අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ’ – අජිත් පැරකුම් ජයසිංහ

දෙසැම්බර්

23

6:31 පෙ.ව.

admin

හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය.

ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ.

ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ.

අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අදහසක් ගම්‍ය කිරීමටයි. ඔවුන්ට තම ජීවිත පවත්වාගෙන යාමට කරන්නට සිදු වී තිබෙන ආර්ථික අරගලය සුළුපටු නො වේ.

මෙම සටහන තබන මා ද ලංකාදීප හා යුක්තිය පුවත්පත්වල පදවිය වාර්තාකරු ලෙස යුද්ධය පැවති 1994 – 98 වකවානුවේදී සේවය කර ඇත්තෙමි. එහි සිදු වූ යුද ගැටුම් හා ත්‍ර‍ස්ත ප්‍ර‍හාර සම්බන්ධ වාර්තා ලංකාදීපයේ මුල පිටුවේ පවා පළ විය. ගමනාගමන දුෂ්කරතා දැඩිව පැවති එම ප්‍රදේශයේ මා ගමන් බිමන් ගියේ මා සේවය කළ පාසලේ මුරකරු, මා මිත්‍ර‍ හේරත් අයියාගේ මෝටර් සයිකලයෙනි. ඇතැම් ගමන් ද ඔහු මා සමග ගියේ ය.

දුරකථන ඇමතුම් ලබා ගත හැකි වූයේ මා වැඩ කළ පාසලට කිලෝමීටර් හයක් පමණ ඈතින් පිහිටි තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ය. පදවිය රෝහලේ සේවකයන්ගේ කාරුණික අනුග්‍ර‍හයෙන් ද දුරකථන ඇමතුමක් ලබා ගන්නට හැකි විය. ඇතැම් වාර්තා එවීම සඳහා මා කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි අනුරාධපුර නගරයට ගොස් ඇත්තෙමි.

මේවා සමහර විට පළ වන්නේ ද නැත. පළ වුණත්, ඒවා වෙනුවෙන් ගෙවීම් කරන බව කීවත්, ඒ සුළු මුදල ලබා ගන්නට මම කිසිදු විටෙක ලංකාදීප කාර්යාලයේ රස්තියාදු නො වුණෙමි. වරක් දෙකක් එහි ගිය ගමන්වලින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ඇති තත්වය තේරුම් ගත්තෙමි. යුක්තිය පුවත්පත නම් සොයා බලා ගෙවීම් කළා පමණක් නො ව, ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වෙනුවෙන් වැඩමුළු පවා පැවැත්වූයේ ය.

රැකියාවට බැඳුණු අලුත ලද සුළු වැටුපෙන් අතින් කටට ජීවිතයක් ගත කළ මම මේ කටයුතු වෙනුවෙන් ද මගේ වැටුප වැය කළෙමි. එය කළේ හුදෙක් ම ආස්වාදය පිණිස ය. ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ප්‍රදේශයේ හඳුනා ගනු ලැබීමේ කීර්තිය ද ඒ ආස්වාදයේ ම කොටසකි.

ඒ කාලයේ ලංකාදීප පුවත්පතින් මට හැඳුනුම්පතක් නිකුත් කර තිබිණි. එහි PRESS යනුවෙන් සටහන් කර තිබිණි. අනුරාධපුරයේ සිට පදවියට යන අතරමග මුර කපොලු හයකදී බසයෙන් බැස, පරීක්ෂාවට ලක් විය යුතු විය. වරක් මම ජාතික හැඳුනුම්පත වෙනුවට ඒ හැඳුනුම්පත දී බැලුවෙමි.

“ආ, අච්චු කන්තෝරුවක ද වැඩ කරන්නෙ?” සොල්දාදුවා ඇසී ය.

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය උණ නිසා වැඩ කරන පිරිසකි. ඔවුන්ට මාධ්‍ය ආයතන විසින් සාධාරණ අන්දමින් ගෙවීම් කරන්නේ නැත. ඒ නිසා ඔවුන් මාධ්‍ය ආයතන ගණනාවකට එක ම ප්‍ර‍වෘත්තිය සුළු සුළු වෙනස්කම් සහිතව සපයති. ඇතැම් විට සුළු සුළු නම් වෙනස්කම් ඇතිව මාධ්‍ය කීපයක වැඩ කරති. තවත් ඇතැම් විටක මාධ්‍ය ආයතන කීපයක වැඩ කරන අය එක්ව සහයෝගයෙන් ගේම ගසති.

තමන්ට වාර්තාකරණය හා ආරක්ෂාව සම්බන්ධ කිසිදු පුහුණුවක් ලැබී නැති බව රොෂාන් කුමාර පුවත්පතකට පවසා තිබිණි. ආරක්ෂිත වාර්තාකරණය පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍යකරුවන් දැනුවත් කිරීමේ කිසිදු උවමනාවක් මාධ්‍ය ආයතනවලට නැත. එ් වෙනුවට  ජීවිතය පරදුවට තබා හෝ විකුණා ගත හැකි ඡායාරූපයක්, වීඩියෝවක්, ප්‍ර‍වෘත්තියක් එවන්නේ නම් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරා කන මාධ්‍ය කළමනාකරුවන්ට හා කර්තෘ මාණ්ඩලිකයන්ට එය ප්‍ර‍මාණවත් ය. ගම් වැදුණු අලියකුගේ පහර කෑමෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවකු මිය ගියේ  එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි.

පුවත්පත් කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත මාධ්‍ය සංවිධාන පවා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ හිමිකම් නියෝජනය කරන්නේ අවම මට්ටමෙනි.

බොහෝ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ අවසානයේදී ප්‍රාදේශීය දේශපාලකයකුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයකු වී ප්‍රාදේශීය වාර්තාකාරකම නමට පමණක් තබා ගනිති. මාධ්‍ය උණ නිසා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වන තරුණයෝ ඉතා ඉක්මණින් ම වෙනත් රැකියාවක් සොයා ගනිති.

මෙහිදී මාධ්‍යකාරිය යන වචනය භාවිතා නො වුණේ එවැනි මාධ්‍යකාරියන් සිටින්නේ ඉතාම අතළොස්සක් නිසා ය. මෙම ක්ෂේත්‍රයේ පවතින තත්වය ප්‍රාදේශීය මාධ්‍යකාරියන්ට තබා කර්තෘ මාණ්ඩලික මාධ්‍යකාරියන්ට පවා ගැටලු සහගත ය.

අවසානයේදී ගත් විට, ලංකාවේ ජනමාධ්‍ය වනාහි ප්‍රාදේශීය පුවත් කොළඹ කේන්ද්‍රීයව වර නගන ආයතන විශේෂයකි. ලංකාවේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරණය ඇත්තේ අතිශය පසුගාමී තත්වයක ය. එහි ගුණාත්මකභාවය නැංවීමට කටයුතු නො කරන තාක් කල් ගම ගැන අපට අසන්නට ලැබෙන්නේ අර්ධ සත්‍ය පමණි.

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *