යෙදී සිටින බව හෙළිවීමෙන් මම විළියෙන් පසුබා ගියෙමි. අපි ඇය අමතක කර හැල්මේ දුවන අතර ඇය රෝගය සමඟ අරගල කරමින් වුව තව නොමඳව සුවඳ විහිඳුවන කුසුමක්ම වන්නීය.

සීතා රංජනී මා දිරිමත් කළාය. ඇය ද අනුරාධපුරයෙන් කොළොම්පුරටත් සංක්‍රමණය වූ නිසාදෝ දීර්ඝ කාලයක් මුළුල්ලේ මා පිළිබඳව සෙවිල්ලෙන් බැලිල්ලෙන් පසුවන්නීය.

මට තාම මතකයි ඔයා දරු පැටව් එක්ක අපේ ගෙදරට ඇවිත් ගිය හැටි. හරියට කුණටුවක් සුළඟක් වගේ… අනේ ඊට පස්සේ ඔයා ආවෙම නෑනේ… දැන් දරුවො ලොකුද…?”

ඇය අතීතයේ එක් දවසක් සිහිපත් කරමින් සිනාසුණාය.

“ලස්සනට පිළිවෙළට නිහඬව ඉන්න ඔයාට නම් ඒක ප්‍රචණ්ඩ කුණාටුවක් වෙන්නැති”යි කියාගන්නට මට මගේ දෑස පිරුණ කඳුළ ඉඩ නොදුන්නේය.

මගේ දරුවන්ගෙද දුක සැප විමසන මේ දිරිය ගැහැනිය උදෙසා මට කිසිවක් කළ නොහැකි බව පසක්වීම මහත්ම වේදනාවකි.

“ආයෙත් අනුරාධපුරේ එන්න ආසයි.”යි ඇය සිය හද ගැබ මෝරන ආශාවක් හෙළි කළාය.

“ඔයා අනුරාධපුරේ ආවම මම ඔයාව බලන්න එන්නම් යි මම පොරොන්දු වීමි. ඇය ඒ පොරොන්දුව සතුටින් ඉවසූ වග මට වැටහිණ.”

දැඩි ශාරිරික අපහසුතා මධ්‍යයේ වුව තමා තවමත් වැඩකරන බව ඇය පැවසුවාය. ජයතිලක කම්මැලවීර ප්‍රවීණ ලේඛකයා සිය අලුත්ම කෘතිය තිළිණ කළ බව කී ඇය ඔහුගේ කාරුණිකත්වය පිළිබඳව කතෘඥතාපූර්වකව සිහිපත් කළාය. කීර්ති වැලිසරගේ, වසන්තා රුක්මණී සිරිවර්ධන සහෝදර ‍ලේඛක ලේඛිකාවන් පිළිබඳව ඇය මහත් ආදර ගෞරවයෙන් සඳහන් කළ බවද සටහන් කළ යුතුමය.

පෞද්ගලික ජීවිතය දෙවන තැනට දමමින් මේ රට මීට වඩා යහපත් හා සාධාරණ රටක් බවට පත්කරන්නට සීතා රංජනී දරන ලද ප්‍රයත්නය අප කිසිවෙකුටත් අමතක කළ හැකිද?

කෘතවේදීත්වයද සංවේදී බවද ඒ තරම් ප්‍රකට නොකරන රටක් බව බොහෝවිට පෙනෙන්නට තිබුණද සීතා රංජනීගේ මෙහෙවර අගය කරන මාධ්‍ය හා සැබෑ මිනිස්සුන්හට අප සියලු දෙනාගේ ගෞරවාදරය හිමි විය යුතුය.

ඇය නොනවත අරගල කරන්නීය. අයුක්තිය, අසාධාරණය හා ජාතිවාදය සමඟ ජීවිත කාලය මුළුල්ලේ අරගල කළ එඩිතර ගැහැනියට තවත් සතුරෙක් සමඟද අරගල කරන්නට සිදුව තිබීම අපේ ද රටේ ද අභාග්‍යයකි.

රෝ රකුසා සමඟ කරන අරගලයෙන් ඇය පරාජයට පත් වුවද නොසැලී මුහුණ දෙන අපූරුව ගිණිය මිනිය නොහෙන තරමට අනගිය. ජයග්‍රහණය හෝ පරාජය පිළිබදව ‍නොතැවී, පලා නොයන්නට තරම් ශක්තිමත් වීමද එළැ‍ෙඹන අභි‍යෝගයන්ට මුහුණ දීමද සීතා රංජනීගේ ජීවිතයෙන් ලබාගත හැකි අමිල ආදර්ශයයි.

ඇගේ ගත සුවපත් කරන්නට අප අපොහොසත් වුවද ඇයගේ සිත සුවපත් කරන්නට අපි කාලයද කරුණාවද කැප කරන්නේ නම්….!

ඒ ‍සත්කාර්ය නොපිරිහෙළා ඉටු කරන කුළුණුබර සිත් ඇත්තවුන් පිළිබඳව සීතා රංජනී මහත් සෙනෙහසින් සිහිපත් කළාය.

2016 වසරේ විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි හා තරුරසී කිවිඳියන් එකතුව සීතාරංජනී ඇගයීම සැබැවින්ම උදාර කටයුත්තකි.

මල්රාජ් වන්නිආරච්චි, සුනිල් විජේසිරිවර්ධන, පෝද්දල ජයන්ත, මනෝරංජන් අතුළු තවත් බොහෝදෙනා කළ උතුම් උපකාර සදා මතකයේ රැඳෙන බවද යම් නමක් අතපසුවී නම් කනගාටුවන බවද ඇය ප්‍රකාශ කළාය. ළබැඳි සිතින් උදව් කළ ඇතැම් අය නම් සඳහන් කරනවාට තරයේ විරුද්ධ බවද ඇය විශේෂයෙන් කී බව සටහන් කළ යුතුය. ඇය පල්ලේගම හේමරතන හාමුදුරුවන් සිහිපත් කළේ ද අපමණ ගෞරවාදරයෙනි. සියලු මාධ්‍ය ආයතන තමා වෙත දක්වන ලද අනුග්‍රහය පිළිබඳව ඇය ස්තුතිය පුද කළාය.

මහින්ද ආණ්ඩුව කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව සීතා රංජනී පිළිබඳව මුණිවත රැකීම හා ඉවත බැලීම මට වටහාගත නොහැක.

ඇය ඒ සංවේදී හා සුහද පිළිසඳර අවසන් කළේ මාර්ටින් ලූතර් කිංගේ ශ්‍රේෂ්ඨ කියමනක් උපුටා දක්වමිනි.

“අපට පශ්චත්තාප වන්නට සිදුවන්නේ දුෂ්ට මිනිසුන්ගේ නපුරුකම් පිළිබඳව නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාවය හේතුකොටගෙනය.”

ශාන්ති දිසා­නා­යක

දිනමිණ

අදහස්


එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *