අපි රනිල්ටවත් මහින්දටවත් කඩේ යන්නේ නෑ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ජනවාරි

4

8:59 පෙ.ව.

admin

නව සමසමජ පක්ෂය දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දේශපාලනයේ නිරතවන පක්ෂයක්. මේ පක්ෂය ආරම්භ කරලා පලමුවෙන්ම කරන්න සිද්ධ වුනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න. ඒ ව්‍යවස්ථාව මහ උවදුරක් කියලා අපිට තේරුණා. රට පුරාම කලුකොඩි දාන්න අපි පියවර ගත්තා. විශේෂයෙන් විරුද්ධ පක්ෂය සමග එක් වෙලා ජනතාව අතරට ගිහින් සංවිධානාත්මකව ඒකට මූණ දෙන්න. ඒ සදහා යම්කිසි ජනතා සභාවකි ඇති කරලා තමයි මේකට අපි මුහුණ දුන්නෙ. ඒ සටනින් රට පුරාම විරුද්ධත්වයක් ඇතිකරලීමට අපිට හැකියාව ඇති උණා. සභාග පෙරමුණු උපක්‍රමයක් තුළින් විශාල පිරිසක් අපි වටා එකතු කර ගන්නට අපිට හැකියාව ලැබුණා. නොයෙකුත් බාධක ඇති වුණා . තර්ජණ එල්ල උණා. නමුත් පක්ෂයක් හැටියට අපි ඉදිරියටම ගමන් කලා. 1980 වැඩ වර්ජනයේ දීත් එක්සත් පෙරමුණු ක්‍රියාමාර්ගයක් අනුගමනය කලා. ඒ අවස්ථාවේදී නව සමසමාජ පක්ෂය හැටියට විප්ලවකාරීව මුහුණ දුන්නා. අපි දිගින් දිගටම සටන් කලේ ඒ වෙලාවෙ තිබුණු නිශ්චිත අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ක්‍රියාමාර්ග ගන්න.

ජේ.ආර්.ආණ්ඩුව තිබුණු කාලෙම අපිව හිරගෙවල්වල දැම්මා. අපිව තහනම් කලා. අවුරුදු දෙකකට අධික කාලයක් අපි රහසිගතව කටයුතු කලා. ඒ වෙලාවෙදි සරත් මුත්තෙට්ටුවෙගම, විජය කුමාරතුංග වගේ සහෝදරවරු එකතු කරගෙන නැවත අපි සටන් බිමට ආවා. ඒ වෙනකොටම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අපෙන් ඇහුවා , බලය බෙදන වැඩපිලිවෙලකට උබලා කැමතිද කියලා. ඒ අවස්ථාවේදි අපි ඒකාබද්ධ වැඩපිලිවෙලකට යොමු වුණා. එක්සත් සමාජවාදී පෙරමුණ ඇතිකරන්නට අපි කටයුතු යෙදුවා. ඒ තුළින් බලය බෙදීමේ ක්‍රියාවලිය සංවිධානය කරන්නට අපි පෙළඹුණා. පලාත් සභා ක්‍රමය ඇති කිරීමට ,දෙමළ ජනතාවගේ පුරවැසි ප්‍රශ්නය විසදීමට ,භාෂා ප්‍රශ්නය විසදීමට අපි සටන් කලා. රට පුරා කදවුරු බැඳලා , ජනතාව ඒකරාශී කරමින් එක්සත් සමාජවාදී පෙරමුණේ අරමුණු ඉටුකිරීම සඳහා කැපවීමකින් කටයුතු කලා. මේ සටනේදී මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් එකතුවෙලා කටයුතු කලා. එදා එහෙම සටන් කලත් මෙදා එතුමා අත්තනෝමතික ලෙස රට දූෂණය කරන කොට ඒවට විරුද්ධ වෙන්නට අපිට හැකියාව ලැබුණා. අපේ පක්ෂයේ හිටපු ඇතැම් අය මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා අගාධයට ගියා. හැබැයි අපිට එහෙම උනේ නෑ. තීරකයා කවුද පීඩිතයා කවුද, කියන එක තේරුම් ගැනීමේ හැකියාව අපට තිබුණා.මොකද අපිට මාක්ස්වාදය පිළිබඳව හොද අවබෝධයක් තිබුණු නිසා. අපි මහින්ද එක්ක වැඩ කරල තියෙනවා. රනිල් එක්ක වැඩ කරල තියෙනවා. ඒත් වැරැද්ද දූෂණය දැකපු තැන ඒවාට විරුද්ධව කතා කරලා තියෙනවා. අපි කාටවත් කඩේ යන්නෙ නෑ . මම ඒක වගකීමෙන් කියන්නෙ. වාම සාම කියලා වැඩසටහනක් හදලා චන්ද්‍රිකා මැතිණියටත් සහයෝගය දුන්නා. ඉස්සරහට යනවනම්, ව්‍යවස්ථා සම්පාදනය කරන්නට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නට. නමුත් ඒවා කෙරුනේ නෑ. කඩා වැටීමකට ලක් උණා. අපි ඒවාගෙන් ඉවත් වුණා. මේ අවුරුදු 39 තුළම අපේ පක්ෂය ගත්තෙ නිවැරදි ක්‍රියාමාර්ග අපි ඒ වෙනුවෙන් කැප කිරීමක් කලා. අපිත් එක්ක ඉන්න පිරිස කුඩා වෙන්න පුලුවන්. ඒත් අපි ගත්ත ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග සහ සටන් වලින් වාමාංශිකයන් ලෙස ලොකූ බලපෑමක් කරන්නට අපට හැකියාව ලැබුණා. 2005 මහින්දගෙ ආණ්ඩුව එනකොට අපි පැදිලිවම කීවෙ ,මේ අය ගෙනියන්නෙ ෆැසිස්ට් ආණ්ඩුවක් කියලා. ඒක කල් තියාම අපි දැක්කා. අපි හොයාගන ගියා කවුද ඒකට විරුද්ධව සටන් කරන්නට එන්නෙ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට විරුද්ධව සටන් බිමට එන බව අපි දැක්කා.

2008 ඉදන් ඔහුත් සමග අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව සටන් කිරීමට කටයුතු ආරම්භ කලා. ජනතාව වෙනුවෙන් සටන් කරන්නට අපි කැපවීමෙන් කටයුතු කලා. අපේ අපේක්ෂාව වෙන්නෙ පක්ෂය පෝෂණය කිරීම නෙවෙයි. රට නිවැරදි මාර්ගයේ රැගෙන යාමයි. අපිට විප්ලවයක් ආරම්භ කරලා ඉදිරියට යන ගමනෙදි ප්‍රතිගාමි බලවේග පාලනය කර ප්‍රගතිශීලීව රට ඉදිරියට රැගෙනයාම අපේ බලාපොරොත්තුවයි. ට්‍රොස්කි, ලෙනින් පෙන්වාදුන් ආදර්ශයන්ට අනුව ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ, පුද්ගලික ජයග්‍රහණ ලෙස නොව පොදු ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් අපි සටන් කල යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදන්නට සියලුම කටයුතු සම්පාදනය කරලා තියෙන අවස්ථාවක ප්‍රතිගාමි බලවේග විවිධ බලපෑම් එල්ල කරලා තියෙනවා. ආණ්ඩුව තුළම ඉන්නවා ඒකට බාධා පමුණුවන , නමුත් මොන බලපෑම් ආවත් අපි ඒවා මැඩලීම සිදු කිරීම අනිවාර්යයෙන් කල යුතුමයි. මේ වෙලාවෙ නව ව්‍යවස්ථාවක් හදලා නීතිය ශක්තිමත් කරල ඉදිරියට යායුතුමයි.

සුපිරි අමාත්‍ය වරයෙක් පත් කරලා සංවර්ධන කටයුතු කරන්න මේ අය කටයුතු යොදලා තියෙනවා. ඒත් අපි කියන්නෙ නව ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව ඒවා ක්‍රියාත්මක විය යුතු බවයි. ආර්ථික කටයුතු සංවිධානාත්මකව කරන්න කිසියම් සංවිධානාත්මක එකමුතුවක් අවශ්‍ය වෙලා තියෙනවා .අපි ඒකට සහයෝගය ලබා දෙන්න සූදානම්.නමුත් ඒවාට අවශ්‍ය නිවැරැදි ක්‍රියාමාර්ග සංවිධානය කල යුතුයි. ආර්ථික කටයුතු ක්‍රියාත්මක කිරීමට විශේෂ බලයක් සහිත කණ්ඩායමක් සිටිය යුතුයි. නැතිනම් ඒවා කඩාකප්පල්කාරී කරන්න ඇතැම් පිරිස් බලාගෙන ඉන්නවා. කාටත් ගරු කරන්න පුලුවන් ව්‍යවස්ථාවක් හදලා, දේශපාලන ජයග්‍රහණයක් හැටියට රටේ නීතිය හැටියට පත් කර ගන්න පුලුවන්නම් ඉන් පසුව පුලුවන් ආර්ථික සංවර්ධනයට විධිමත් ලෙස ඒකරාශී වූ වැඩපිළිවෙලක් හදන්න.

මහින්දගෙ කට්ටිය කියනවා 2017 අවුරුද්දේ එයා බලයට එනවලු. ඒක හීනයක් විතරයි කියලා මම එතුමට කියන්න කැමතියි. එතුමා හදන්නෙ බලය පෙන්නල බලය ගන්න. කුමන්ත්‍රණකාරීව බලය ගන්න එතුමා උත්සහ දරන බවක් අපට පේනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් නෙවෙයි කියලා මම කියන්න කැමතියි.

 

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *