මේරි අම්මා සහ තවත් අම්මලා – අනුර සූරියබණ්ඩාර පුවත්පත් කියන්නේ ඇත්තමද ?

නොවැම්බර්

28

7:20 පෙ.ව.

admin

මරණ දැන්වීමෙහි ඇගේ නම සඳහන්ව තිබුණේ ආර්.පී. මේරි යනුවෙනි. මියගිය දිනය 2017.11.13 ය. මරණය ළිඳකට පැන දිවි නසා ගැනීමකි. එවැනි මරණ අද කොතෙකුත් සිදුවන නමුත් ‍මේරි මහත්මියගේ මරණයට පුවත්පත් දෙකක් විශේෂ වැදගත්දමක් දී තිබුණි. හේතුව ඇය නාවික හමුදාවේ නැගෙනහිර බුද්ධි ප්‍රධානි සුමිත් රණසිංහගේ නැන්දණිය වීමය.

සුමිත් රණසිංහ යනු බුද්ධි අංශ නිලධාරියකු බව කියන්නට හේතු රැසක් පුවත්පත් ලිපිවල සඳහන්ව තිබුණි. එනම් ඔහු;

2006 න් පසු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට ප්‍රධාන මෙහෙයක් ඉටු කිරීම

එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකට ලක්ව 60% පමණ ආබාධිත තත්ත්වයකට පැමිණි පසුත් නාවික හාමුදාවේ ක්‍රියාන්විතය අත් නොහැරි නිලධාරියකු වීම

යුද සමයේ නැගෙනහිර බුද්ධි ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම කොළඹ ජනාධිපති කාර්යාලය අසල පුපුරවා හැරීමට සුදානම් කර තිබුණු, වර්ග කිලෝමිටරයක් ඇතුළත සියල්ල විනාශ කිරීමට තරම් ප්‍රබල බෝම්බ ලොරිය මාරාගෙන මැරෙන කොටි සාමාජිකයාත් සමග අත්අඩංගුවට ගැනීමට බුද්ධි මෙහෙයුමක් දියත් කිරීම ලෙසිනි.

ඉහත දක්ෂතා දැක්වූ සුමිත් රණසිංහ මහතා මේ වනවිට සිටින්නේ බන්ධනාගාර ගතවය. ඒ පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගත් පසුව අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

සුමිත් රණසිංහ මහතාගේ පියාගේ සහෝදරිය සේම ඔහුගේ බිරියගේ මවද වන ආර්.පී. මේරි මහත්මිය සුමිත් රණසිංහ මහතා අත්අඩංගුවට පත්වීම සම්බන්ධව දැඩි කම්පනයකින් පසුවූ බවත් කීමට පුවත්පත් බලවත් උත්සාහයක් ගෙන තිබුණි. සුමිත් රණසිංහ මහතා කුඩා කාලයේ පටන්ම හදාවඩාගෙන තිබුණේද නැන්දණිය විසින් බවත් ඇය ඔහුටත් ඔහු ඇයටත් බලවත් ආදරයක් දැක් වූ බවත් තවදුරටත් සඳහන් විය.

දරුවකු හෝ බෑණකු අත්අඩංගුවට පත්වීම බන්ධනාගාරගතවීම මවකට හෝ නැන්දණියකට හෝ කම්පාවට පත්වීමට හේතුවක් බව කීම අතිශයෝක්තියක් නොවේ. නමුත් මේරි මහත්මියගේ සියදිවි නසා ගැනීමට හේතුව සුමිත් රණසිංහ මහතා අත්අඩංගුවට පත්වීමම යැයි කීමට ප්‍රබල සාක්ෂියක් නැත. නැන්දණිය බලවත්, පුවත්පතෙහි භාෂාවෙන්ම කියන්නේ නම් ඉහිළුම් නොදෙන වේදනාවක් සහිත රෝග‍යකින් ඇය පෙළෙමින් සිට ඇති බැවිනි.

නිවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කළ පැහැදිලිවම කියන්නේ නම් මරා මුහුදේ ගිල්වා දැමූ තරුණයන් 11 දෙනා පිළිබඳ සිද්ධිය මේ වනවිට රහසක් නොවේ. ඒ පිළිබඳ නඩුවක් විභාග වෙමින් පවතී. සුමිත් රණසිංහ ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නේ එකී නඩුව හේතුවෙනි.

තමාගේ බෑනණුවන් අත්අඩංගුවට පත්ව සිටීම දරාගැනීමට මේරි මහත්මියට නොහැකි වීනම්, දරුවන් 11 දෙනකු සදහටම අහිමි වූ මවුවරුන් 11 දෙනාට කොතරම් වේදනාවක් දැනෙනවා ඇත්දැයි සුමිත් රණසිංහගේ දක්ෂතා සහ ඔහුගේ නැන්දණියගේ වේදනාව ලිවීමට උත්සුක වූ ලේඛකයන් කල්පනා කර තිබුණේ නැත.

බන්ධනාගාර ගතව හෝ සුමිත් රණසිංහ ජීවතුන් අතර සිටී. ඔහුගේ වරද සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වේ. ඔහු අතින් වරදක් සිදුව නැතිනම් නිසැකවම ඔහු නිදහස් වනු ඇත. වරදක් කර ඇති බව ඔප්පු වුවහොත් දඬුවම් පමුණුවනු ඇත. එය කාගේත් ඇස් ඉදිරිපිට සිදුවන සාධාරණ මෙන්ම යුක්ති සහගත ක්‍රියාදාමයකි. නමුත් අතුරුදන් කළ තරුණයන් 11 දෙනා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔවුන් අඩුම තරමින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්වත් නොවේ. අතුරුදන් කිරීමට ලක්වීමට ඔවුන් ගේ එකම වරද විදේශ අධ්‍යාපනයට යෑමට සූදානම් කරගත් මුදලක් ඔවුන්ගේ මවුපියන් සතුව පැවතීමයි.

එම වරදට සුමිත් රණසිංහ දායක වී ඇත්නම් බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් ඔහු කළ සේවයට හිලව්වට ඒ වරද කමා කළ යුතු යැයි ඔහුගේ නැන්දනියගේ මරණය පිළිබඳ පත්තරයට ලිපි ලියූ ලියන මහත්වරු යෝජනා කරන්නේද? සුමිත් රණසිංහ අත්අඩංගුවේ සිටින්නේ;

2006න් පසුව නැගෙනහිර එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට මරාන්තික ප්‍රහාර එල්ල කළ නිසා නම්,

එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයට ලක්ව 60% අබාධිත වූ පසුත් ක්‍රියාන්විතය අත් නොහැරි නිසා නම්,

යුද සමයේ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නිසා නම්,

ජනාධිපති කාර්යාලය අසල පුපුරවා හැරීමට සූදානම් කර තිබූ බෝම්බ ලොරිය මරාගෙන ‍මැරෙන කොටි සාමාජිකයාත් සමඟ අත්අඩංගුවටගත් නිසා නම්, රටේ සියල්ලන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට එක හෙළා විරුද්ධ විය යුතුය.

සුමිත් රණසිංහ අත්අඩංගුවට පත්ව සිටින්නේ තරුණයන් 11 දෙනෙක් පැහැරගෙනගොස් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වී ඇති නිසාය. තරුණයන් පැහැරගැනීම හෝ කප්පම් ඉල්ලීම හෝ මරා දැමීම හෝ ඔහු අතින් සිදුව ඇත්නම් හමුදා සේවය නිසා ඒ වරද නිවැරදි වන්නේ නැත. චෝදනාවේ තරම අනුව සහ පරීක්ෂණයේ මට්ටම අනුව බන්ධනාගාර ගත වන්නටද එවිට ඕනෑම කෙ‍නකුට සිදුවේ. තමා නිර්දෝශී නම් ඒ බව උසාවිය හමුවේ ඔප්පු කිරීමට ඔහුට තවමත් අවකාශ තිබේ. සුමිත් රණසිංහ මහතා නිවැරැද්දේ අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ බව ඔප්පු වූ විටෙක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් හරහා වන්දියක් ලබාගැනීමට පවා ඉඩ තිබේ. එහෙත් අතුරුදන් කරනු ලැබූ දරවන් 11 දෙනාට හෝ ඔවුන්ගේ මවුපියන්ට එවැනි වාසනාවක් නැත.

දරු තනතුරේලා ලොකු මහත් කළ තම දියණිය පවා සරණපවා දුන් බෑනණුවන් කප්පම් ගැනීමට තරුණයක් පැහැරගෙන අතුරුදන් කරන ගැනැත්තකු යැයි කම්පනයක් නැන්දණියට තිබුණාය කියා වුව යමකුට තර්ක කරන්නට පුළුවන. තමන්ගේ දරුවන් ආදරණීයන් අපරාධකරුවන් වනු දැකීමට කිසිවකු කැමති නොවනු ඇති බැවිනි.

සුමිත් රණසිංහ අත්අඩංගුවට පත්වීමත් ඔහුගේ නැන්දණියගේ දිවි නසාගැනීමත් ගැටගසමින් අපරාධ චෝදනාවලට ලක්වූවන් නිදොස් කරන්නටත් ඒ හරහා වෙනත් පටු දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමටත් දතකන ලියන මහත්වරුන් ගේ තර්කය අනුව තමා ආදරයෙන් උස්මහත් කළ බෑනා අපරාධකාරයකු බව හෙළිවීමේ කම්පනය නිසා කියා වුවද කියන්නය පුළුවන.

අනුර සූරියබණ්ඩාර

 

 

 

අදහස්


ප්‍රතිචාර 3

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *